ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට

ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට


ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට

(25.11.2023 – 18:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය දිනෙක රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී සියලු සාමාජිකයින්ගේ එකඟතාවය මත බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා ෴


හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ නායයෑම් අවදානමක්

(25.11.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala)

හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සිදුවීමට ඉඩ ඇති බැවින්, එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයින් 202 දෙනකු ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.

තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක මෙලෙස නායයාමේ අවදානමක් මතු වී ඇති අතර, ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කළ බවයි ලේකම්වරිය පැවසුවේ.

එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ද ලබාගැනීමට නියමිත බව ඇය සඳහන් කළා.

ඉවත් කළ පවුල් පුනාගල අංක 02 දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා තිබෙනවා ෴


මේ දිනවල වෛරස් කිහිපයක සම්මිශ්‍රණයක් පවතින බව විශේෂඥයින් පවසනවා

(25.11.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව හා උණ සහිත ශ්වසන රෝගී තත්ත්වය කොවිඩ් 19 හා ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ උතුරු චීනයේ දරුවන් අතර දැනට ශීඝ්‍රයෙන් පැතිර යන නිව්මෝනියා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායම් රැසක් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

උතුරු චීනයේ ප්‍රදේශ කිහිපයක ළමා රෝහල්වලින් හඳුනා නොගත් නිව්මෝනියා රෝගී පොකුරු කිහිපයක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙම ශ්වසන රෝගී තත්ත්වය වැඩි වශයෙන් ළමුන් අතර පැතිරයන බවත්, ව්‍යාප්තියේ වේගවත් බව හේතුවෙන් රෝගී තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කොවිඩ් 19 සීමා ඉවත් කිරීමත් , ශීත කාලයේ එළඹීමත් සමඟ මෙම රෝගී තත්ත්වයේ වැඩි වීමක් දක්නට බවයි වාර්තා වන්නේ.

ශීත සෘතුවේ ආරම්භයත් සමඟ ව්‍යාප්ත වන මෙවැනි හඳුනා නොගත් වෛරස හේතුවෙන් ඉතිහාසය පුරා වසංගත තත්ත්වයන් නිර්මාණය වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එම නිසා විශේෂඥ කණ්ඩායම් රැසක් මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර චීන සෞඛ්‍ය අංශ මගින් මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැසක් ඉල්ලා ඇති බව සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

මෙම රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනාගැනීම සඳහා තවමත් තොරතුරු පවතින්නේ ඉතා අල්ප මට්ටමක බව බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් හන්ටර් බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.

කෙසේවෙතත් මෙය නව වසංගතයකට හේතු වන නව වෛරසයක් ලෙස තමන් පිළිනොගන්නා බවත්, මෙය නව වසංගතයක් නම් වැඩිහිටියන් අතර මීට වඩා රෝගී තත්ත්වයේ පැතිරීමක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

උතුරු චීනයේ පැතිරයන හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයේ රෝග ලක්ෂණ වන්නේ උණ, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කට හඬ වෙනස් වීමයි.

රෝගය සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම වෛරස් ව්‍යාප්තිය ඉන්දියාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග මේ වනවිටත් යොදා ඇති බවයි.

මේ අතර මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ශ්වසන රෝගී තත්ත්වය වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

උණ සහිත දරුවන් පාසල්, උපකාරක පන්ති සහ පෙර පාසල් යැවීම සීමා කරන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


වැඩි කළ දස දහසෙන් පන්දහසක් ජනවාරියේ සිට ලබාදීමට අවධානය

(25.11.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් රුපියල් 5,000 ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට මෙවර අයවැය කතාවේ දී යෝජනා කරනු ලැබුවා.

විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500 ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමට ද මෙවර අයවැය තුළින් යෝජනා කළා.

අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000 ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000 ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්ත අනුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වෙන්නේ ෴


යාපනය බන්ධනාගාරයේ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට පොලිස් නිලධාරින් 4 දෙනෙකු අත්අඩංගුවට

(25.11.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වඩුක්කොඩෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසු වූයේ.

අවුරුදු 26 ක් වයසැති මොහු යාපනය බන්ධනාගාරයට යොමු කිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පසුගිය 16 වනදා යළි බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබුණා.

සැකකරු යළිත් පසුගිය 19 වනදා රෝගාතුර වීම හේතුවෙන් යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ සැකකරුගේ ශරීරයේ වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිරවීම මරණයට හේතුව බවටයි.

මෙම සිද්ධියට අදාළ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙරේදා(23) කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා නියෝග කළේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසටයි ෴


කොළඹ – කටුනායක අධිවේගයේ වයර්, යකඩ කැපූ කුඩ්ඩන් ‘හිරු CIA’ මෙහෙයුමකින් කොටුවෙයි

(25.11.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

රටේ ප්‍රධානම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් මත්කුඩු ලෝලීන්ගේ ග්‍රහණයට නතුවන තුරු බලධාරීන් නිහඬව සිටින්නේ නම් එය කෙතරම් ඛේදවාචකයක් ද?

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අඳුරේ ගිල්වා, විදුලි පහන් කණුවල වයර් කපා තඹ කම්බි සොරකම් කිරීම සම්බන්ධයෙන් කලක සිට බලධාරීන් දැනුවත් කළත් අදටත් ඊට විසඳුමක් ලබාදීමට ඔවුන් සමත් වී නැහැ.

අධිවේගී මාර්ගයේ ඉතිරි වී ඇති පහන් කණු හෝ මත්කුඩුලෝලීන්ගේ සුරක්ෂිත කරගැනීමට අවශ්‍ය බව බලධාරීන්ට සිහිපත් කරවීම සඳහායි ‘හිරු CIA’ මේ අනාවරණය.

2013 වසරේ ජනතා අයිතියට පත් කෙරුණු කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය වූ මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධිකයි.

මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග ජනතාවට දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද විශාල කාලයක් ද ඉතිරි කරදෙමින් ප්‍රවාහන පහසුකම් සැලසෙන බව නොරහසක්.

නමුත් මෙම අධිවේගී මාර්ගයේ ඇති කේබල් සහ යකඩ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගලවාගෙන යෑම මාස ගණනාවක සිටම පවතින ප්‍රබල ගැටලුවක්.

ඒ අනුව මෙහි පෑලියගොඩ සිට කෙරවලපිටියද පසුකර දිවෙන කොටසක විදුලි පහන් කණුවලට සම්බන්ධිත වයර් කිසියම් පිරිසක් ගලවා ඒවා තුළ ඇති තඹ කම්බි අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ‘හිරු CIA’ වෙත තොරතුරක් ලැබුණා.

එම තොරතුරට අනුව ‘හිරු CIA’ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා.

එහිදී අපට දැකගත හැකි වූයේ එම විදුලි පහන් කණුවල වයර් මහා පරිමාණයෙන් ගලවා ඉවත් කර ඇති ආකාරයයි.

අධිවේගී මාර්ගයේ දෙපස ස්ථාපිත දැල් වැට කපා ඇතුළුවන මෙම සොරුන් වයර් ගලවා එම ස්ථානයේදීම කපා, තඹ කම්බි පමණක් ඉවතට ගනු ලබනවා.

එලෙස ඉවතට ගන්නා තඹ කම්බි අඩියක ප්‍රමාණයක් මෙම සොරුන්ගෙන් ඒවා මිලදී ගන්නා වෙළෙන්දා ලබාගන්නේ රුපියල් 1,500 ක මුදලක් ඔවුන්ට ගෙවමින්.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති පුද්ගලයෙකු ‘හිරු CIA’ වෙත පැවසුවේ දිනකට වයර් අඩි 200 ක් පමණ සොරුන් මෙලෙස ගලවා ඉවත් කරන බවයි.

වයර් ගැලවීම හේතුවෙන් විදුලි පහන් අක්‍රිය වීම නිසා මාර්ගයේ කිලෝමීටර 20 කට ආසන්න දුරක් දැඩි අඳුරක ගිලී පවතිනවා.

මෙම ජාවාරම සිදුකෙරෙන සොරුන් කොටුකර ගැනීමට ‘හිරු CIA’ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සැලසුමක් දියත් කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් එක් සැකකරුවෙකු වැටලීමකින් අනතුරුව සිය භාරයට ගැනීමට සමත් වුණා.

පෑලියගොඩ සිට ගත්විට කටුනායක දක්වා මෙම ජාවාරමට හසු නොවී ඉතිරි වී ඇත්තේ තවත් කිලෝමීටර 5 කට ආසන්න දුරක් පමණක් බවයි ‘හිරු CIA’ වෙත වාර්තා වුණේ.

රටේ ප්‍රධානම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක කොටස් මෙලෙස නිදහසේ ගලවාගෙන ගොස් අලෙවි කිරීමට තරම් මත්කුඩුලෝලීන්ට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙහි ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන් ද ඇතුළු වගකිව යුතු බලධාරීන් ලැජ්ජා විය යුතු නොවේද?

මාස ගණනාවක සිට අධිවේගී මාර්ගය අඳුරේ ගිලී තිබෙන බව දැක හෝ මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අවස්ථාව තිබියදීත් මේ දක්වා බලධාරීන් ඊට ද අපොහොසත් වීමෙන් පෙනී යන්නේ මෙම ජාවාරම්වලට ඔවුනුත් උඩගෙඩි දෙන බවද?

අධිවේගයේ අඳුරේ ගොස් වටිනා මිනිස් ජීවිත පවා අහිමි විය හැකි බව මත්කුඩු පානය කර කොටස් ගලවන ජාවාරම්කරුවන්ගේ සිහියට නොපැමිණියත්, මත්කුඩු පානය නොකර සිහියෙන් සිටින බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පියවරක් කඩිනමින් ගන්නා තුරු ‘හිරු CIA’ අවදියෙන්.

+


15 හැවිරිදි දැරියකට හදි කළ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

(25.11.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය පොලිසියට පැවසුවේ අදාළ ගුරුවරයා නිවසේ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර මෙලෙස අපයෝජනයට ලක් කළ බවයි.

ඒ අනුව සැකකාර ගුරුවරයා මීවනපලාන ප්‍රදේශයේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ හොරණ මීවනපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+


ළමයින් රට යැවූ සිද්ධියේ දී එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 75 ක් අරන්

(25.11.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට ළමයින් මැලේසියාව හරහා වෙනත් රටවලට යවන ජාවාරමේ දී එම දරුවන්ගේ දෙමාපියන් විසින් අතරමැදියන්ට රුපියල් ලක්ෂ 75ක මුදලක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් දීර්ඝ කාලයක සිට සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාළ ජාවාරම හරහා විදේශ ගත කළ දරුවන් 13 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැන්තත් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *