ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23)

ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23)


ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23)

(22.11.2023 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමා තිබෙනවා.

ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (22) කැඳවූ අවස්ථාවේදීයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ක්‍රිකට් අන්තර්පාලක මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංගද අද (22) අධිකරණයට පැමිණ සිටියා.

මේ අතර තම ජීවිතයට හා පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගියදා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමිනුයි එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ ෴


සියඹලන්ගමුව වැවේ ගිලී පුද්ගලයන් දෙදෙනෙකු (2) ජිවීතක්ෂයට

(22.11.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – සියඹලන්ගමුව වැවේ පිටවානේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බෑනා වන 20 හැවිරිදි තරුණයෙක්.

ගල්ගමුව පොලිසිය සඳහන් කළේ 49 හැවිරිදි පුද්ගලයා වීසී දැලක් භාවිත කරමින් මසුන් මැරීමට යෑමේදී ඔහු දියට වැටී ඇති බවයි.

සිය මාමන්ඩිය බේරා ගැනීමට තරුණයා දියට පැන ඇති අතර එහිදී ඔහුද දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා ෴


උසස් පෙළ විභාගයට දින නියම වෙයි

(22.11.2023 – 17:10 +0530 – hirunews.lk/sinhala)

සැලසුම් කළ පරිදි මෙවර උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ එම විභාගය කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (22) අවසන් වීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එහිදී එක් පෙත්සමක් නිෂ්ප්‍රභ වූ අතර අනෙක් පෙත්සම ඉල්ලා අස් කර ගැනුණා ෴


මධ්‍යම පළාතේ පාසල්වල ආපදා අවම කරගැනීමේ බලය කලාප අධ්‍යක්ෂවරුන්ට

(22.11.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වයේදී පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.

පවතින ක්‍රමය යටතේ ධුරාවලියට අනුව කටයුතු කිරීමේදී සිදු වන ප්‍රමාදයන් වලක්වා ගැනීම එහි අරමුණ බවයි පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර ඇති බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ අනුව වික්ටෝරියා ජලාශයට ජලය තත්පරයට ඝන මීටර් 12,000 ක් මුදා හැරෙන බවයි පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් සඳහන් කළේ.

තවදුරටත් අධික වර්ෂාව ඇද හැලු‍නහොත් තවත් හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් මහවැලි ගඟ දෙපස වාසය කරන්නන් හා ගංගාව පරිහරණය කරන්නන් විමසිලිමත්ව කටයුතු කළ යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ ෴


කොළඹ කොටුව සහ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

(22.11.2023 – 15:44 +0530 – hirunews.lk/sinhala)

උඩරට මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) ධාවනය කිරීමට නියමිත කොළඹ කොටුව සහ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටසක් අද (22) අවස්ථා 3 කදී නාය යෑමෙන් දුම්රිය මාර්ගය අවහිර වුණා.

එමෙන්ම හාලි ඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ කොටසක් ද මේ වන විට නාය ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


මහගමසේකරයන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

(22.11.2023 – 15:41 +0530 – hirunews.lk/sinhala)

මහගමසේකරයන්ගේ බිරිඳ වන ‘කුසුමලතා මහගමසේකර’ ඊයේ (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය සිංහල විෂය ගුරුවරියක් ලෙස කටයුතු කරනු ලැබුවා.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

මහගම සේකර කලාකරුවානන් සමඟ 1963 දි ඇය විවාහ වී තිබෙනවා.

අවසාන කටයුතු නොවැම්බර් 25 වැනි සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතයි ෴


පාසල් සිසුවිය දූෂණය කළ විත්තිකරුට වසර 45ක සිර දඬුවම්

(22.11.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

රෝගාතුරව සිටින තම පියා රැකබලා ගැනීම සඳහා නිවසක මෙහෙකාරකම් කිරිමට ගිය 17 හැවිරිදි සිසුවියට අතවර කළ පුද්ගලයෙකුට වසර 45 ක සිරදඬුවමක් නියම වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මේ වනවිට මෙම පුද්ගලයා පදිංචිව සිටි නිවසින් පලා ගොස් සැඟවී සිටින අතර ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස සහ රටින් පිටවන ලෙස වළක්වමින් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී මෙම සිසුවිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් (3) යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

මේ සම්බන්ධව පැවති දීර්ඝ නඩු විභාගයකට සාක්ෂි දෙමින් තමාගේ පියා ඔත්පලව නිවසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටින මව හිටිහැටියේ මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයට පත් වූ බවයි තරුණිය ප්‍රකාශ කොට සිටියේ.

ඔත්පලව සිටි පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුරදීම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාරකමට ගිය බවත් ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමන් කිහිපවරකදීම දූෂණය කළ බව‍යි එම තරුණිය ප්‍රකාශ කොට සිටියේ.

එමෙන් ම මේ පිළිබඳව කිසිවෙකුට හෝ ප්‍රකාශ කළහොත් හමුදාවේ මිතුරන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බවයි ඇය සඳහන් කොට සිටියේ.

තමා දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරුවරයා සියලු චෝදනාවන්ට විත්තිකරු වරදකරු ලෙස නම් කරනු ලැබුවා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලමින් අවසන විත්තිකරුව වසර 45 ක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර දැරියට ලක්ෂ 05 ක වන්දියක් ගෙවීමටද ඊයේ (21) අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා ෴


අධික වර්ෂාවෙන් පුද්ගලයින් 2900 ට පීඩා

(22.11.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 9 කට අයත් පුද්ගලයින් 2930 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම, අද (22) පැය 24 තුළ වැඩිම වර්ෂාපතය ලැබී ඇත්තේ බදුල්ල ප්‍රදේශයට එය මිලිමීටර 60.8 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර අද (22) උදෑසන බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා මතුවුණා.

පේරාදෙණිය නගරයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් වෙළඳසැල් 4 කට හානි සිදුවුණා.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමත් සමඟ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

පවතින අධික වර්ෂාව හමුවේ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6 ක්ද අනුරාධපුර අංගමුව වැවේ වාන් දොරටු දෙකක් (2) සහ වව්නියාව පාවක්කුලම වැවේ වාන් දොරටු 3 ක් ද විවෘත කර තිබෙනවා ෴

අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ඔයේ ජල මට්ටම ඉහළට ගොස් තිබෙනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ගංවතුර අවදානම ගැන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසයි ෴

මේ අතර, කිරමආර පිටාර ගැලීම හේතුවෙන් මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ නිවේදනය කළා.

එසේම, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔය දෙපස සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴


සාමාන්‍ය පෙළ 10 වසරට

(22.11.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කොට සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීයි.

මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එමෙන් ම Pre Primary ආරම්භ කිරීමට අවධානය යොමු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන්කර සිටියා.

වයස අවුරුදු 4 සම්පූර්ණ වන දරුවන් පෙරපාසල් ගත කිරීම අවශ්‍යය බවත් එසේ කිරීමට හැකියාව නොමැතිනම් ආසන්නම පාසලක ඒ සඳහා ඉඩ ප්‍රස්තාව පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

ළමුන් 200 ට අඩු පාසල් 4,000 ක් සහ ළමුන් 100 ට අඩු පාසල් 2,900 ක් ඇති බවත් ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary ඇරඹිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

මේ සඳහා අවශ්‍ය වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය මේ වන විට සාදා නිමකොට ඇති බවත් ඔහු සඳහන්කර සිටියා.

එම හඳුන්වාදීමත් සමඟ දැනට 11 වසරේ පවතින සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට ගෙන ඒමට හැකියාවක් ලැබෙන බවත් එවිට අවුරුදු 4 ක සිට ගණනය කිරීමේදී දරුවෙකුට අවුරුදු පහළොවෙන් (15) සාමාන්‍ය පෙළ ලිවීමට සහ දාහතේදී (17) උසස් පෙළ ලිවීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

+


‘හරක්කටා’ මුදා ගැනීමේ මෙහෙයුමේ ස්නයිපර් තුවක්කුකරුවෙකු අත්අඩංගුවට

(22.11.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ මුදාගැනීම සඳහා සැලසුම් කළ මෙහෙයුමේ ස්නයිපර් තුවක්කුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාතර – ගොඩගම ප්‍රදේශයේදී.

33 හැවිරිදි ඔහු හිටපු හමුදා සෙබලෙකු වන අතර, මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

‘හරක්කටා’ මුදා ගැනීම කමාන්ඩෝ මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක තොරතුරු පළමුව අනාවරණ වුණේ පසුගිය ඔක්තෝම්බර් 24 වැනිදා.

එම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනෙකු (2) ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටිනවා.

ස්නයිපර් තුවක්කුකරු ඔවුන්ගේ සමීපතමයෙකු ලෙස ‘හරක්කටා’ මුදා ගැනීමේ කටයුත්තට සහයට පැමිණි අයෙක් බවයි සඳහන් වන්නේ.

කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී එහි ප්‍රධාන දොරටුවේ සිට ආරක්ෂාවට රදවා සිටින සියලු‍ දෙනාට ප්‍රහාරයක් එල්ල කර ‘හරක්කටා’ මුදාගෙන පලා යාමටයි මෙහිදී සැලසුම් කර ඇත්තේ.

මෙම සැලසුම හෙළිවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට පියවර ගැණුනා.

ප්‍රධාන සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැණුනු හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනා (2) රුපියල් කෝටි 100 කට අධික මුදලක් මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ලබා ගත් බවට විශ්වාස කෙරෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *