වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක්

වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක්


වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක්

(24.11.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

වසර 11 ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍යවරයා, බිරිද හා දරුවන් දෙදෙනා (2) ඝාතනය කිරීමට තැත්කල එම රෝහලේම සාත්තු සේවකයෙකුට රුපියල් 20,000 ක දඩයක් හා වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ඇඹිළිපිටිය මහාධිකරණය විසින් නියමකර තිබෙනවා.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කල සෙවනගල පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2012.02.03 වන දින එවකට සෙවනගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වශයෙන් සේවය කළ වෛද්‍යවරයාගේ නිළ නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරිමට තැත් කර ඇති බවට අදාල වෛද්‍යවරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කළ මෙම සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී පැවති මුලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නිතිපතිවරයා විසින් අධි චෝදනා 04 ක් යටතේ ඇඹිළිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂකවරයා සාක්ෂියට කැඳවා තිබු අතර එහිදි ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුනේ එච්.සී.පී.ඒ. (2 මීතයිල් 4 ක්ලෝරෝෆිනොක්සි ඇසිඩ්) නැමැති වල් නාශකය අදාල ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි.

ඒ අනුව ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැලූ ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර එය වසර 10 කින් සමගාමීව ගෙවී යායුතු බවටද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරනු ලැබුවා.

මීට අමතරව අදාළ චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000 ක දඩයක්ද නියම කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


නිවස අසල පාපැදි පැද්ද දරුවා ලොරියක ගැටී මරුට

(24.11.2023 – 06:32 +0530 – sinhala.adaderana.lk)

සිය නිවසට අසල පාපැදියක් පදිමින් සිටි 13 හැවිරිදි දරුවකු ලොරි රථයක ගැටී මරණයට පත්වී තිබේ.

දාස්වත්ත හරහා උස්සාපිටිය උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත පාලම ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

ඊයේ (23) පස්වරු 05:20 පමණ විදුලිබල මණ්ඩලයේ උප කොන්ත්‍රාත් සමාගමක ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා සිටි එම දරුවා මාවනැල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

අනතුරින් මරණයට පත්වී ඇත්තේ උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ 08 වන වසරේ ඉගනුම ලබමින් සිටි දිනුවර දාස්වත්ත නම් දරුවෙකි.

සිද්ධිය සම්බන්යෙන් ලොරි රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴


බන්ධනාර නියාමකවරයෙකුට ගිනි අවි පෙන්වා තර්ජනය කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(24.11.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි කොළඹ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට කඩාවැදී ගිනි අවි පෙන්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම – පැලවත්ත ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාමක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්.

34 හැවිරිදි සැකකරු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය මැයි මස 12 වනදා බන්ධනාගාර නියාමකවරයාගේ නිවසට ඇතුලු වූ පිරිසක් ඔහුව දණ ගස්වා අදාළ පහරදීම සිදුකර තිබුණා.

මෙම බන්ධනාගාර නිලධාරියා, බන්ධනාගාරය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කළ අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දස දෙනෙකු (10) පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට යුද හමුදා කපිතාන්වරයෙකු ද ඇතුළත් ෴


රජයේ රෝහල්වල සිරින්ජර් හිඟයක්

(24.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් තුළ සිරින්ජර් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් ඖෂධ එන්නත්කරණය, රුධිර පරික්ෂාවන් ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාළ සිරින්ජර් කිසිවක් මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති බවත් අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයක්, තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත්හිටුවා තිබෙනවා.

මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් පවතින නමුත්, මිලිලීටර 20, සහ මිලිලීටර 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහාත් එම සිරින්ජර වැඩි වශයෙන් යොදා ගැනීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේදි අවසන් වීමට නියමිතයි.

මේ අතර මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා 8000 කට අධික පොරොත්තු ලේඛනයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ඇති එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 3න් 1ක් අක්‍රීයව පවතින අතර තවත් යන්ත්‍රයක් අර්ධ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවයි ඔහු කියා සිටියේ.

දිවයින පුරා රෝහල් 11ක් තුළ එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 14ක් පවතින අතර ඉන් 3ක් කොළඹ ජාතික රෝහලේත්, 2ක් මහනුවර ජාතික රෝහලේත් පවතිනවා.

යාපනය, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, රාගම, කළුතර, කරාපිටිය, බොරැල්ල රිජ්වේ ආර්යා සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක යන රෝහල් සතුව එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 1 බැගින් පවතින බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, දිස්ත්‍රික්කවල කිසිදු රෝහලක එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර නොමැති පසුබිමක එම ප්‍රදේශවල රෝගීන්ද පැමිණෙන්නේ කොළඹ ජාතික රෝහල වෙතයි.

එහෙත් කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර ද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලු ආයතනයන්හී ප්‍රධානීන් සතියකට වරක් කැඳවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන බවයි කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ ෴


පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90% කින් අවසන්

(24.11.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන කටයුතු 90% කින් අවසන් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් ඊයේ (23) විවාදයට ගත් අවස්ථාවේදියි.

එහිදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76 ක්ද විරුද්ධව ඡන්ද 08 ක් හිමි වුණා.

අද (24) දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතයි ෴


මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩු කරයි

(24.11.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා.

ඒ, මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය 10% සිට 9% දක්වා පහත දමා ඇති අතර, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11% සිට අඩුකර ඇත්තේ 10% දක්වායි.

දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණයකින් අනතුරුව මෙම තීරණය ගත් බව මහ බැංකුව ප්‍රකාශ කළා ෴


ඇඟළුම් නිෂ්පාදන ඇණවුම් 40% කින් අඩු වෙයි

(24.11.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇඟළු‍ම් නිෂ්පාදන ඇණවුම් සියයට 40 කින් පමණ අඩු වී ඇති බව වෙළද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

විදුලි බිල ඉහළයාම ඇතුළු කරුණු කිහිපයක් නිසා පිරිවැය ඉහළ යාමද ඇණවුම් ලැබීම අඩුවීමට හේතුවී ඇති බවයි එම මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණි රත්නායක ප්‍රකාශ කොට සිටියේ ෴


ඇස් දොස්තර සැකසහිත ලෙස මරුට

(24.11.2023 – 09:18 +0530 – sinhala.adaderana.lk)

අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේදී මියගොස් සිටියදී හමුවී ඇත.

අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ඒ බව පැවසීය.

අදාළ වෛද්‍යවරයා නියමිත පරිදි ඔහු සේවය කරන වාට්ටුවට නොපැමිණීම නිසා වාට්ටුවේ සිටි අනෙක් පිරිස ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ද ගෙන තිබේ.

දිගින් දිගටම ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හෙද නිලධාරිනියක විසින් ඔහු නැවතී සිටි පෞද්ගලික නිවසට රෝහල් සේවකයෙකු යවා තිබුණි.

එහිදී අදාළ වෛද්‍යවරයා ඇඳ මත නිදා සිටින ආකාරය දැක නිවසේ ඉදිරිපස දොර විවෘත කර අම්පාර රෝහලේ ගිලන් රථයකින් වෛද්‍යවරයාව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

රෝහලට රැගෙනයන විටත් ඔහු මියගොස් සිට ඇති බවද වාර්තා වෙයි ෴


ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි

(23.11.2023 – 22:09 +0530 – sinhala.adaderana.lk)

රට වෙනුවෙන් ක්‍රිකට් – නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක් යන තේමාව යටතේ අද (23) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.

ඒ, දේශපාලකයින්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා,

“ක්‍රිකට් හදනවාට ඔය එක්කෙනෙක්වත් කැමති නැහැ. මේක මුල ඉඳලම හදන්න ඕන දෙයක්. පැලැස්තර ගහන්න බැහැ. මානසික මට්ටම හදන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. මේ අයට තේරෙන්නේ නැහැ. දැනට අපි මේ විදියට කරගෙන යමු. අවශ්‍ය වෙලාවට මිනිස්සු ගේන්න ඕනේ නම්.. මමත් එළියට බැහැලා කියන්නම්. අපි කිව්වොත් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයට අපි යන්න ඕනේ නැහැ.”

+


‘ගණේමුල්ලේ සංජීව’ සිදුකළ අපරාධ ගැන හෙළිකරයි

(23.11.2023 – 21:46 +0530 – sinhala.adaderana.lk)

රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12 ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන තිබේ.

‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’ පසුගිය සැප්තැම්බර් මස 13 වනදා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහුව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගෙන තිබුණි.

ඒ අනුව ‘ගණේමුල්ල සංජීව’ ගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

එම ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සිද්ධීන් 16 ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12 ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම් 8 ක් ද ඇතුළත් වෙයි.

එමෙන්ම ‘ගණේමුල්ල සංජීව’ගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 18 දෙනෙකුද ඔහු නීතිවිරෝධී අයුරින් විදෙස්ගත කර තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබේ.

තවදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව අපරාධ සිද්ධි 9 ක් සඳහා භාවිත කළ විවිධ වර්ගයේ ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර සැකකරුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහුට අයත් බැංකු ගිණුම්, දේපළ හෝ වාහන පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණ කරගැනීමට මෙතෙක් පොලිසීයට හැකිවී නැත.

ඔහුගේ බිරියට අයත් රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් 75,000 ක මුදලක් සහ දියණියගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 5 ක මුදලක් තැම්පත් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව පොලීසිය සැක කරන්නේ ඔහු නීතිවිරෝධී අයුරින් උපයාගත් මුදලින් වෙනත් පුද්ගලයෙන්ගේ නමින් දේපළ මිලදී ගෙන ඇති බවය.

+


ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

(24.11.2023 – 10:58 +0530 – sinhala.adaderana.lk)

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබේ.

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) අසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවය.

ඒ අනුව විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට ය.

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල විය.

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කළේය.

ඔහු පසුව ශ්‍රී ලංකාව ට පැමිණියේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *