ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ

ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ


ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ

(09.11.2023 – 21:35 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විට දැඩිව ක්‍රියාත්මක වන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා.

ඇතැම් ඖෂධ අලෙවි සැල් එම ජාවාරමේ නිරතවන බවටයි චෝදනා එල්ල වන්නේ. මේ අතර වෛද්‍ය වාර්තාවක් නොමැතිව වේදනා නාශක ඖෂධ අලෙවි කළ ගලෙන්බිදුණුවැව නගරයේ ඖෂධ අලෙවි සැලක හිමිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

දරුණු රෝගාබාධවලට ලක්ව සිටින පුද්ගලයින්ට නිකුත් කරන වේදනානාශක පෙති, අධික මිල ගණන් යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්කරමින් ‘මත්පෙති’ ලෙස අළෙවි කරන ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණ වෙමින් පවතිනවා.

වෛද්‍යවරුන්ගේ නියමයකින් තොරව එවැනි ඖෂධ අළෙවි කිරීම තහනම් වුවත්, ඇතැම් ඖෂධ අළෙවි සැල් පාසල් ළමුන් ඉලක්කරගනිමින් අධික මිල ගණන් යටතේ එවැනි ඖෂධ අලෙවිකරන බවට පාර්ශ්ව කිහිපයක්ම චෝදනා කරනවා.

‘ලංකා ගුරු සංගමය’ පැවසුවේ මෙම තත්ත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් තුළ දැඩිව ව්‍යාප්තවෙමින් පවතින බවයි.

වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව වේදනානාශක පෙති පාසල් ළමුන් ඉලක්කකර අලෙවි කරන බවට චෝදනා එල්ලවු ගලෙන්බිදුණුවැව නගරයේ ඖෂධ අළෙවි සැලක හිමිකරුවෙකු ද පසුගියදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ උපාය දූතයින් යොදවා කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට පත් එම ඖෂධ අලෙවි සැල් හිමිකරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර, ඖෂධ අලෙවි සැලද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, එම ඖෂධ අලෙවි සැල් හිමිකරු අත්අඩංගුවට ගත් පුවත වාර්තා කිරීමට ගිය ‘හිරු ප්‍රාදේශීය වාර්තාකරු’ට අනුරාධපුර දිස්ත්‍රික් බුද්ධි අංශ නිලධාරියෙකු බව පැවසෙන ‘එස් අයි බණ්ඩාරනායක’ නැමැති පුද්ගලයෙක් දුරකථන ඇමතුමක් ලබා දී ඉල්ලා සිටියේ එම පුවත වාර්තා නොකර සිටින ලෙසටයි.

එම ඖෂධ සැල් හිමිකරු මීට පෙරද වෛද්‍ය අවසරයකින් තොරව වේදනානාශක පෙති අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන දඩයක්ද නියම කරණු ලැබූ අයෙක්.

අධිකරණ නියෝගයට අනුව ඔහු පුවත්පත් දැන්වීමක්ද පළ කරමින් යළිත් එවැනි වරදක් සිදු නොකරන බව ප්‍රසිද්ධ කර තිබුණා.

ඔහු යළිත් අත්අඩංගුවට පත් වුයේ එවැනි පසුබිමකයි.

අප කළ විමසීමකදි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ අදාළ ඖෂධ අලෙවි සැලට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

එහිදි සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර එම ඖෂධ අලෙවි සැලේ බලපත්‍ර අවලංගු කිරීමට අපේක්ෂා කරන බවද එම කාර්යාලය සඳහන් කළා.

+++++++++

පාසල් වල මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා – හැබැයි ආරක්ශක අමාත්‍යංශයෙන් මේකට මැදිහත් වෙන්න එපා (09.11.2023)

+


බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් දැලේ

(09.11.2023 – 21:40 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව – මොරාන ප්‍රදේශයේ දී රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (09) ඔහු අදාළ මුදල සිය කාර්යාලය තුළදී ලබාගන්නා අවස්ථාවේදීයි.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මීට අදාළ පැමිණිල්ලක් සිදු කර තිබුණා.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යන හේනක් අනවසර හෙන් වගාවක් බව පවසමින් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දඩ මුදල අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දීමටයි ඔහු මෙම මුදල අල්ලස් ලෙස ලබා ගෙන තිබුණේ ෴


ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව කඩිනමින් ගෙන ආ යුතුයි – ජනපති

(09.11.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ‘අතුරු කමිටු’ පත් කර පැලැස්තර විසඳුම් වෙනුවට ‘චිත්‍රසිරි කමිටු වාර්තාවෙන්’ යෝජනා කර ඇති පරිදි ‘ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව’ කඩිනමින් ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අතරතුර මන්ත්‍රීවරුයෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

++++++++

ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක්

(10.11.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඔහු සඳහන් කර සිටියේ ඊයේ (09) දිනයේ ප්‍රසිද්ධ හෝටලයකට එකතු වුණු ගජමිතුරු කල්ලියක් විසින් ඉන්දියාවේ හා සම්බන්ධ වෙමින් පැය 48 ක් හෝ පැය 72 ක් ඇතුළත අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරන බව සඳහන් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව ඒකමතිකව ගත් තීරණයෙන් පසුව මේ දූෂිත කල්ලිය මෙලෙස හැසිරෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය කුමක් ද යන්න පිළිබඳව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට ඇගිලි ගසනවා යන්න පදනම් කර ගනිමින් මෙලෙස ඔවුන් චෝදනා කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ඊයේ (09) දිනයේ දී දිනවපු ඒකමතික තීරණය පරාජයක් ද යන්න පිළිබඳව ද මෙහිදී ඔහු ප්‍රශ්න කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැක්වූයේ මෙවන් අදහසක් :

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතයේ මුදලින් කුලිය ගෙවන කාර්‍යාල කාමරයේ ඉදන් හොර දූෂිත කණ්ඩායම් එකට එකතු වෙලා ඒ ගොල්ලෝ කියලා තියෙනවා ඉන්දියාවේ ‘ෂා’ට කතා කරලා පැය 48 ක් හෝ පැය 72 ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරනවා කියලා. මෙහෙම නටන්න ආවොත් පැය 24, 48, 72 ක් ඇතුලත ‘ෂා’ට කියලා තහනම් කරනවා කියලා මේකට මොකද්ද අපි 225 ගන්න තීරණය.”

++++++++

++++++++

ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවයි

(10.11.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා මෙම කැඳවීම සිදුකර ඇති බවයි කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කර සිටින්නේ ෴


ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

(09.11.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය, කරඳගොල්ල ප්‍රදේශයෙන් මාර්ගයට බැම්මක් කඩා වැටීමෙන් අවහිර වී ඇත ෴


පෞද්ගලික අංශයටත් රුපියල් 20,000 මාසික දීමනාවක්?

(10.11.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින් සඳහා මෙවර අයවැයෙන් රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබා දිය යුතු බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා.

මෙම ඉල්ලීම ඉටු නොකරන්නේ නම් එය ඉටු කරන තුරු රජයට බලපෑම් කිරීමට සූදානම් බව‍යි ඔහු සඳහන් කර සිටියේ.

“අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට එනවා. රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ කටයුතු කරනවා.” යනුවෙනුයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටියේ ෴


පුරුෂයන් 35% ක් මධ්‍යසාර භාවිතා කර‍න බවට හෙළි වෙයි

(10.11.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පුරුෂ ජනගහනයෙන් 35% ක් මධ්‍යසාර භාවිතා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය චෝදනා කරන්නේ මධ්‍යසාර සමාගම් දුප්පත් මිනිසුන්ගෙන් මුදල් සූරාකමින් ඔවුන් තවදුරටත් දුප්පත් කරන බවයි.

මධ්‍යසාරවලින් වැඩියෙන් භාවිතා වන්නේ අරක්කු වන අතර, බියර් භාවිතය දෙවැනි තැන ගන්නා බවයි සඳහන් වන්නේ.

ඒක පුද්ගලික මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3 ක් බව‍‍ වාර්තා වෙනවා.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ රටේ අදායම වැඩි කර ගන්න මද්‍යසාර බදු වැඩි කළ යුතු බවයි ෴


මුහුණු පොතින් හමු වූ ‘ප්‍රේමය’ විනාසයකින් කෙළවර වෙලා

(10.11.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොතින් හඳුනා ගත් තරුණියක් රවටා හෝටල් කාමරයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දුෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසුව තරුණිය හමුවීමට අවශ්‍ය බවට ඇමතුමක් ලබා දී ඇති බවයි වැලිගම පොලිසිය පවසන්නේ.

මෙහිදී ඇයව බිය ගන්වා ඇති පොලිස් නිලධාරියා ඇයව හෝටලයකට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා ෴


කේරළ ගංජා සමඟ සිසුවෙක් අත්අඩංගුවට

(10.11.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ සිට යාපනයට යතුරු පැදියකින් ගමන් කළ පාසල් ශිෂ්‍යයෙකු ළග තිබි කේරළ ගංජා ග්‍රෑම් 400 ක් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයෙකු යාපනයට කේරළ ගංජා රැගෙන එන බවට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුව අලිමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ශිෂ්‍යයා සමඟ තවත් අයෙකු යතුරු පැදියේ නැගී ගොස් ඇති අතර ඔහු අතරමගදී ඉන් බැස ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබි තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ පලෙයි පොලිසිය සැකකරුව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි ෴


හිර වූ තැපැල් භාණ්ඩ බෙදීම ඇරඹේ

(10.11.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

තැපැල් සේවකයින්ගේ වර්ජනයෙන් බෙදා හැරීමට නොහැකිවු සියලුම තැපැල් භාණ්ඩ බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඒ අනුව, හෙට (11) උදෑසන වනවිට තැපෑල යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව පසුගිය 07 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක වුණා.

ඔවුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් සේවාව දින දෙකක් (2) සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණා.

වෘත්තීය සමිති පවසන්නේ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළ ද රජය මගින් ලබා දෙන තීරණ මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය ගන්නා බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *