ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට

ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට


ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට

(23.11.2023 – lankadeepa.lk)

ප්‍රංශයේ සති තුනක (3) අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමසුමේදී පැවසුවේ අදාල ගෙවීම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිෂ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

අදාල රුපියල් 63,000 ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වන විටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.

මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගිවන නිලධාරීන්ට ගමන්මළු ආදිය මිලදීගැනීමට විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිතා කළ නොහැකි බවත් සේවකයෝ කියති.

විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව කියන සේවකයන් මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අවස්ථා කීපයකදී ඇයට උසස් නිලධාරීන් අවදානය කළ පසු අසනීප තත්වය හේතුවෙන් සේවයට නොපැමිණි යැයි පැවසීමෙන් ඇය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ද ගෙන නොමැති බව දැනගන්නට තිබේ ෴


පොලිස් බලයෙන් මහේස්ත්‍රාත්වරිය මාරු කරලා.. නීතීඥයන් විරෝධයේ..

(23.11.2023 – 15:00 +0530 – lankacnews.com)

නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයේ අතිරේක දිසාවිනිසුරු ලෙස ස්ථාන මාරු කිරිම හෙලා දකිමින් එම අධිකරණයේ නිතිඥය සංගමය සිය විරෝධය දක්වමින් නිවේදනයක් (22) දින නිකුත් කර ඇත.

නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල් යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිලිබදව ඇතැම් අවස්තාවල විවෘත අධිකරණයේදි මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට පොලිස් නිලධාරින් ලක්වීමත් සමග මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපයට එරෙහිව පොලිස් නිලධාරීන් කල්ලි ගැසී මහෙස්ත්‍රාත්වරියට ස්ථාන මාරු විම් ලබාදිමේ අරමුණින් පොලිස් නිලධාරින් පිරිසක් ඉකුත් (06) දින අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදි අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් වි ඇත.

ඒ අනුව එදින අධිකරණයේ විභාග වෙමින් තිබු නඩු තාවකාලිකව අත්හිටවා ඇත.

එම සිද්ධියෙන් අනතුරුව පොලිස් නිති අංශයේ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහෙස්ත්‍රාත්වරිය මුණ ගැසී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සිය කණගාටුව පළ කර ඇති බවද නීතිඥ සංගමය නිවේදනයේ සදහන් කර ඇත.

නුවරඑළිය නීතීඥ සංගමය නොවැම්බර් (06) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හෙලා දකිමින් සංගමයේ රැස්විමක් කැදවා යෝජනාවක් සම්මත කරගෙන එම යෝජනාව ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකර ඇත.

මෙම සිද්ධිය පදනම් කරගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරිසිරි මෙනෙවියට ස්ථාන මාරුවක් ලබා දීම මඟින් අධිකරණය මහේස්ත්‍රාත්වරුන් හා මහාධිකරණ විනිසුරුවරුන් පොලිස් බලයට යටත්වන තත්ත්වයකට පත්ව ඇති බව මහෙස්ත්‍රාත්වරියගේ ස්ථාන මාරු කිරිම මඟින් නිරූපණය වන බව නුවරඑළිය නීතීඥ සංගමයේ සියලුම නීතීඥවරුන් වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර ඇත.

රංජිත් රාජපක්ෂ


ජාත්‍යන්තර පාසල්වල ළමයින් කොන්ඩම් භාවිත කිරිම සතුටු විය හැකි කරුණක්…

(23.11.2023 – 14:10 +0530 – lankacnews.com)

ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව සිටින නිසා ජාත්‍යන්තර පාසලට දරු සිසුන් කොණ්ඩම් භාවිතයට පෙළඹී සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

එනිසා එය සතුටු විය හැකි කාරණයක් යැයි ද වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරයි.

මෙරට පාසැල් දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් අනිසි ලිංගික සබඳතා පවත්වන බවත් ඒ හරහා ඒඩ්ස් ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය ෴


වැව් 415 ක් පිටාර ගලයි.. ජනජීවිතයත් අඩාලයි..

(23.11.2023 – 17:30 +0530 – lankacnews.com)

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේය.

වව්නියාවේ මහවැව් වූ පාවක්කුලම් ඇතුලු ගොවිජන සේවා දෙපාර්තමෙනේතුව, සුලුවාරිමාර්ග සහ මහවාරිමාර්ග යටතේ ඇති වැව් 415 ක් පිටාර ගලමින් පවතියි.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11 ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4 ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් පැවසීය.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරුද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීහු පිඩාවන්ට පත්ව ඇති අතරම පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයටද දැඩි බලපෑම් එල්ල වී ඇත.

වන්නි රොමේෂ් මධුෂංක


රට පුරු සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

(23.11.2023 – 18:20 +0530 – lankacnews.com)

රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි.

දුඹුරු සීනි කිලෝවක් අද අලෙවි වෙමින් ඇත්තේ රුපියල් 370 ක් ඉක්මවූ මිලකටයි.

ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් විසින් එක් අයකුට නිකුත් කරන්නේ එක් සීනි කිලෝවක් පමණි.

මේ අතර පවතින සීනි හා මිල ඉහළ යාම නිසා රස කැවිලි හා බිස්කට් නිෂ්පාදන කර්මාන්ත කරුවන් ද දුෂ්කරතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ කියා සිටියි ෴


මෙරට බිළිඳුන් පිට රැටියන්ට විකිනීම ගැන විමර්ශනයක්

(23.11.2023 – lankadeepa.lk)

දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද (23) කරුණු වාර්තා කර ඇත.

මෙම මහා පරිමාණ මිනිස් ඡාවාරම සිදුකරන සංවිධානාත්ම කල්ලිය මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් හා ඡාවාරම්කිරීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේජියානු තරුණීයක වන කේ. ප්‍රියංගිකා සමන්ති නමැත්තිය විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය ෴


චූඩාමානික්‍ය සොරාගත් තිදෙනෙක් (3) දැලේ

(23.11.2023 – lankadeepa.lk)

මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පොල වික්‍රමශීලා විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය සොරකම් කිරීම සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම තිත්තගල්ල, මට්ටක්කුලිය සමිත්පුර සහ මහර කඩවත ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 56 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

2022 මැයි මස 14 දා එම විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත දීර්ඝ කාලයක් පොලිසිය විසින් පරීක්ෂණ කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු සගවා තිබූ චූඩාමානික්‍යද සොයාගෙන ඇති බවත්, එය අලෙවි කිරීමට නොහැකිව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බවද සදහන් වේ.

සැකකරුවන් මීගහතැන්න පොලිසියට භාරදී ඇති අතර , මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති ෴


උයන්දන සමූපකාර බැංකුව මහ දවල් කොල්ල කයි

(23.11.2023 – lankadeepa.lk)

කුරුණෑගල උයන්දන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුව අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අද (23) පස්වරුවේ මංකොල්ලකා පලා ගොස් ඇති බව දොරටියාව පොලීසිය පවසයි.

පිස්තෝලයක් එල්ල කරමින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා (2) බැංකු ශාඛාවේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනා (2) බිගන්වා එහි තිබූ මුදල් තොගයක් කොල්ලකා පලාගොස් ඇත. කොල්ලකා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වී නැත.

සැකකරුවන් දෙදෙනා (2) යතුරු පැදියකින් පැමිණ ඇති බවද උයන්දන ඉන්ධන පිරවුම්හල ඇතුළු ජනාකීර්ණ ස්ථානයක පිහිටි බැංකුව කොල්ලකා ඇත්තේ විශාල පිරිසක් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිටි අවස්ථාවදී බවද කියයි.

කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයට මහදවල් ප්‍රසිද්ධියේ මංකොල්ලයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තාවේ ෴


ඖෂධ ජාවාරමේ සැබෑ හොරු නිදැල්ලේ

(23.11.2023 – lankadeepa.lk)

ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී ‘වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව’ පෙන්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා අත් අඩංගුවට ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සහ සෙසු පිරිස වංචාවලට සෘජුව සම්බන්ධ නොවූ අය බවත් ඔවුන් බෙහෙත් තොග බාරගත් අය පමණක් බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දුන්නේය. වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රාජකාරි නිවාඩු ලබා ගනිමින් බොහෝ කාලයක් විදෙස් ගතවී සිටි බව කවුරුත් හොඳින් දන්නා කරුණක් බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය ෴


විදුලි සැරට විදුලි කාර්මිකයා බිලි

(23.11.2023 – lankadeepa.lk)

මුන්දලම කිරීමට්ටාව ප්‍රාදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයෙ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අක්කර 60 ගම්මානයෙ පදිංචි අවිවාහක 26 හැවිරිදි තුරේයි රාජ් මධුෂාන් රාවුර් නැමති අයෙකි.

ව්‍යාපාරිකයාගෙ නිවස ඉදිරිපිට විදුලි කණුවක අලෝක පහනක් ඉනිමගක ආධාරයෙන් සවි කිරීමට කටයුතු කරමින් සිටියදී කිසියම් හේතුවක් මත විදුලි සැර වැදි මරණයට පත්ව ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇති බව කියයි ෴


ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක්

(23.11.2023 – lankadeepa.lk)

ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම යුක්ති සහගත දැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය.

හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ තම පක්ෂයද සිටින බව පැවසූ දිසානායක මහතා විශ්‍රාම ගිය නිලධාරියකුට කුමන හෝ දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවකුටත් අයිතියක් නැතැයිද සඳහන් කළේය.

දිසානායක මහතා මෙසේ පැවැසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

අනුර දිසානායක මහතා මෙසේද පැවසීය :

“ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද. කීත් නොයාර්ට පහර දුන්නේ කවුද. උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ කවුද. පෝද්දල ජයන්තට පහර දුන්නේ කවුද. ඒ පරීක්ෂණ කොච්චර දුර ගියාද කියලා කියලා කියන්න අපි දන්නවා. මේ පාර්ලිමේන්තුව හමුදාවට මුදල් වෙන් කරල දීල තියෙන්නෙ ජනතාවට පහර දෙන්න නොවෙයි. උද්ඝෝෂණ වලට පහර දෙන්න නොවෙයි.

උද්ඝෝෂණ කරුවන්ට පහර දුන්න පිරිසක් නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ කවුද පොලිසියට දුරකතන ඇමතුම් දුන් පුද්ගලයා. කමල් ගුණරත්න ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයෙක්. ඒක ඔහුට තියෙන අයිතිය. අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට වෙනත් අයගෙ ඒ අයිතිය ඔහු හාර අවුස්සන්නේ කොහොමද. වෙනත් දේශපාලන ව්‍යාපාර වලට වැඩ කරන අය පාලනය කරන්න ඔහුට තියන අයිතිය කුමක්ද. හමුදා සොල්දාදුවන්ට ගරු කළ යුතුයි කියලා කතා කරන ආණ්ඩුවක්.

මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ එද්දී ගුවන්තොටේදී පරීක්ෂාවට ලක් කළා. කුඩු අරගෙන එනවද කියලා හෙව්වා. හේතුව මොකද්ද. ජාතික ජන බලවේගය එක්ක දේශපාලනය කිරීම. මේක සාධාරණ නැහැ. මේ වැඩේ කරන්න එපා. යම් දේශපාලන ව්‍යාපාරයකට විතරද මේ රටේ දේශපාලනය කරන්න අයිතිය තියෙන්නෙ.

අද අපිත් එක්ක වැඩ කරන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලට යෑම සීමා කරල. වෛද්‍ය සැපයුම් ලබා ගැනීමත් සීමා කරල තියෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මේ කැත වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරනවා.

ජාතික සමගිය ගැන පෙළපාළියක් ගියා. සංස්කෘතික පෙරහැරක්. ඒකටත් ටවුන් හෝල් එකේදි ගහනවා. එදා පොලීසියේ එක කොට්ඨාශයකට නියෝග දුන්නේ සාගල රත්නායක. විශ්‍රාමික නිලධාරියකුට කවර හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට ඇති අයිතියට අකුල් හෙලන්න එපා. රාජකාරියේ ඉන්න හමුදා නිලධාරින් සමග දේශපාලනය නොකළ යුතුයි කියන මතයේ අප ඉන්නවා ෴


ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන රන් භාණ්ඩ කොල්ලකාලා

(23.11.2023 – lankadeepa.lk)

පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ බිරිද විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අලුයම 2 ට පමණ තිදෙනෙකු (3) පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුලට පැන, රන් අත් පළදනා මුදු ඇතුළු දේපල කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

පහරකෑ ව්‍යාපාරිකයා පානදුර රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය ෴


කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට පැය 16 කට ජල කප්පාදුවක්

(23.11.2023 – lankadeepa.lk)

කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (24) පස්වරු 05:00 සිට අනිද්දා (25) පෙරවරු 09:00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල පොම්පාගාරයේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩල වැඩි දුරටත් සඳහන් කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *