ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට ‘වන්ෂෝට්’ දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ..

ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට ‘වන්ෂෝට්’ දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ..


ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට ‘වන්ෂෝට්’ දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ..

(14.11.2023 – 22:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ විවිධ කතා-බස් හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) අද (14) පස්වරුවේ උණුසුම් මුහුණුවරක් ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක් එහි ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා කළහ.

ඕස්ට්‍රේලියානු ටී-20 සංචාරට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිළියන් කිහිප දෙනකු වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව ප්‍රශ්න කෙරිණ.

එම සංචාර වෙනුවෙන් රුපියල් කෝටි හයකට (6) වැඩි මුදලක් වැය කර ඇති බවද එහිදී සඳහන්විය.

මේ සංචාරය සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කැඳවා මේ පිළිබඳව විමසීමටද ඒ අනුව තීරණය කෙරිණ.

නාස්තිකාර ආකාරයට මුදල් වියදම් කිරීම නතර කරන්නැයි කෝප් කමිටුව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එසේම විදෙස් සංචාර සඳහා මාධ්‍යවේදීන් ගෙන යාමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසටද කෝප් කමිටුව නියෝග කළේය.

ක්‍රීඩකයන්ට භෞත චිකිත්සකයන් ප්‍රතිකාර කිරිමේ ගැටලු පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙහිදී පැවසූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් ළඟදි තව දින තුනක් (3) කැඳවීමටද කමිටුව තීරණය කළේය.

මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර, හේශා විතානගේ යන මහත්වරුද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කමිටුවේදී හෙළි කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය.

එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය.

‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රුපියල් 150,000 ක වැටුපකට සේවාව ලබාදෙන ලෙස ඉල්ලා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කළේය.

ක්‍රිකට් ආයතනය එහිදී පවසා සිටියේ එම ඉල්ලීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් යොමුකරමින් එලෙස ඉල්ලීමක් කිරීමම අතිශය දෝෂ සහිත ක්‍රියාවක් බවය.

එහිදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් ක්‍රීඩකයින් වෙත කොපමණ මුදලක් ගෙවීම් සිදුකරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සියලුම ක්‍රීඩකයින් සඳහා සියයට 25 ක මුදලක් ගෙවන බවය.

පාසල් ක්‍රීඩා, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින් ඇතුළුව සියයට 60 ක මුදලක් ක්‍රීඩාවේ දියුණුව සඳහා ගෙවීම් සිදුකරන බවද එහිදී ක්‍රිකට් ආයතනය පැවසීය.

Lankadeepa / Adaderana

++++++++

+

+

+

+

+

+

+

+

+


ICCPR ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක්

(14.11.2023 – 23:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ පාලන සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රම්සි රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

රම්සි රාසික් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කර තිබෙනවා.

එමෙන්ම ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසද රජයට නියෝගක් ද නිකුත් කර බවයි වාර්තා වන්නේ.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ 3 වැනි වගන්තිය අපහාස කිරීම අපරාධයක් ලෙස වටහා නොගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලේඛක රම්සි රසීක් 2020 අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ෆේස්බුක්හි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබුණා.

චෝදනාවක් ගොනු නොකර ඔහු මාස 5 ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

රම්සි රසීක් කියා සිටින්නේ ඔහුගේ සමාජ මාධ්‍ය සටහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඔහු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, මෙම වසරේ (2023) සැප්තැම්බර් මාසයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා ෴


මොරගහහේනේදී පැහැරගත් දැරිය සොයාගනී

(14.11.2023 – 17:55 +0530 – sinhala.adaderana.lk)

මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07 ක දැරිය හමුවී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි.

දැරියගේ මව මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල සිදුකළ දැරියගේ මව ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා (2) සිය මව හා සැමියාගේ නැගණිය අදාළ නිවසේ වාසය කර තිබේ.

සැමියාගේ නැගණිය පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඔවුන් අතර අමනාපයක් ඇතිවීම හේතුවෙන් ඊයේ (13) උදෑසන මෙම නිවසට පැමිණි සැකකාර පෙම්වතා කුඩා දැරියව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාන්තාවගේ සැමියාගේ නැගණිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් සැකකරු පවසා ඇත්තේ දැරියට කරදරයක් සිදුකිරීමට පෙර ඇයට ඔහු වෙත පැමිණෙන ලෙසටය.

අනතුරුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අතරතුර පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාන්තාවගේ සැමියාගේ නැගණිය කැස්බෑව ප්‍රදේශයේ සැකකාර පෙම්වතා සිටි ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් කුඩා දැරිය පැමිණිලිකාරියගේ ඥාති නිවසක දමා ගොස් ඇත.

එහි පැමිණි පොලීසිය දැරිය සිය මවගේ භාරයට පත්කිරීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාර පෙම්වතා විසින් රැගෙනගිය කාන්තාව සහ එම සැකකරු සොයා මොරගහහේන පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

+


කුරුණෑගල අලෙවි ප්‍රදර්ශනාගාරයක ගින්නක් (14-11-2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *