අර්ජුන රණතුංග CID විමර්ශනයක් ඉල්ලයි

අර්ජුන රණතුංග CID විමර්ශනයක් ඉල්ලයි


අර්ජුන රණතුංග CID විමර්ශනයක් ඉල්ලයි

(12.11.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම සඳහා බලපෑම් කළ මෙරට පුද්ගලයින් පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ අද (12) පැවති වැඩසටහනකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+++++++++

අර්ජුන දැඩි තීරණයක් ගනී

(12.11.2023 – 18:00 +0530 – sinhala.adaderana.lk)

තම මුදලින් හෝ වියදම් කර අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් යළි නිවැරදි මාර්ගයට ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග :

“කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද්වුණේ. කවුද මේක යට ඉන්නේ එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට. මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ, රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද ? එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ. ? “

“මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට ක්‍රීඩකයෝ 8 දෙනෙක් කතාකරලා කිව්වා අයියේ අපි කරලා දෙන්නම් කිව්වා සල්ලිත් එපා කිව්වා. අපි ගෙවනවා ඩොලර්වලින් පිටරට පුහුණුකරුවන්ට. කරන දේකුත් නෑ, දැන් පෙන්වා නේ, ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. ඔය කතාකරන ක්‍රිකට් පරිපාලනය තමයි හොඳටම කරලා තියෙන්නේ. අපි ඊයෙත් දැක්කා. මම ක්‍රීඩකයින්ට මුකුත් කියන්නේ නෑ. මේ දරුවෝ ටික හදාගන්න ඕන. මට තිබුණා එක චෝදනාවක් කැප්ටන් කරනකොට මම සැරයි කියලා, ඔව් මම සැරයි. අපි රට නියෝජනය කරනකොට අපි දැනගන්න ඕන මිලියන 22 ක් අපි නියෝජනය කරනවා කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. ඒ දවස්වල රෑ 10 න් පස්සේ කාටවත් එළියේ ඉන්න බෑ. කාමරෙන් එළියේ ඉන්නත් බෑ. අහුවුණොත් ගෙදර එවනවා. මොකද විනය කියන එක තමයි අපේ රටේ නැතිවුණේ පහුගිය කාලේ. මේක හදන්න ඕන ජාතික කණ්ඩායමට ආවම නෙවෙයි, චූටි දරුවාගේ ඉඳලා. ඒක හදන්න ඕන අම්මා තාත්තා, පාසලේ පුහුණුකරුවා. සනත්, වාස්, මුරලි, දුලිප් ඔය සියලුම දෙනා හැදුනේ ඒ ක්‍රමවේදයකින්.”

“රොෂාන් ඇමතිතුමා මට කතාකරලා කිව්වා ‘අයියේ මට ක්‍රිකට් ටික හදලා දෙන්න’ කියලා. මම කිව්වා මම ක්‍රිකට් පැත්ත බලන්නම්. තව කණ්ඩායමක් හදලා පරිපාලනය පැත්ත බලන්න. මේ රටේ ක්‍රිකට් 96 තිබ්බ ගාණට මම ගෙනල්ලා දෙන්නම් මම ඒ වගකීම ගන්නම් කිව්වා. මම සහ අනිත් නිලධාරීන් ගිහිල්ලා අපි හැදුවා කොයි විදියට ද ඉක්මණට මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ඒ සැලසුම් ටික මට ගෙදර අරගෙන යන්න සිද්ධවුණා. මට මේකට අතගහගෙන මැරෙන්න යන්න ඕන නෑ. හැබැයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් මේ රටේ ක්‍රිකට් පරිපාලනය වගකියන්න ඕන. ඒ ගොල්ලෝ කරලා තියෙන දේ මම කියන්න ඕන නෑ. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මොනවගේ විනාශයක් ද කරලා තියෙන්නේ කියලා.”

“ක්‍රීඩා අමාත්‍යවරයා හොරකම නවත්වන්න හදනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව ආණ්ඩුව විපක්ෂය එක තැනකට ආවා. මේ රටේ යුද්ධයක් පැවති කාලයේ එක දවසකට හරි ඒක නැවැත්තුවේ 96 දී අපි 11 ක් ක්‍රීඩා කරන හින්දා. ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා. ඒක අර්ජුන රණතුංගගේ ටීම් එකවත් අර්ජුන රණතුංගගේ ක්‍රිකට් පරිපාලනය වත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සෙල්ලම් කරනකොට LTTEය යුද්ධය නවත්වලා ක්‍රිකට් තරගය බැලුවා.”


බලංගොඩ නායයෑමකින් නිවාස දෙකකට (2) හානි

(12.11.2023 – 21:04 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – හොරන්කඳුර ප්‍රදේශයේ අද (12) සුළු මොහොතකට පෙර ඇති වූ නායයාමකින් නිවාස දෙකකට (2) හානි සිදුව තිබෙනවා.

අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති අතර, ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කලමනාකරණ ඒකකය සඳහන් කළේ ෴

බලංගොඩ නායයෑමෙන් පවුලක හතර දෙනෙකු (4) අතුරුදහන් බවට සැක කෙරෙන අතර, තොරතුරු තවම තහවුරු කර නොමැති බව පොලිසිය පවසනවා ෴

+

+++++++++

බලකඩුවේ ව්‍යාපාරික ස්ථානයක් නායයයි

(12.11.2023 – 15:52 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මාතලේ මාර්ගයේ අලවතුගොඩ, බලකඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අද (12) නායයෑම නිසා එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පවසනවා.

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මින් පෙර මෙම ව්‍යාපාරික ස්ථානයේ මත්පැන් හලක් පිහිටා තිබූ නමුත්, මේ වන විට එහි කෙටි කෑම අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ නමුත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ කිසිවෙකුත් සිට නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ ෴


සරණාගතයෙකු මුවාවෙන් ඉන්දියාවට ගිය අපරාධකරුවෙකු එරටදී අත්අඩංගුවට

(12.11.2023 – 20:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසකට හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට වරදකරුවෙකු වී අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටින යාපනයේ පුද්ගලයෙකු සරණාගතයෙකු වශයෙන් පෙනීසිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලායමින් සිටියදී ධනුස්කෝඩි පොලීසිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුව රැගෙන ගිය ඉන්දීය ජාතික යාත්‍රිකයාද එම බෝට්ටුව සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රුපියල් 75,000 ක මුදලක් ඉන්දීය ධීවරයෙකුට ලබාදී ඔහුගේම බෝට්ටුවෙන් ඉන්දියාවට පළාගොස් ඇති අතර, ධනුස්කෝඩි වෙරළාරක්ෂක පොලීසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී උතුරේ ජීවත් වීමට නොහැකි නිසා සරණාගතයෙකු වශයෙන් ඉන්දියාවට පළා ආ බවට ප්‍රකාශ කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කරනවා.

දිගින් දිගටම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සපයන ලද විස්තර එකිනෙකට පරස්පරවීම නිසා සැකකරුව ධනුස්කෝඩි පොලීසිය වෙත බාර දී තිබෙනවා.

එහිදී පොලීසිය විසින් කළ සොයා බැලීම් වලදී මොහු අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළිවීමෙන් පසුව, එම පුද්ගලයාව ආපසු ශ්‍රී ලංකා පොලීසියට භාර දීමටයි ධනුස්කෝඩි පොලීසිය පියවර ගෙන ඇත්තේ ෴


වැස්සෙන් ගාල්ල යට වෙයි

(12.11.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (12) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මංමාවත් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යටවී තිබූ අතර, උපකාරක පංති අවට මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා එම පංති සඳහා සහභාගී වූ සිසු සිසුවියෝ මහත් අපහසුතාවයකට ලක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් පිටිගල ප්‍රදේශයේද පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා ෴


සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ මුදල් නාස්තිය

(12.11.2023 – 16:33 +0530 – hirunews.lk/sinhala)

2007 වර්ෂයේ සිට සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුකළ විවිධ ඉදිකිරීම්වලදී රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් සිදුව ඇති බවට පවසා තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ අදාළ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවන ලද අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

+


බොරලැස්ගමුවේ අන්තර්ජාල ගණිකා නිවස වටළයි

(12.11.2023 – gossiplankanews.com)

බොරලැස්ගමුව, වැවපාර සිව්මහල් ගොඩනැගිල්ලක අන්තර් ජාල භාවිතයෙන් සිදුකරගන යනු ලැබූ ගණිකා නිවාසයක් 08.11.2023 දින අලුයම වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. කළමනාකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (44) ක්ද, අනෙක් කාන්තාව වයස අවුරුදු (42) ක්ද වන බවත් පොලීසිය පැවසීය.

මෙම කළමනාකාරිය විසින් අන්තර් ජාල සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුරකතන මගින් ලබාදෙන ඇනවුම් පමණක් ලබාගන සූක්ෂම ලෙස කාන්තාවන් ගෙන්වා ගනු ලබන බවත් ඒ සඳහා රුපියල් 5000/= සිට රුපියල් 30,000/= දක්වා විවිධ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කරනු ලබන බව හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය.

මේ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත පොලිස් උපායදූතයකු රුපියල් පන්දහසක (5000) මුදලක් ගෙවා එම ස්ථානයෙන් දුරකතන මගින් ලබාගත් ඇනවුමක් මත කාන්තාවක වෙන්කරවාගන ගොස් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල් 74259 හේරත්, 99093 ධනංජය, 88879 ලසන්ත, කාත්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන නිලධාරීහු සිදු කරති ෴


කොළඹ විශ්වවිද්‍යාලය අතපය හිරි අරී..

(13.11.2023 – 06:10 +0530 – lankacnews.com)

කොළඹ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් විසින් සන්ධි සන්ධි ආබාධ සුව කිරීමේ ගුණයෙන් යුතු නව ඖෂධීය ආලේපනයක් නිපදවීමට සමත්ව ඇත.

දේශීය වෛද්‍ය විද්‍යාවේ තුළ ඇති පාරම්පරික දැනුම සහ ඒ සඳහා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය මේ සඳහා යොදා ගෙන ඇති අතර නව තාක්ෂණය හරහා ඒවා වැඩිදියුණු කිරීමට පර්යේෂණ කණ්ඩායම පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ඖෂධයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට හැකි වී ඇති බව ඖෂධය නිපදවූ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසයි.

මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් පිළිකා සෛල නසා දැමීමේ හැකියාවක් ඇති නව පෝෂිත ඖෂධයක්, අකලට හිස කෙස් ගැලවී යාම සහ හිස කෙස් වර්ධනය වීම සඳහා වන ඖෂධීය තෙල් වර්ගයක් ද ඇතුළුව තවත් ඖෂධ කීපයක් ද නිපදවා තිබිණ.

+

https://fadnals.lk/


+

2024 අයවැය විශේෂ විකාශය | Budget 2024 (13-11-2023)

+

අයවැය කථාව – 2024 (13-11-2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *