රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග

රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග


රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග

(07.11.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ඇතුලු රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යටවී තිබීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් පරිපාලනය සදහා පත්කළ අන්තර් පාලන මණ්ඩලය සම්බන්ධයෙන් අභියචානාධිකරණය ලබාදුන් තීරණයෙන් අනතුරුව අද (07) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා අන්තර් පාලන මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගොනුකළ රිට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි.

මීට අමතරව අන්තර් පාලන මණ්ඩලයේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු වගඋත්තරකරුවන් ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝග 2 ක් ද අභියාචනාධිකරණය නිකුත් කළා. මෙම අතුරු තහනම් නියෝග තුනම (3) දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන අතර මෙම පෙත්සම යළි ලබන 16 වනදා කැදවීමට නියමිතයි.

එදිනට මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රිකට් අන්තර්පාලක මණ්ඩලයේ සමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නොතිසීද නිකුත් කරනු ලැබුවා.

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පිළිබද විගණන වාර්තාවෙන් අනාවරණ වූ කරුණු සහ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින්ට එරෙහිව දැවැන්ත ජනමතයක් ගොඩනැගුණා.

කෙසේ වෙතත් එම විරෝධතා කණකට නොගෙන තනතුරුවල තවදුරටත් අරක්ගෙන සිටි ක්‍රිකට් විධායක කමිටුව අත්හිටුවා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (06) පියවර ගත්තා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් පරිපාලනය ක්‍රියාත්මක කිරීම භාරව ඇත්තේ එම අන්තර් පාලන මණ්ඩලයටයි.

මෙම මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් ඊයේ (06) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී කරුණු විමසා තිබුණා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ සිය අමාත්‍ය ධුරය අහිමිවුවද තමන් ගත් තීරණය වෙනස් නොකරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවක්ද ඊයේ (06) පත්කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි අන්තර් පාලන මණ්ඩලය පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ. එම පෙත්සම අද (07) සළකා බැලුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කලුආරච්චි යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පැවසූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පර බවයි.

රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව අදාළ ආයතනය අත්හිටුවීමට කළයුතු බව සහ අක්‍රමිකතා හා දූෂණ විමර්ශන කිරීමේ අරමුණින් අදාළ අත්හිටුවීම සිදුකළ බව ඒවායේ දැක්වෙන බවයි ඔහු කියා සිටියේ.

මෙවැනි අත්හිටුවීමක් සිදුකිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නොතිසි නිකුත් කර ක්‍රිකට් ආයතනයේ කරුණු විමසීමක් සිදුකළ යුතු අතර එය ස්වභාවික යුක්ති ධර්මය වන බවද ඔහු සදහන් කළා.

එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය දැන නොසිටි බවයි නීතිඥවරයා ප්‍රකාශ කළේ.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අත්හිටුවමින් එහි පරිපාලනද සදහා අන්තර් පාලන මණ්ඩලයක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමත් සමග අන්තර්පාලන මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නික්ම ගිය අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු විධායක කමිටු සාමාජිකයින් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියා.

කෙසේ වෙතත් මෙම තීරණය පිටුපස දේශපාලන මැදිහත්වීමක් පවතින බවයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අද (07) ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ ප්‍රකාශ කළේ.

+


ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය (09.11.2023)

+++++++++

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් හෙට (09) පාර්ලිමේන්තුවට

(08.11.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව හිරු ප්‍රවෘත්ති අංශයට තහවුරු කළා.

ක්‍රිකට් ආයතනය පිළිබද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟත්වයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 01:30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹුනේ.

+++++++++

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිවුවේ වාර්තාව, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (08) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු විසඳීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත භාර දී තිබෙනවා ෴

+++++++++

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මන්ත්‍රී හේෂා කළ – උද්වේගකාරී සම්පුර්ණ කතාව (08.11.2023)

+


තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

(08.11.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මීට පෙර සඳහන් කළේ ඒ සඳහා තමන් අද (08) පෙරවරුවේ අත්සන් තැබූ බවයි.

+


යතුරුපැදි ජාවාරමක නිරත වූ තිදෙනෙකු (3) කොටුවෙයි

(08.11.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි සොරකම් කර කැබලි කොට විකුණු ජාවාරමක නිරත වූ ‘සුද්දා’ නැමති අන්වර්ථනා නාමයෙන් හැඳුන්වන පුද්ගලයෙකු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) කටුනායක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සතුව තියුණු පිහියක් හා අත් බෝම්බයක් තිබූ බවයි.

සැකකරුවන්ගෙන් පොලිසිය සිදු කළ විමර්ශනවල දී කටුනායක, පෑලියගොඩ, මරදාන, රාජගිරිය, බත්තරමුල්ල, මාලඹේ , කළල්ගොඩ, කොට්ටාව යන ප්‍රදේශවලින් යතුරුපැදි හා ත්‍රීරෝද රථ සොරා ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල හා කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ෴


නොගෙවූ විදුලිබිල මරණයෙන් කෙළවර වෙයි

(08.11.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පුලිදිවාසල ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව සහ ඇගේ සැමියා කුලී වැඩ කරමින් ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

පැවති ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් අදාළ කාන්තාව පදිංචි නිවසේ රුපියල් 3,000 ක විදුලි බිල ගෙවා දැමීමට නොහැකි වීම නිසා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් එය විසන්ධි කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ඇගේ මවගේ නිවසෙන් විදුලි වයරයක් තම ඉඩමේ ඇති ‘විදුලි මෝටරය’ට (විදුලි ජල පොම්පයට) සවිකර ඉන් ජලය පුරවා ගෙන ඇති අතර එලෙස ජලය පිරවීමට යෑමේදී අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇති බවයි.

මෙලෙස විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාව කඩිනමින් පුත්තලම මුලික රෝහටල ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 38 ක පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

කෙසේ වෙතත් ඇගේ දේහය ඇය පදිංචි නිවසට රැගෙන ඒමට පෙර ප්‍රදේශවාසීන් විසින් අදාළ හිඟ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබූ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයින් ඇගේ නිවසට විදුලිය ලබා දීමටද කටයුතු කර තිබෙනවා.

+


පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට

(08.11.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රදේශයේදී අද (08) අළුයම වයස අවුරුදු 22 ක තරුණියක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තරුණියක් වන අතර ප්‍රේම සබඳතාවයක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇගේ පෙම්වතා බව පවසන තරුණයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙම ඝාතනය සිදුකර එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පසුව ඔහු රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද (08) අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බවයි කළුතර දකුණ පොලිසිය පවසන්නේ ෴

නිවසක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ කිරිඳිවැල ප්‍රදේශයේ නිවසක් තුළදීයි. මෙම කාන්තාවගේ ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 35 ක් වන කාන්තාවක් වන අතර ඇගේ සැමියා විදෙස් ගතව ඇති බවයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *