ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට මෝසමක් – සීඅයිඩියට පැමිණිල්ලක්

ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට මෝසමක් – සීඅයිඩියට පැමිණිල්ලක්


ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට මෝසමක් – සීඅයිඩියට පැමිණිල්ලක්

(13.11.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කළ ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් පසුගියදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළා.

ජනාධිපති නීතීඥවරයෙක් මාර්ගයෙන් විරෝධතා ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශවල අසත්‍ය තොරතුරු ඇතුලත්ව ඇති බවයි.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුව නීති විරෝධී බවට පෙත්සමේ සඳහන් කර ඇති කරුණු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර එය පත්කරනු ලැබුවේ ක්‍රීඩා නීතියට අනුකූලව බවද පෙන්වා දී තිබෙනවා.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් හිතවතුන් අතර බෙදාදෙමින් අවභාවිතා කළ බවට ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිදුකළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි එන්.කේ.ආර්. පෙරේරාගේ අත්සනින් යුතුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් එම අරමුදල් වියදම් වූ ආකාරය පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් ඊට එක් කර තිබුණා.

එහි දැක්වෙන්නේ රුපියල් විසිඅට කෝටි අනූනව ලක්ෂ අනූදාහක් (28,99,90,000) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදල සදහා ලබාදුන් බවත් ඉන් රුපියල් විසිපන්කෝටි හැත්තෑතුන් ලක්ෂ හතළිස් නවදහස් එකසිය හැත්තැ නවයක් (25,73,49,179) වියදම් කර ඇති බවයි.

ඒ අනුව ජාතික ක්‍රීඩා අරමුදල සතුව තිබූ මුදල් ශේෂයක්ද සමගින් මේ වන විට එම අරමුදල සතුව රුපියල් තුන්කෝටි විසිහය ලක්ෂ හතළිස් අට දහස් හාරසිය අසූ එකක් (3,26,48,481) පවතින බව එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු සහ තමන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් දැනුවත් කරමිනුයි ඔහු අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ෴

+

++++++++++

13-11-2023

+


මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

(13.11.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා (3) මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ‘සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ’, ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (11) යි.

අනතුරුව ඔවුන් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා ෴


ජංගම ගිණුමක් අරඹන්නත් මෙවර අයවැයෙන් බදු අංකයක්

(13.11.2023 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) ඉදිරිපත් කළ 2024 අය වැය වාර්තාව මගින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා කිහිපයකදී අනිවාර්යය කර තිබෙනවා. එම අවස්ථා නම් :

  • ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරිමේදි,
  • ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී,
  • මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍ර අලුත් කරන අවස්ථාවකදී සහ
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන අවස්ථාවකදී යි ෴

කළුතරදී පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්

(13.11.2023 – 22:38 +0530 – sinhala.adaderana.lk)

කළුතර නගර මධ්‍යයේදී අද (13) පස්වරුවේ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවද අනාවරණය වී ඇත.

ඔහුගේ දෙඅත්වලට පිට ප්‍රදේශයට කඩු ප්‍රහාර 3 ක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

කඩු ප්‍රහාරය එල්ලවීමත් සමග පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිවගොස් ඇති අතර එම අවස්ථාවේදී මග ඇදවැටී තිබේ.

පසුව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස එක්ව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ ෴


දියවැඩියාව නිසා ලක්ෂ 3 ක් අන්ධ වේ

(14.11.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

අදට (14) යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ පිළිබඳව සඳහන් කොට සිටියා.

මෙරට ජනතාවගෙන් මිලියන 3 ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නා අතර තවත් ලක්ෂ 3 ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේ ෴


දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්

(13.11.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කතා කර දරුවා හදිසියේ අසනිප වී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවට පවසා තිබෙනවා.

අදාළ දරුවාගේ පියා නීතිඥවරයකු වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ එවැන්නක් සිදුව නොමැති බව දැනගන්නට ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ව්‍යාජ දුරකථන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගන්නා ලෙසයි ෴


බොරැල්ලේ මහල් නිවසින් සිසුවා ඇදවැටෙන විට තවත් දෙදෙනෙකු (2) නිවස තුළ සිට ඇති බවට අනාවරණයක්

(14.11.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – සර්ෆන්ටයින් නිවාස සංකීර්ණයේ තුන්වන (3) මහලෙන් 16 හැවිරිදි සිසුවෙකු ඇද වැටෙන අවස්ථාවේ ඔහු සමග එම නිවසේ තවත් දෙදෙනෙකු (2) සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බොරැල්ල – මැගසින් පාර ප්‍රදේශයේ පදිංචි අදාල සිසුවා ඊයේ (13) පස්වරුවේ මෙම නිවාස සංකීර්ණයේ පිහිටි මිතුරෙකුගේ නිවසට ගොස් තිබුණා.

මීට පෙරද ඔහු මිතුරාගේ නිවසට යන බව දෙමාපියන් දැනුවත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඊයේ (13) මෙම සිසුවා නිවසින් පිටව යන අවස්ථාවේ ඔහුගේ මව නිවසේ සිට නොමැති අතර පසුව ඇය මොහු සොයා බොරැල්ල – සර්ෆන්ටයින් නිවාස සංකීර්ණයේ මිතුරාගේ නිවසට ගොස් තිබුණා.

එම අවස්ථාවේ නිවසේ ප්‍රධාන දොර වසා තිබෙනු දැක මව විසින් ඔහුට කතා කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ නිවසේ ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මව පැමිණි අවස්ථාවේ නිවසේ සිටි ඔවුන් දොර විවෘත කර නොමැති අතර සිසුවා බිය වී සැඟවීමට උත්සහ කර තිබෙනවා.

එහිදී මෙම සිසුවා ජනේලය ඔස්සේ නිවසින් පිටතට පැමිණ බිත්තිය ආධාරයෙන් පහළට ඒමට උත්සහ කළ අවස්ථාවේ බිමට ඇද වැටී තිබෙනවා.

ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් අතර ඔහු මේ වන විට එහි දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

+


ක්‍රිකට් ආයතනය අද (14) කෝප් කමිටුවට

(14.11.2023 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියේ පස්වරු 2 ට කෝප් කමිටුව රැස්වන බවයි.

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පිළිබද විගණන වාර්තාවෙන් අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගෙන් කරුණු විමසනු ඇති.

රටේ මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම කරුණු විමිසීම සඳහා කෝප් කමිටුවේ සියලු සාමාජිකයින් එක්වනු ඇති බවයි වාර්තා වන්නේ ෴


රාත්‍රියේදීත් රථ වාහන දඩ ගෙවීමට අවස්ථාව

(14.11.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර සීතාවක පුර, කොටහේන, කොම්පඤ්ඤ වීථිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර යන තැපැල් කාර්යාලවලින්ද මෙම සේවාව ලබාගත හැකි බවයි ෴


උපකාරක පන්ති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ

(14.11.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ.

ඔහු පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර ඒ පිළිබඳව සිත් තැවුලෙන් සිට තිබෙනවා.

+


ඩුබායි රැකියා සඳහා යාමට තැත් කළ කාන්තාවන් 06 ක් හරවා යවයි

(14.11.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විදේශගත කිරීමට උත්සාහ කළ මාතර – වෙලේගොඩ පදිංචි පුද්ගලයෙකු සහ මිහින්තලය අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

මේ අතර කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදයට විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට්පත් පරික්ෂා කිරීමේ යන්ත්‍ර 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාරදීමේ යන්ත්‍රයක්ද අද (14) ස්ථාපති කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි 5 ක් තුල සිය ගුවන් ගමන් රාජකාරි ඉටු කර ගැනීමට අවස්ථා පවතිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *