අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(25.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව පී.එස්. ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ෴


සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස 06 ක බිළිදෙකු ජීවිතක්ෂයට

(25.11.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව, කාත්තාන්කුඩිය, පට්ටිමාපුරය ප්‍රදේශයේ පදිංචි මාස 06 ක් වයසැති කුඩා බිළිදෙක්.

නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට අලුයම 03:30 ට පමණ සර්පයා දෂ්ඨ කර ඇති උදෑසන 7 ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් දරුවා රෝහල්ගත කර තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ ෴


ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියාවලට බාහිර පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලීමක්

(25.11.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ අඹු සැමි යුවළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය පළමුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැර ඇති අතර, සැඟව සිටි පුරුෂයා ඊයේ (24) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පළකරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවාගන්නා බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්ට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ සිදුකළ උස්වැටකෙයියාව – තල්දියවත්ත ප්‍රදේශයේ නිවස විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එම අවස්ථාවේ පුද්ගලයින් සියයකට (100) අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි අතර, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදීම සඳහා මෙම ජාවාරම්කරුවන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් අයකරන බවට සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි තරුණයින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අදාළ ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහුට සහය වූ බිරිඳ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අයදුම්පත් 214 ක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදෙන්නේ අදාළ රජයන් දෙක අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් ඒ සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් ලබාදීමෙන් වළකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

+++++++++

රට සිහින පෙන්වා කළ ජාවාරම් රැසක තොරතුරු එළියට

(24.11.2023 – 20:24 +0530 – sinhala.adaderana.lk)

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ මීගමුවෙන් වාර්තා වේ.

මේ අතර විවිධ හේතුමත කුවේට්හිදි රැකියා අහිමිවූ තමන්, යළි දිවයිනට එවීමටනම් රුපියල් ලක්ෂ 9 බැගින් අධික මුදලක් ඉල්ලා සිටින බවට ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් චෝදනා කරති.

කුවේට්හි ජාහ්රා ප්‍රදේශයේ ගෘහ සේවයට ගොස් විවිධ හේතුමත රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ‘අද දෙරණ’ට වීඩියෝවක් යොමුකර තිබේ.

ඔවුන් පවසන්නේ කාන්තාවන් 10 දෙනෙක් මෙලෙස ශ්‍රී ලාංකිකයෙකුට අයත් නිවසක රඳවා සිටින බවය.

කුටේව්හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් :

“අපි ආව ඒජන්සිවලින් අපිට කිසිම සැලකීමක් නැහැ. ගෙවල් තුනක වැඩකරලා බබාවත් බලාගෙන, රෑ දෙකට, තුනට නිදාගන්නේ. මගේ නහයෙන් ලේ ආවා. පපුවේ කැක්කුම හැදුණා. මම ලෙඩවෙලා ඉන්නවා කියලා ගෙනල්ලා දැම්මා. ඒවගේම තව කොළඹ අක්කා කෙනෙක් ඉන්නවා. එයාට මාස 4 කට වීසා ගහලා තියෙන්නේ. පොලොන්නරුවේ අක්කා කෙනෙක් ඉන්නවා. එයා ගෙවල් 3 ක වැඩ කරපු කෙනෙක්. එයා ලෙඩ වුණාට පස්සේ ගෙනල්ලා මෙහෙට දැම්මා. දුක් විඳින්න බැහැ ලංකාවට යනවා කියපු ගමන් අපිට රුපියල් ලක්ෂ 9 ක් ගෙවන්න කියනවා. අපි කොහොමද ගෙවන්නේ ?”

තමන් සුදුසු ස්ථානයක රැකියාවට යොමුකරවීමට හෝ යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මාර්ගයෙන් එරට රැකියා සඳහා යවන බව පවසමින් ශ්‍රී ලාංකිකයින්ගෙන් වරින්වර මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ මීගමුවෙන් වාර්තා වේ.

වංචාවට හසුවූ එක් අයෙකු ගැන කඩවත ප්‍රදේශයෙන් වාර්තා වන අතර වංචාකරුවන් වරින්වර ඔහුගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 35 කි.

මේ ඔවුන් අතර පැවති වීඩියෝ දුරකථන සංවාදයක් :

වංචාවට හසුවූ පුද්ගලයා – “හෙලෝ අයියේ”

මෙරට සිට මුදල් ලබාගත් පුද්ගලයා – “අද තමා මේවා වුණේ. ඔයගොල්ලන්ගේ ඇත්ත කතන්දරේ. ඉන්නකෝ. මේ කාගෙද ෆොටෝ එක ?”

වංචාවට හසුවූ පුද්ගලයා – “මල්ලිගේ”

මෙරට සිට මුදල් ලබාගත් පුද්ගලයා – “ඔන්න බලන්න සූම් කරලා. අද තමයි ආවේ. දැන් ඕක හෙට නැත්නම් අනිද්දා අපිට හම්බෙනවා අතට. ඔයගොල්ලෝ බොරුවට කලබලවෙන්න එපා. ඔයාට තේරුණාද ? වැඩක් කරාට පස්සේ ඒ වැඩේ හරි. ප්‍රමාද වුණා.”

වංචාවට හසුවූ පුද්ගලයා – “ඔයා දන්නවානේ මගේ තත්ත්වය. සැරින් සැරේට, සැරින් සැරේට කතා කරලා මාව හිරකරනවා.”

මෙරට සිට මුදල් ලබාගත් පුද්ගලයා – “මේ දවස්ටිකේ නිවාඩුනේ. අද උදේ තමයි ඕක අපිට ආවේ. දැන් ඕකට ක්‍රමවේදයක් තියෙනවානේ. ඔයාට තේරුණාද ? ඕක හදිස්සිවෙලා හරියන්නේ නැහැනේ.”

වංචාවට හසුවූ එම පුද්ගලයා කළ පැමිණිල්ලට අනුව මීගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අඹුසැමි යුවළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පළකරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවාගන්නා බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට පෞද්ගලික ඔත්තුකරුවෙකු මඟින් තොරතුරක් ලැබී ඇත.

උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේ නිවසක රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ සිදුකරන බව එම වීඩියෝව මඟින් සඳහන් කර තිබූ අතර, ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ පුද්ගලයින් සියයකට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි ඇති අතර, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියාවක් ලබාදීම සඳහා මෙම ජාවාරම්කරුවන් විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් අයකරන බව සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි තරුණයින් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

විමර්ශන නිලධාරීන් එම ස්ථානය වටලා ඇති බව දැනගත් මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු අදාළ ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, මෙම ජාවාරම සඳහා ඔහුට සහාය වූ ඔහුගේ බිරිඳව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අයදුම්පත්‍ර 214 ක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 ක් මත මුදාහැර තිබේ.

වැඩිදුර නඩු විභාගය අද (24) කැඳවූ අවස්ථාවේ මෙතෙක් කල් අධිකරණය හා විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟව සිටි ප්‍රධාන සැකකරුද අධිකරණයට භාර වූ අතර, දෙසැම්බර් 01 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

+


‘ඩෝ-ටු-ඩෝ’ ක්‍රමය ශ්‍රි ලංකා රේගුව විසින් තාවකාලිකව නතර කෙරේ

(25.11.2023 – 07:26 +0530 – sinhala.adaderana.lk)

නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් ‘ඩෝ-ටු-ඩෝ’ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.

විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදු කර තිබිණි.

කෙසේ වෙතත් මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් ‘ඩෝ-ටු-ඩෝ’ භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා (01) සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බව සඳහන් වේ.

කෙසේ වෙතත් දෙසැම්බර් මස පළමු වැනිදා (01) සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකිය.

මෙම ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශ්ව විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ගත වූ දින තුනක කාලය තුළ මත්ද්‍රව්‍ය කිළෝග්‍රෑම් 20ක් පමණ ‘ඩෝ-ටු-ඩෝ’ භාණ්ඩ සේවා සැපයුම් ක්‍රමවේදය හරහා මෙරටට ගෙන්වා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම කරුණු ද එම ක්‍රමවේදය අත්හිටුවීමට හේතු වී තිබේ.

ශ්‍රි ලංකා රේගුව පවසන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම වර්තමානයේ දී මෙම ක්‍රමවේදය හරහා සිදු කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් සිදු කරන නිසි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් අනතුරු ව මනා විනිවිදභාවයකින් යුතු නියාමනයකට යටත් ව අදාළ ක්‍රමවේදය යළි ලබන වසරේ දී ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති බව ද ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ තීරණය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත පෞද්ගලික ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි අසීරුතාවට පත්වන බව එක්සත් ගමන් භාණ්ඩ සේවා සපයන්නන් ගේ සංගමයේ සභාපති පණ්ඩුක රත්නායක මහතා පැවසුවේය.

මේ අතර, මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් තීරුබදු ප්‍රතිලාභ ඉහළ නැංවීමේ ක්‍රමවේදය සකස් කිරීමට ශ්‍රි ලංකා රේගුව තවදුරටත් අපොහොසත් වී ඇති බව කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේය ෴

+++++++++

+


‘ඉමියුනෝග්ලොබියුලීන්’ ඖෂධ ගනුදෙනුව ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්

(24.11.2023 – 21:32 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර හියුමන් ‘ඉමියුනෝග්ලොබියුලින්’ ඖෂධය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කළේය.

එහි දී විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182 ක් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සියලු කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාරයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙක්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන කමිටු සභාපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශ ලබාගත යුතු බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කර ඇත.

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළ අතර, විමර්ශනවලට අදාළව භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද අවසර ලබා දී ඇත.

එමෙන්ම මෙම සිදුවීමට අදාළව විදෙස් ගමන් තහනමට ලක්ව ඇති වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි රත්නකුමාර හේරත් මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කෙරුණු අපේක්ෂිත ඇප ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

මේ අතර, ‘ඉමියුනෝග්ලොබියුලීන්’ ඖෂධ ගනුදෙනුව ගැන වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (24) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දී තිබේ.

+


CCTV ඇසට හසු වූ කොල්ලකෑම්… සැකකරුවන් පැය 24න් ඇල්ලූ හැටි

+


සැඩපහරට හසුව ගසාගෙන ගිය යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි

(25.11.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

කොස්ලන්ද – බලහරුව, කුඩාඔය ගලා බසින අලු‍ත්වෙල පාලම මතින් යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ 56 හැවිරිදි හපුතලේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙක්.

පසුගිය 22 වනදා මොහු ගමන් ගත් යතුරුපැදිය සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබුණා ෴


මාළිගාවේ අලි ඇතුන්ගේ ක්‍රියා බලන්න දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව

(25.11.2023 – 10:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා මාළිගාවේ අලි ඇතුන්ගේ දෛනික චාර්යාවන් අත්විඳිමින් ඔවුන්ගේ ක්‍රියාකරකම්වලට සහාය වීමට බැතිමතුන්ට හා විදේශ සංචාරකයින්ට අවස්ථාව ලැබී තිබෙනවා.

ඇත්ගාල පරිශ්‍රයට පැමිණෙන ජනතාවට මාළිගාවේ ඇත් පන්තිය සමඟ ඡායාරූප ගැනීමටත් ඇතුන්ගේ දෛනික ආහාර වේල නරඹන්නට, ආහාර ලබා දීමට හා ඇතුන් නෑවීමට ද අවස්ථාව උදාකර දී ඇති බවයි සඳහන් වන්නේ.

ඇත් පන්තිය භාර නිලධාරි ප්‍රිදීප් මියනපලාව පවසන්නේ ඇත් පන්තිය නැරඹිමට පැමිණෙන අයට මේ සඳහා යම් උපදෙස් මාලවක් නිකුත් කර ඇති බවයි.

එසේ නීති මාලාවක් නිකුත් කර ඇත්තේ පැමිණෙන නරඹන්නන්ගේ ආරක්ෂාව හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴


මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මවක සහ පුතෙකු අත්අඩංගුවට

(25.11.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම හා මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයාගත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් සමග මවක් සහ පුතෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකු ගිණුම් භාවිත කරමින් මුදල් හුවමාරු කරගැනීම ඇතුලු ගණුදෙනු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව මාළිගාකන්ද අධිකරණයට සිදුකළ කරුණු වාර්තාකිරීමකින් පසුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගිණුමකට අසාමාන්‍ය ලෙස මුදල් බැරවන බවත්, එම මුදල් කඩිනමින් ඒ.ටී.එම් යන්ත්‍ර හරහා ලබාගන්නා බවටත් විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවයි.

ඒ අනුව ගිණුම් හිමියාගේ තොරතුරු සොයාබැලීමේදී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිත කර ගිණුම විවෘත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි අදාළ බැංකුව අසළදී සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවසේ තිබී රුපියල් පන්කෝටි එකොළොස් ලක්ෂ දොලොස්දහස් නමසීයක (5,11,12,900) මුදලක් සහ රන් පැහැති අත්පළඳනාවක් විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුගේ මවද පසුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා ෴


අද (25) ‘Dream Star Seson 11’ අවසන් තරඟයේ සින්දු කියන විදූෂා අවුරුදු 2 කට කලින් කිව්ව කතාව සහ අද ඉන්න තැන

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *