‘රුපියල් 10,000 රජයේ සේවක වැටුප් වැඩිවීම’ ගෙවන්න යලි ණය ගනී.. දැවැන්ත අයවැය හිඟයක්.. ණය බෝම්බයක් පිපිරෙන්න යයි..

‘රුපියල් 10,000 රජයේ සේවක වැටුප් වැඩිවීම’ ගෙවන්න යලි ණය ගනී.. දැවැන්ත අයවැය හිඟයක්.. ණය බෝම්බයක් පිපිරෙන්න යයි..


‘රුපියල් 10,000 රජයේ සේවක වැටුප් වැඩිවීම’ ගෙවන්න යලි ණය ගනී.. දැවැන්ත අයවැය හිඟයක්.. ණය බෝම්බයක් පිපිරෙන්න යයි..

(14.11.2023 – 14:10 +0530 – lankacnews.com)

දැවැන්ත අයවැය හිඟයක් සහිත මෙම අයවැය හරහා ජනාධිපතිවරයා සිදුකලේ අනාගතයේ තවත් ණය බෝම්බයක් පුපුරුවා හැරීමට සේවා නූල ගිණි තැබීම යැයි ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (14) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

බුදුන් වහන්සේටත් අපහාස කල අයවැය

ජනාධිපති අයවැය කතාව ආරම්භ කලේ සාමඤ්ඤඵල සූත්‍රය උපුටා දක්වමින් ණය ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නොවන බවත් පරිභෝජනයට ණය ගන්න මිනිසා විනාශ වන බවත් ප්‍රකාශ කරමින්. ඒත් අයවැය කතාව අවසන් කලේ ඉතිහාසයේ දැවැන්තම අයවැය හිඟය ඇති කරලා ඒ අයවැය හිඟය පියවා ගැනීම සදහා ණය ගැනීම පමණක් කරලා. ණය ගැනීම බරපතල ලෙස වැඩි කරගත යුතු නිසා පාර්ලිමේණ්තුවෙන් ආණ්ඩුවට පනවා ඇති ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට බිලියන 7,350 දක්වා ඉහළ දමමින්. ‘බුදු හාමුදුරුවන්නම් කියලා තියෙන්නේ මෙහෙමයි. හැබැයි අපි ඕව කරන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියන දේවල් කරලා හරියන්නේ නෑ. අපි කරන්නේ මෙහෙමයි’ කියලා අයවැය කතාවකින් බුදුරජාණන්වහන්සේටත් කොකා පෙන්නපු අයවැයක් විදිහටයි අපි මේක දකින්නේ.

+

අය නැති වැය ඇති අයවැයක්

1947 දී මුදල් ඇමති ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ අයවැයේ සිට සෑම අයවැය කතාවකම අයවැය හිඟය පියවන්න බදු යෝජනා ඉදිරිපත් කළා. ඉතිහාසයේ දැවැන්තම අයවැය හිඟය තිබිලත් ප්‍රථම වතාවට වැය යෝජනා මිසක් අය යෝජනා නැති අරුම පුදුම අයවැයකට ඊයේ (13) අපි සවන් දුන්නා. මේ අයවැයේ බදු පැහැර හරින අයගෙන් බදු අය කරන්න කිසිම යෝජනාවක් නෑ. කිසිම බද්දක් අළුතින් එකතු කරලත් නෑ. තිබෙන බදු වැඩි කරලත් නෑ. ආදායම් වැඩි වෙන ක්‍රම වේදයක් නෑ. එහෙම නම් රස කර කර කියූ වැය යෝජනා ක්‍රියාත්මක කරන්න සල්ලි කොහෙන්ද? ඒ නිසා මේ අයවැය මැතිවරණ ඉලක්ක කර ගත් සුරංගනා කතාවක් විතරයි.

අයවැය ඇස්තමේන්තු අනුව සමස්ත වියදම රුපියල් බිලියන 7,800 යි. සමස්ත ආදායම රුපියල් බිලියන 4,100 යි. දැන් රුපියල් බිලියන 3,700 දැවැන්ත හිඟයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අයවැය කතාව කියන්නේ මේ හිඟය පියවා ගන්නා ආකාරය පැහැදිලි කරන කතාවට. නමුත් ඒ වෙනුවට කලේ තවත් බිලියන 213 එකතු කරලා බිලියන 3,900 ක් බවට අයවැය හිඟය පත් කරපු එක. මේ හිඟය පියවා ගන්නේ කොහොමද? ආදායම වැඩි කරන්නේ නැති නම් ණය ගන්න ඕනේ. අසීමිතව ණය ගන්න ඕනේ. ඒ සඳහා තමයි ණය ගැනීමේ සීමාව දෙගුණයකින් වැඩි කලේ. අපි වගේ බංකොළොත් රටකට – එසේ වී වසර දෙකක් (2) ගතවී තිබුණත් ඉන් මිදීමේ වැඩ පිළිවෙලක් ලෝක ප්‍රජාවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ රටකට – ණය ප්‍රතිව්‍යහගත කිරීමට අසමත් වූ රටකට – ණය දෙන්න රටවල් ඉදිරිපත් වෙන්නේ නෑ.

අපි 2022 අර්බූදයකට මුහුණ දුන්නේ අසීමාන්තිකව ණය ගත් නිසා. වර්තමාන ජනපතිතුමන් ඊට පෙර අග්‍රාමාත්‍යධූරයේ සිටියදී මේ වාගේම සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කරලා එය ගෙවීමට ණය අරගෙන ඒ විදේශ ණය ගෙවන්න ඩොලර් යෙදෙව්වාම තෙල්, ගෑස්, ගල් අඟුරු බෙහෙත් ආදිය ගේන්න මුදල් නැති වුණා. එහෙම නම් දැන් අපි සැලසුම් කරන්න ඕනේ ක්‍රමයෙන් ණය ගැනීම් අඩු කරලා ණය ගෙවීම් වැඩි කරලා මේ අර්බූදයෙන් ගොඩ එන විධියක් මිස නහය ගාවට ණය අර්බූදයේ ගිලිලා ඉන්න ගමන් තවත් බිලියන 3,900 කින් ණය වැඩි කිරීම නොවේ.

2022 වසරේ අපි මුහුණ දුන් බියකරු අත්දැකීම නුදුරු අනාගතයේ ඇති කිරීමට එහෙමත් නැතිනම් ණය බෝම්බය නුදුරු අනාගතයේ පුපුරුවා හැරීමට සේවා නූල ගිණිතැබීමයි ඊයේ (13) අයවැය කතාවෙන් සිදු කලේ.

වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක්

රුපියල් දස දහසකින් (10,000) රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. හැබැයි මේ මුදල් සොයා ගන්නේ ණය අරන්. ණය දේශීයව ගත්තාම මුදල් සංසරණය වැඩි වෙලා ඉල්ලුම වැඩි වීමෙන් ජීවන වියදම ඉහළ යනවා. විදේශ ණය ගත්තාම ආපසු ගෙවන විට විදේශ විනිමය අනුපාතය පිරිහිලා පිරිවැය වැඩි වෙලා ජීවන වියදම ඉහළ යනවා. පඩි වැඩි කරන්නේ ණයට අරන් නම් එහි අවසන් ප්‍රතිඵලය උද්ධමනය ඇති වෙලා ජීවන වියදම ඉහළ යෑම නම් අර කලින් වැටුපට ගත්ත බඩු ටිකමයි අළුත් වැටුපටත් ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමේට පඩි වැඩි කිරීමෙන් ලැබුණු දෙයක් නෑ.

රුපියල් විසි දහසක (20,000) වැටුප් වැඩි කිරීමක් ඉල්ලීමෙන් පෙන්නුම් කරන්නේ වෘත්තිය සමිතිත් මේ අර්බූදය තේරුම් අරන් නෑ. දේශීය නිෂ්පාදන වැඩි කරන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩි කරන්නේ නැතිව ණයට අරන් වැටුප් වැඩි කිරීමෙන් වෙන්නේ ජීවන වියදම තව තවත් වැඩි වීම මිස අඩුවීමක් නොවේ. ඒ නිසා මේ වෙලාවේ වෘත්තිය සමිති කියන්න ඕනේ ‘වැටුප් වැඩි කරව්’ කියලා නොවේ. ‘දේශීය නිෂ්පාදනය වැඩි කරව්, බදු පැහැර හරින්නන්ට දඬුවම් කරව්’ කියලා ෴


ක්‍රීඩා ඇමතිගේ පෙත්සමට නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්

(14.11.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා ගොනුකළ මෝසම සළකා බැලීමට ඩී.එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ධම්මික ගනේපොළ ඉවත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්.

ක්‍රීඩා අමාත්‍යවරයා ගොනුකළ මෝසම අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි හමුවේ කැදවනු ලැබුවා.

එහිදී සභාපතිවරයා කියා සිටියේ පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමා සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම පෙත්සම සළකා බැලීම වෙනත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් වෙත යොමුකළ අතර, ඒ අනුව එය සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ පසුව කැදවනු ලැබුවා.

එහිදී විනිසුරු ධම්මික ගනේපොළ කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට කැමැත්ත පළ නොකරන බැවින් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීම සදහා අදාළ පෙත්සම යළි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමුකරන බවයි.

ඒ අනුවයි නව විනිසුරු මඩුල්ල නම් කරනු ලැබුවේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 16 වනදා නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නැවත කැඳවනු ඇති.

+


අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(14.11.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ ජනවාරි මස පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මුල්‍යාධාරා ලබා දීම සඳහා අයදුම්පත් භාර ගැනීම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පවසා තිබෙනවා.

අදාළ අරමුදල් හිමි වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීමට බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ සිසුන් සඳහා රුපියල් 25,000 ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාරා ලබා දීමට නියමිතයි.

මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර http://etfb.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා ෴


හොර රහසේ ගණිකා නිවාස පවත්වා ගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(14.11.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු (2) ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27 ක හා 32 ක වයස්වල පසුවන පදියතලාව හා අම්පාර ප්‍රදේශයන්වල පදිංචිකාරියන් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරන බවයි ෴


වාහන ආනයනයට මෙවර අයවැයෙන් කිසිදු සහනයක් නෑ – ලංකා මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය

(14.11.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් හිමි නොවූ බව ලංකා මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් පවසනවා.

රටේ ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නේ යැයි මහ බැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා ගණනකදී ඉල්ලීම් කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවයි ඔහු ප්‍රකාශ කොට සිටියේ.

අවුරුදු හතරකින් (4) වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයින් මෙන්ම වාහන ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර මේ හේතුවෙන් ලක්ෂ හතරකට (4,00,000) අධික පිරිසකට රැකියා අහිමි වී ඇතැයි ද ඔහු පවසා සිටියා .

අයවැයෙන් පසුව හෝ සීමා සහිතව වාහන යම් ප්‍රමාණයක් හෝ ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ ෴


විදුලි ‘ඊ-බිල්පත්’ සේවාවට ලියාපදිංචි වෙන්න උපදෙස්

(14.11.2023 – lankadeepa.lk)

විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ‘ඊ-බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලයේ https://ebill.ceb.lk/ වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලියාපදිංචි විය හැකි බවත් එසේ නොමැති නම් 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද ඊ-බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

පාරිභෝගිකයා සිය දුරකථන අංකයෙන් ‘REG <හිස්තැනක්> විදුලි ගිණුම් අංකය’ ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යොමුකළ යුතුය.
REGISTER FOR SMS ( https://www.ceb.lk/ )

The Ceylon Electricity Board now offers Electricity consumers the option of receiving a number of SMS based services such as the following.

  • Receiving planned power interruptions by SMS
  • Receiving reminders to settle overdue bills
  • Receiving outstanding Account balance by SMS

If you are an electricity consumer in any of the Island wide, you can register to this service by following any of the following steps.

  • Type REG ‘your 10 digit Electricity Account number’ and text to 1987.
    (Eg: REG 1597302235)
  • For Balance Query ” B 1597302235 “

දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ‘ඊ-බිල්පත්’ මේ වන විටත් නිකුත් කරන අතර එම සේවාව ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය ෴


මහාචාර්ය චරිත හේරත් අයවැය චොර කරලම දායි (14-11-2023)

+


ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

(14.11.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මාධ්‍ය අංශය විසින් (පීඑම්ඩී) නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඉදිරියේ දී අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිය ද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ කැබිනට් නියෝගයක් ලැබී නොමැති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

අදාළ නිවේදනය නිවැරදි කළ යුතු බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළ බව ද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *