ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු

ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු


ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු

(22.11.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමනු ලැබුවා. ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (22) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් ක්‍රීඩා පනතේ 32 වන වගන්තිය යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීම සඳහා අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බලය ඉතා සීමිත බව පෙන්වා දුන්නා.

ජාතික ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා සංවිධානය වෙත නොතීසි ලබාදිය යුතු බවයි ඔහු කියා සිටියේ.

අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබී නොමැති බව සඳහන් කළා. එම කරුණ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අධිකරණය හමුවේ වසන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පුද්ගලික පදනමකින් බව සඳහන් කළ නීතිඥවරයා, ඒ අනුව මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි කියා සිටියා. මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා මතු කල ප්‍රශ්ණයකට පිලිතුරු දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා නඩුවේ වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණ ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉකුත් 05 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් සිදූවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණක් බව සඳහන් කළා. විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රශ්නයක් යොමු කරමින් ‘ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත් හිටවූ පසු අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයාට බලයක් තියෙනවාද’ යැයි‍ විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පැවසුවේ‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික සංවිධානයක් බවයි. එය සාමාන්‍ය ක්‍රීඩා සංගමයක් නොවන අතර ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව බැවින් ලියාපදිංචිය අත්හිටුවීමට අමාත්‍යවරයාට බලය ඇති බව ප්‍රකාශ කළා.

එසේ අත්හිටවූ පසු නැවත නිලවරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍යවරයා විසින් අතුරු පාලන මණඩලයක් පත් කළ බවත් එය අමාත්‍යවරයා විසින් සිදුකළ අයුතු මැදිහත් වීමක් නොවන බවත් ඔහු කියා සිටියා.

ලියාපදිංචිය අත්හිටවූ පසු ක්‍රීඩා පනත යටතේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට පූර්ණ බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියා සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳව පෙත්සම්කරු අධිකරණය හමුවේ කරුණු වසන් කර ඇති බව පෙන්වා දුන්නා.

රජයේ විගණකාධිපති වාර්තාවේ සඳහන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ දූෂණ අක්‍රමිකතා සිද්ධීන් මාලාවක් පිලිබඳව කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ක්‍රිකට් ආයතනය තුළ පවතින අසීමිත දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් එහි පාලකයින් ඉවත් කලයුතු බවට පාර්ලිමේන්තුව පවා ඒකමතිකව යෝජනාවක් සම්මත කල බවයි කියා සිටියේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වා සිටියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇෆ්ගනිස්ථානය පූර්ණ සාමාජිකයෙකු ලෙස පිළිගෙන ඇති අතර ඒ තුළින් ඔවුන් තලේබාන් නීතිය පිළිගෙන ඇති බවයි ඔහු සදහන් කලේ.‍ ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට (23) දින තෙක් කල් තැබුණා.

පෙත්සම් විභාගයට සහභාගීවීමෙන් අනතුරුව ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

මේ අතර අයි.සී.සී. ය විසින් මෙරට ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබද දැනුවත් කිරීම සඳහා අද ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

+


නිවසක් මතට බැම්මක් කඩා වැටීමෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(22.11.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 සහ 22 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු (2) බවයි හාලිඇල පොලිසිය පවසන්නේ.

පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා (2) නිවසේ නිදනකාමරයේ ඇඳක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා (2) ඊට යට වී ඇති අතර, පසුව නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදනකාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිබෙනවා දැක තිබේ.

පස්කන්දට යටවු තරුණියන් දෙදෙනා (2) බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරේ ෴


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මගින් නවතී

(22.11.2023 – 21:36 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) සිට නැවත දැනුම්දෙනතුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම තීරණය ගත් බවයි ෴


නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි

(22.11.2023 – 21:49 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව හා වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (22) රාත්‍රී කාලයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළං මෙන්ම ප්‍රබල අකුණු ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴


අධික වැසි සමග ගංගාවල ජල මට්ටම් ඉහළට

(22.11.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද (22) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි.

එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


අඟුරුවාතොටදී පාසල් සිසුවෙකුට අත්වූ ඉරණම

(22.11.2023 – 21:38 +0530 – sinhala.adaderana.lk)

අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පන තත්ත්වයක් සමග පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

අකුණුසැර වදින අවස්ථාවේ පාසල් සිසුවා සිය නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති බව ඔහුගේ ඥාතීන් පවසා තිබේ.

අකුණුසැර සමග ඇතිවූ කම්පනයෙන් සිසුවා බිම ඇදවැටී ඇති අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිසුවාගේ කිසිදු භාහිර තුවාලයක් දක්නට නොලැබෙන බවය.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා හොරණ රෝහල වෙත යොමුකිරීමට නියමිත අතර අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+


නාවලපිටියේ පාසලක විදුහල්පතිවරයෙකු සිසුන්ට ලන්ච් ෂීට් සහ පත්තර පිටු කවලා

(22.11.2023 – 20:05 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට එහි විදුහල්පතිවරයා විසින් ලන්ච් ෂීට් සහ පත්තර පිටු කවා ඇති බවට එම සිසුන්ගේ දෙමාපියන් චෝදනා කරනවා.

සිසුන් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂීට් සහ පත්තර පිටු මෙලෙස ඔවුන්ට කවා ඇති අතර මේ වන විට සිද්ධියට මුහුණ දුන් සිසුන් දෙදෙනෙකු නාවලපිටිය රෝහලට ඇතුලත් කර ඇත්තේ උදරයේ අපහසුතා, වමනය සහ උගුරේ අපහසුතා වැනි රෝග ලක්ෂණ හේතුවෙන්.

දෙමාපියන් පවසන්නේ විවේක කාලයේදී ආහාර ලබා ගැනීමෙන් පසු මෙම සිසුන් අදාල ලන්ච් ෂීට් සහ ආහාර ඔතාගෙන පැමිණි පත්තර පිටු යලි තම බෑග් තුලට දමා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ලන්ච් ෂිට් සහ පත්තර පිටු ඉවතට ගෙන සිසුන් 7 දෙනෙකුට ඒවා අනුභව කරන ලෙස පවසා ඇති අතර පසුව සිසුන් විදුහල්පතිවරයා පැවසු අයුරින් කටයුතු කර ඇති බවයි දෙමාපියන් කියා සිටියේ.

අප මේ පිළිබඳව නාවලපිටිය පොලිසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සහ කළත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ ෴


අධිවේගී මාර්ග සේවක වර්ජනය අවසන්

(22.11.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු 3 ක් මුල් කර ගනිමින් එහි සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (22) පස්වරු 7 ට අවසන් වනවා. එතැන් සිට යළි මෙහෙයුම් ආරම්භ කරන බවයි ‘සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ’ සභාපති රොහාන් හසිත මුණසිංහ කියා සිටියේ.

අධිවේගී මාර්ග සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර අද (22) පෙරවරු 7 ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර එහිදී ඔවුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර ගලවා ගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් මුදල් අය කිරිමේ කුටිවල මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව මගින් සිදුකෙරුණු අතර ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර ගලවාගෙන ගොස් තිබීම හේතුවෙන් ආරක්ෂක හමුදා නිලධාරින් ආදායම් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දුන්නා.

එමෙන්ම, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙන්ම, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කටයුතු සිදුවන ස්ථාන අද නිරීක්ෂණයට ලක් කළා ෴


සුදු සීනිවලට වර්ණක කලවම් කරන ජාවාරමක් හෙළිවෙයි

(22.11.2023 – 21:22 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට වෙළෙඳපොලේ සීනි හිඟයක් පවතින පසුබිමක සුදු සීනිවලට විවිධ වර්ණක කලවම් කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබද තොරතුරු හෙළි වී තිබෙනවා.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, මෙම ජාවාරම පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීමට සැකසූ උපක්‍රමයක් බවට පෙනී යන බවයි.

ආනයනික සීනි බදු ඉහළ නැංවිමත් සමග සීනි සඳහා පාලන මිලක් පැනවීමට රජය පියවර ගත් අතර ඉන් පසු වෙළෙඳපොළ තුළ මතුවූ සීනි හිඟයට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ.

සීනි හිගය හමුවේ රසකැවිලි වෙළදාමට ද බාධා එල්ල වී ඇති අතර මංගල සේවා සැපයුම් කරුවන්ට ද ඉන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතර වෙළඳපොළෙහි පවතින සීනි හිඟය හමුවේ ලංකා සතොස මගින් එක් පාරිභෝගිකයෙකුට ලබා දෙන සීනි ප්‍රමාණය කිලෝ එකක් (1) දක්වා සීමා කර තිබෙනවා.

+


කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර බාල්කයක එල්ලෙයි

(23.11.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව, වෙම්බුවැව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වෙම්බුවැව, අංගම්මනගේ පදිංචිව සිටි ‘ශානක දිසානායක’ නමැති අවුරුදු 33 ක තිදරු (3) පියෙක් බවයි.

දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයාගේ බිරිඳ මීට මාස 07 කට පමණ පෙර විදෙස් ගත වී තිබෙනවා.

එම නිසා සෑම දිනකම උදෑසන දරුවන් පාසල් බස් රථයට රැගෙන යන්නේත්, නැවත දරුවන් පාසල නිම වී බස් රථයෙන් පැමිණි පසු රැගෙන ඒමට කටයුතු කර ඇත්තේත් මෙම ව්‍යාපාරිකයා විසින් බවත් පොලිසිය පවසනවා.

ඒ අනුව ඊයේ (22) දරුවන් රැගෙන ඒමට බස් රථය අසලට ඔහු නොපැමිණි නිසා දරුවන් පා ගමනින්ම නිවෙසට පැමිණ ඇති අතර, නිවස විවෘතව තිබීම නිසා පියා සොයමින් නිවස පුරා ගමන් කරමින් සිටියදී, සිය පියා උඩු මහලේ කාමරයක බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටියදී වැඩිමල් දරුවා විසින් දැක ඇති බව පොලිසිය පවසනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන යෑමට නියමිත බවත්, මෙය ඝාතනයක්ද, සිය දිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් ආණමඩුව පොලිසිය සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *