ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න


ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න

(06.11.2023 – 19:16 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවට වාර්තා වන අතර නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවලින් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව මේ පිළිබඳ විමසීමට ජනාධිපතිවරයා අද (06) පෙරවරු කාලයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ දැරුවත් එය සාර්ථක නොවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙවන් පසුබිමක කැබිනට් රැස්වීම අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටය.

ඒ සඳහා අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්ය.

පස්වරු 06:30 ට පමණ අවසන් වූ කැබිනට් රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර එහිදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය ෴


අද (06) උදෑසන අනුරාධපුර නගරයේ සුපිරි වෙළඳසැලක් ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී වාහන දෙකකට (2) අලාභහානි සිදුවුන හැටි

(06.11.2023 – Youtube : News Center)

අනුරාධපුරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අද (06) උදෑසන අනුරාධපුර නගරයේ සුපිරි වෙළඳසැලක් ආසන්නයේ පිහිටි ගසක් කඩා වැටී වාහන දෙකකට (2) අලාභහානි සිදුවිය. (සී.සී.ටී.වී කැමරාවේ සියල්ල සටහන්ව තිබේ)

අනුරාධපුර නවනගරයේ මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි මෙම සුපිරි වෙළඳසැල ආසන්නයේ විශාල කොහොඹ ගසක් මෙසේ එම වෙළඳසැල දෙසට කඩා වැටී ඇති අතර ඉන් ජීවිත හානියක් හෝ එම වෙළඳ සැලට හානියක් සිදුව නොමැත. මෝටර් රථයකට සහ කැබ් රථයක මෙම අනතුරින් අලාභහානි සිදුව ඇත.

මේ පිළිබඳව දැන්වීමෙන් අනතුරුව අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් එම ගස කපා ඉවත් කර දැමීමට කටයුතු කෙරිණි.

+


ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ ‘ජනප්‍රිය නළුවා’

(06.11.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් දීර්ඝ කාලයක සිට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කල්ලියක් පිටකොටුවේදී කොටු කරගැනීමට ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ සමත් වුණා.

මෙම කල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළුවෙක්.

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 20 දක්වා මුදල් ලබා ගනිමින් අදාළ පිරිස මෙම වංචාව සිදු කර තිබෙනවා.

සිද්ධියේ මහමොළකරු ලෙස හඳුන්වන පුද්ගලයා චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස පෙනීසිටිමින් මෙම වංචාව සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඔහු ඇතුළු පිරිස තවත් මුදල් වංචාවකට සැරසුණු අවස්ථාවේ පිටකොටුව මල්වත්ත පාර ප්‍රදේශයේදී ඔවුන්ව කොටු කර අත්අඩංගුවට ගැනීමට ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ’ නිලධාරීන් සමත් වුණා.

ඒ, මෙම රැකියා ජාවාරමට හසුවූ පිරිසකට විදේශීය ගමන් බලපත්‍ර ලබා දීමට ඔවුන් පැමිණි අවස්ථාවේදීයී.

සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය ගමන් බලපත්‍ර, ඉතාලි රජයෙන් නිකුත් කළ බවට හැඟවෙන ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ ව්‍යාජ ලියකියවිලි ඇතුළත් ජංගම දුරකථන කිහිපයක් ද විමර්ශන නිලධාරින් සිය භාරයට ගත්තා.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් සැකකරුවෙකු (1) ව්‍යාජ ලියකියවිලි සමඟ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම රැකියා ජාවාරම සිදු කර ඇති මෙම කල්ලිය වංචා කළ මුදල් වැය කර ඇත්තේ කැසිනෝ සහ සුපිරි හෝටල් සඳහා බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණා.

සහාය නළුවකු ලෙස හඳුන්වන පුද්ගලයා ව්‍යාජ ලෙස උපයා ගන්නා ලද මුදල් වැය කර විදේශ සංචාරවල නිරත වී ඇති අතර අත්අඩංගුවට පත් වීමට පෙර දින රාත්‍රියේත් ඔහු ලංකාවට පැමිණ තිබුණේ ඩුබායි සිටයි.

සැකකරු ගුවන් විදුලි නාලිකා හා රූපවාහිනී නාලිකාවල සේවය කර ඇති අතර තිරගත වීමට නියමිත චිත්‍රපටවල සහ දැනට විකාශනය වන ටෙලි නාට්‍යවල සහ වෙළඳ දැන්වීම්වල පෙනී සිටින ජනප්‍රිය චරිතයක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

+


අම්පාරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(07.11.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඊයේ (06) රාත්‍රියේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 42 ක් වයසැති වැරන්කැටගාඩ, මායාදුන්න ප්‍රදේශයේ පංදිකරුවෙක්.

මරණකරු නිවස පිටුපස ස්නානය කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴


රටටම රෝග බෝ කරන වාහකයෙකු වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

(07.11.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යනු දිවයිනේ ප්‍රදේශ රැසක් අතර එළවළු සහ පළතුරු වෙළෙඳාම සිදුවන ප්‍රධානතම මධ්‍යස්ථානයක්.

නමුත් මේ වනවිට එය රටටම රෝග බෝකනර වාහකයෙකු බවට පත්ව ඇති බවටයි ජනතාව චෝදනා කරනවා.

වර්තමානය වනවිට දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් 70% ක් පමණ සපුරාලනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහායි.

කෙසේ වුවත්, මෙහි පවතින අවිධිමත් සහ අපිරිසිදු තත්ත්වය මේ වනවිට බරපතල අර්බුදයක් බවට පත්ව ඇති බවටයි වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික ජනතාවද චෝදනා කරන්නේ.

වෙළෙඳසල් 150 කට අධික ප්‍රමාණයක් ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් විශාල පිරිසක් ද වෙළෙඳාමේ නිරත වන අතර ඔවුන් භාවිත කරන ආපනශාලාද දැඩි අපිරිසිදු ස්වභාවයක් ගෙන තිබෙනවා.

ආර්ථිකයට පිවිසෙන සෑම ස්ථානයකම විශාල වළවල් සෑදී ඇත්තේ ගමනාගමනයට බාධා එල්ල කරමින්.

මෙහි සියලුම සේවාවන් සියල්ල මුදලට සිදුකෙරෙන පසුබිමක එහි නඩත්තු කටයුතු පිළිබඳ කිසිදු ආකාරයකින් සෑහීමකට පත්වය නොහැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මලාපවහන කාණු පද්ධතිය ඇතුළු ආර්ථික මධ්‍යසථානයේ බොහෝ ස්ථාන අපවිත්‍රව පවතින අතර ගබඩා කිරීමට ගෙනැවිත් ඇති එළවළු හා පළතුරු තොග ඒවා මත තබා ඇති ආකාරයද දක්නට ලැබෙනවා.

වෙළෙඳුන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාවද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තත්ත්වය පිළිබඳව කඩිනමින් සොයා බලා ඊට විසඳුම් ලබා දෙන ලෙසටයි.

+


මුදල් අයකර උපකාර පංති පැවැත්වු ගුරුවරුන් 12 කට විනය ක්‍රියාමාර්ග

(07.11.2023 – 12:25 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගෙන් මුදල් අයකර පාසලේ පංති කාමරයේ උපකාර පංති පැවැත්වු මධ්‍යම පළාතේ ගුරුවරුන් 12 දෙනකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවිම් ලබා දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ පවසා තිබෙනවා.

ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේ පල්ලේපොළ දි පැවති උත්සවකයට එක්වෙමින් ෴


සා/පෙළ ප්‍රතිඵල මේ මස මැද දී

(07.11.2023 – 12:45 +0530 – hirunews.lk/sinhala)

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගය වනවිට දී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවෝම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මේ වසරේ සා.පෙළ විභාගය පැවැත්වුයේ 2023 මැයි මස 22 දින සිට ජුනි මස 01 වැනි දින දක්වා.

මෙවර අපේක්ෂකයන් 517,496 ක් විභාගයට මුහුණ දී ඇති අතර, ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් සහ 110,367 ක් පෞද්ගලික අයදුම්කරුවන් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 ක් මෙවර සා.පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා ෴


සංවිධානාත්මක කල්ලි නායකයෙකුගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

(07.11.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහී සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හීනටිය මහේෂ්’ගේ ප්‍රධාන ගෝලයෙකු ටී 56 ගිනි අවියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු ‘සුන්නා’ නමින් හදුන්වන අතර ඔහු ටී 56 උණ්ඩ 87ක්, මැගසින් 3 ක්, පිස්තොලයක් සහ ෂොට්ගන් ගිනි අවියට යොදන ජීව උණ්ඩ 15 ක් ද, හමු වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී හමු වූ ටී 56 ගිනි අවිය මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පි‍යෙකුට සහ පුතුන් දෙදෙනාට (2) වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගෙන ඇති බව කරුණු අනාවරණය වී තිබෙනවා.


මෘත ශරීරයටත් සල්ලි ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(07.11.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කර ගැනීමට මියගිය පුද්ගලයාගේ සහෝදරයාගෙන් රුපියල් 1,30,000 ක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, පුංචි බොරැල්ල ප්‍රදේශයේදී.

මරදාන පොලිසිය පවසන්නේ එම පුද්ගලයා මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු අවුරුදු 45 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය මස 28 වනදා මරදාන පොලිස් වසමේ බී.සී.සී. පාලම අසල වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේදී මොහුගේ සහෝදරයා විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව මෘත ශරීරය රෝහලින් කඩිනමින් නිදහස් කර ගැනීමට ඔහුගෙන් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරදාන පොලිසියට තොරතුර ලැබී තිබුණා.

අධිකරණ නිලධාරීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ පොලිස් නිලධාරීන්ට මුදලක් ලබා දුන්නොත් මෘත ශරීරය ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකි බව මුදල් ලබාගත් පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි ඔහු රුපියල් 1,30,000 ක මුදලක් මොහුගෙන් ලබා ගෙන ඇත්තේ.

මේ අතර, ‘නව ආරම්භයකට හොඳම තැන මුල් ළමාවිය’ යන තේමාව පෙරදැරි කරගෙන පෙර පාසල් ගුරු වෘත්තීකයින්ගේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය සහ සහතික ප්‍රධානෝත්සවය පසුගියදා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *