අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට


අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(04.11.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 රුපියල් 95 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3,565 වෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මුදල රුපියල් 1,431 ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 668 ලෙසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

(04.11.2023 – 12:56 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන එල්ල විය.

එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලකයන් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (03) ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, අද (04) උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය.

අනතුරු ව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වශයෙන් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ලබා දීමට තීරණය කර තිබේ.

මේ අතර, මේ වනවිටත් ICC චැම්පියන්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 06 ක් සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් දෙකක් (2) චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගත යුතු ව තිබේ.

ශ්‍රී ලංකාව මෙතෙක් චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමට නම්, අනිවාර්යෙන් බංග්ලාදේශය සහ නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙක ජයගත යුතුය.

++++++++

+

+


ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ICC සාමාජික රටවල් වෙත විශේෂ ලිපියක්

(04.11.2023 – 17:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ICC හි පූර්ණ සාමාජිකයෙකු බවට පත් වූයේ 1975 දී එය පිහිටුවා වසර හයකට (6) පසුව වන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන් වතාවක් (3) ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිස ඇති බවත් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් 1996 දී ජයග්‍රහණය කර 2007 සහ 2011 ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරයන් ලෙස ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකාව 2003 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සහ 2015 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට ද පැමිණ ඇති බව අමාත්‍යවරයා ලිපියෙහි සඳහන් කරනවා.

අමාත්‍යවරයා මෙම ලිපියෙන් පෙන්වා දෙන අන්දමට 2015 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ක්‍රමයෙන් පිරිහීමට ලක්ව ඇති බවත්, ක්‍රීඩකයන්ගේ විනය ගැටලු, කළමනාකරණ දූෂණ, මූල්‍ය විෂමාචාර සහ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල වී ඇති බවත්, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන විෂමාචාරය සම්බන්ධයෙන් වර්ථමාන අමාත්‍යවරයා මෙන්ම පෙර සිටි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

එහිදී මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව කරන ලද ප්‍රකාශ සනාථ කරන වාර්තා කිහිපයක්ම ලැබී ඇති බවත්, දේශපාලන අර්බුද හා ව්‍යසන නිසා එම වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන හෙළිදරව් කිරීම් සහ විගණන වාර්තා මගින් මුල්‍ය අපරාධවල යෙදෙන්නන් නීති පද්ධතිය හමුවට ගෙන ඒමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ යහපාලනය සහ විනිවිදභාවය ඇති කිරීමට විෂයභාර ඇමැතිවරයා ලෙස කඩිනම් මැදිහත්වීමක් සිදු කරන බවද එම ලිපියෙන් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා දැන් අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර අසාදු ලේඛනගත කර ඇති ඔට්ටු ඇල්ලීමේ සමාගම් සහ නීති විරෝධී ක්‍රිප්ටෝ මුදල් වංචාවන් විසින් වන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැරදි කළමනාකරණය නිසා රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාසයකට පමණ පෙර පැවැති ක්‍රිකට් ලීග් තරගාවලියකදී ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායම සියලු අංශවලින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ විශාල පසුබෑමකට ලක්වෙමින් බවයි පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමසා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් පළ කළ දා සිට අමාත්‍යවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනා කරමින් සිටින බව පවසන අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වයට අමාත්‍යවරයා හෝ කිසිදු රාජ්‍ය බලධාරියකු කිසිදු අංශයකින් බාධා කර නොමැති බවට එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශයන් මත පමණක් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව පවසන අමාත්‍යවරයා මෙම ලිපියේ පිටපත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජිකත්වය දරන ඇෆ්ගනිස්ථානය , ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ යන රටවල් 11 සඳහා යොමුකර තිබෙනවා ෴


ආහාර වර්ග කිහිපයක මිල ඉහළට

(04.11.2023 – 18:31 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීම සඳහා සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තේ එකක මිල රුපියල් 05 කින් වැඩි වන අතර කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මේ බව සඳහන් කර ඇත්තේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දැනට පවතින සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20 කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට තීරණය කරන බවද පවසා තිබෙනවා.

+


මුහුදේ ගිලී තරුණයෙක් මරුට; තවත් තරුණයෙක් අතුරුදන්

(04.11.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – හබරාදුව දළවැල්ලේ හෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු (3) රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය පවසනවා.

දෙදෙනෙකු මුහුදට බැස සිටියදී රළ පහර සමඟ ඔවුන් දෙදෙනා (2) ගසාගෙන යන බව දුටු අනෙක් තරුණයා (1) ඔවුන් බේරා ගැනීමට මුහුදට පැන ඇති අතර, ඔහුද දියේ ගිලී තිබෙනවා.

ප්‍රදේශවාසීන් එකතු වී තරුණයින් දෙදෙනෙකු (2) ගොඩට ගෙන ඇති අතර, එහිදි එක් (1) තරුණයකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටීම හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.

ඔහු අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අනියුක්තව සේවය කරන බහුකාර්‍ය සේවකයකු බවයි පොලිසිය පැවසුවේ.

සිදුවීමෙන් තවත් එක් (1) තරුණ‍යෙකු දියේ ගිලීමෙන් මේ වන විටත් අතුරුදන්ව ඇති බවත්, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිසිය පැවසුවා ෴


රත්‍රන් තොගයක් සමග 05 ක් නාවික හමුදා භාරයට

(04.11.2023 – 22:07 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රන් කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මන්නාරම් මුහුදේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් 05 දෙනෙකු එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත ෴


ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන යළිත් ඇරඹෙයි

(04.11.2023 – 21:42 +0530 – sinhala.adaderana.lk)

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච (5) පුද්ගල වෛද්‍ය කමිටුව සිය වාර්තාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතය.

එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන ‘මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස’ මගින් මේ වනවිට නැවත ආරම්භ කර තිබේ.

ඒ අනුව නැවත වතාවක් පාර්ශ්ව රැසකින් මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර ෂාෆටර් මහතාගේ දේහය පිළිබඳ නැවත අවසන් කටයුතු අද (04) පස්වරුවේ ජාවත්ත පොදු සුසාන භූමියේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදුකෙරුණි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච (5) පුද්ගල වෛද්‍ය කමිටුව පසුගියදා සිය වාර්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදුනි.

ඒ අනුව අධිකරණය ප්‍රකාශ කළේ ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් හේතුවෙන් සිදුවී ඇති බවය.

පසුව අධිකරණය විමර්ශන නිලධාරීන් වෙත නියෝග කළේ එම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

+


නිදහස වෙනුවෙන් ‘හරක්කටා’ රුපියල් මිලියන 700 ක අල්ලසක් ඇමතිට දෙන්න හදයි

(04.11.2023 – 20:28 +0530 – sinhala.adaderana.lk)

‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක්කටා’ තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 700 ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ගාල්ල උණවටුනේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමිනි.

දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිවේදිත නිලධාරීන් (ගැසටඩ් ඔෆිසර්) සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ඊයේ මෙම හමුව පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා :

“හරක් කටාව ලංකාවට ගේද්දී රුපියල් මිලියන 700 ක් ඔෆර් කළා; මෙහෙට ගෙන්නේ නැතව ඩුබායිවලට යවන්න කියලා. ඒ මිනිස්සු ඕන තරම් සල්ලි වියදම් කරන්න ලැස්තියි. හැබැයි අපි කවදාවත් ඒවට යටවෙන්නෙ නෑ. යටවෙන්න එපා. ඒ අය ලෑස්තියි මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට දීලා මාව ඇමතිකමින් අයින්කරගන්න. දකුණු පළාත ගත්තොත් අපි කිහිප වතාවක් සාකච්ඡාවල් පවත්වලා කළයුතු දේ තේරුම් කරලා දුන්නා. හරියට රස්සාව කරන්න. බැරි අය ඉන්නවා නම් දැන්ම අයින්වෙන්න.”

මේ අතර ඇතැම් පොලිස් නිලධාරීන් අපරාධ කල්ලි සාමාජිකයින් සමග එක්වී කටයුතු කිරීම අපරාධ ඉහළ යාමට හේතුවක්වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

සුළුතර නිලධාරීන් පිරිසක් එම අපරාධ කල්ලි සාමාජිකයින් සමග එක්වී කටයුතු කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට විශාල චෝදනාවක් එල්ලවී ඇති බවද ඔහු සඳහන් කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *