අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!

අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!


අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!

(04.11.2023 – divaina.lk)

  • මේ මරණය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්
  • හොරෙන් දේපළත් ලියාගෙන
  • නිවිති සුප් – තැඹිලි වතුර මහ රෑත් පොවලා
  • ස්වභාවික මරණයක් වන තැනට කටයුතු කරලා
  • සෙලින්කෝ තැම්පත්කරුවන්ගේ සංගමයේ සභාපති උසාවියේදී සාක්‍ෂි දෙයි
  • පරිවර්තකයකු නැති නිසා සෙරින් වික්‍රමසිංහගේ සාක්‍ෂි ගැනීම නවතියි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නේ යැයි සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මහතා ඊයේ (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ලලිත් කොතලාවල මහතා ඔහුගේ බිරිඳ සමග කොළඹ සහ එළිබෑන්ඩ් පාරේ පිහිටි ඔහුගේ නිවසේ පදිංචිව සිටියදී ඔහු බලහත්කාරයෙන් එම නිවසින් පිටකරවා ගෙන කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ඇති එකී පිරිස වාතාශ්‍රය පවා හැරිහැටි නොලැබෙන ජනෙල් කවුළුවක් හෝ නොමැති අඩි 10×12 කාමරයක රඳවා තබාගෙන සිට ඇති බවත් ඔහුගේ වයෝවෘද්ධභාවය හෝ නොතකා නිවිති මිශ්‍ර සුප් වර්ග හා තැඹිලි වතුර පවා මහ රාත්‍රියේ විටෙන් විට පානය කිරීමට සලස්වා ඇති බවත් හෙතෙම අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

ලලිත් කොතලාවල මහතාට අයත් හෝ ඔහු තනතුරු දැරූ සමාගම්වල කිසිදු දේපළක් කුමන හේතුවක් මත හෝ අන්සතු කිරීම, පවරා දීම හෝ එකී මුදල් යොදවා වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීම වළක්වන ඇප කොන්දේසියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබියදීත් එකී පිරිස එම ඇප කොන්දේසිය කඩකරමින් රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ඔවුන් වෙත හා ඔවුන්ට සම්බන්ධ සමාගම් නමින් පවරාගෙන ඇතැයි ද එම සාක්‍ෂිකරු අධිකරණය හමුවේ පැවසීය. එකී නීති විරෝධී ක්‍රියාදාමයට සිසිලියා කොතලාවල මහත්මිය හා ලලිත් කොතලාවල මහතාට ලැදියාවක් දැක්වූ ඔහුගේ සුපවේදියා, ගණකාධිකාරිවරිය, පිරිසිදු කරන්නිය, රියැදුරු ඇතුළු කිහිප දෙනකු සේවයෙන් ඉවත් කොට ඇති බවත් අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසූ එම සාක්‍ෂිකරු ඔවුන්ගේ භාරයේ රඳවාගෙන සිටි ලලිත් කොතලාවල මහතා සමග කිසිවකුට දුරකථනයෙන් හෝ ඇමතීමට ද ඉඩදී නැතැයි ද පැවසීය. ඔහු එලෙස බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට පියවර ගත් නීතිඥවරයා ඔහුගේ සහෝදරියව ලලිත් කොතලාවල අසල රඳවා ඇත්තේ සිය සහෝදරියක බව කරුණු සඟවා අසරණ කාන්තාවක ලෙස පෙන්වා දෙමින් වන්නේ යැයි ද සිය සාක්‍ෂිය මගින් අධිකරණයට පැවසූ එම සාක්‍ෂිකරු ලලිත් කොතලාවල මහතාගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සහ ඊට යාබදව පිහිටි ඔහුට අයත් දේපළෙහි පිහිටි ගොඩනැගිලිවල ලලිත් කොතලාවල මහතාගේ මුදලින්ම ව්‍යාපාර කටයුතු සිදුකර ඇතැයි ද පැවසීය.

එකී අනීතික ක්‍රියාවලට මුල් වූ නීතිඥවරයා ඔහුට අයත් නීතිඥ සමාගමේ කාර්යාලය ද එම පරිශ්‍රයේම පවත්වාගෙන ඇති බවත් එම නීතිඥවරයාගේ සහෝදරියට ලලිත් කොතලාවල මහතා මුලාකොට විශේෂ සැලකීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අධිකරණයට පැවසූ එම සාක්‍ෂිකරු මෙම සියලු අනීතික කටයුතු සිදුකර ඇත්තේ ලලිත් කොතලාවල මහතාව අනාථ නිවසකට දමන බවට තර්ජනය කර බලහත්කාරයෙන් වන්නේ යැයි ද පැවසීය. එකී තර්ජන පිළිබඳව ලලිත් කොතලාවල මහතා විසින්ම අවස්ථා කිහිපයකදීම බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් එකී අනීතික ක්‍රියාවලියට එරෙහිව ලලිත් කොතලාවල මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පවා නඩුවක් ගොනුකර තිබූ බවත් එම සාක්‍ෂිකරු අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

ලලිත් කොතලාවල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවේ ඇප කොන්දේසි 13 ක් යටතේ බවත් ඉන් ප්‍රධාන ඇප කොන්දේසියක් වූයේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට හා සෙලින්කෝ සමාගම්වලට අගතියක් වන පරිදි වෙනත් ව්‍යාපාරවල යෙදීම වැළැක්වීම මෙන්ම සෙලින්කෝ සමාගම්වලට අයත් කිසිදු දේපළක් අන්සතු කිරීම වැළැක්වීම වන්නේ යැයි ද අධිකරණය හමුවේදී පැවසූ එම සාක්‍ෂිකරු එකී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මෝසම ලබන 09 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් දින නියම කර ඇතැයි ද පැවසීය. තමන් අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පවසන මෙම කරුණු ඇතුළත් සියලු කරුණු තහවුරු කරමින් ලලිත් කොතලාවල මහතාගේ අරක්කැමියා ලෙස කටයුතු කළ පුද්ගලයා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කොට ඇති බවත් ගරු අධිකරණයට ඒවා පරිශීලනය කිරීමට අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් කඳාන, පේරලන්ද අංක 96/1 දරන ලිපිනයේ පදිංචි එම සාක්‍ෂිකරු වැඩිදුරටත් පැවසීය.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය ඊයේ (03) ආරම්භ කිරීමට නියමිතව තිබිණි. එහිදී එම සාක්‍ෂිකරු කළ ඉල්ලීම අනුව ඔහුගේ සාක්‍ෂිය ප්‍රථමයෙන් ලබා ගැනීමට අධිකරණය තීරණය කළ අතර ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ප්‍රකාශ කොට තිබූ සිසිලියා කොතලාවල මහත්මියගේ සහෝදරියක වන සෙරින් වික්‍රමසිංහ මහත්මිය ද අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටි නමුත් සිංහල ඉංග්‍රීසි භාෂා පරිවර්තකවරයකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම සාක්‍ෂි විභාගය ලබන 06 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය. එකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයන් (8764) විමලරත්න මහතා ද සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටියේය. පොලිස් සැරයන් (58420) අජිත් කාරියවසම් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ සැනල් ඉහලරත්න සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හපීල් පාරිස් මහතා ලලිත් කොතලාවල මහතාගේ බිරිඳගේ සහෝදරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ සමන් ලියනගේ, රිෂ්වි ගොඩැල්ලවත්ත, නීතිඥ දිනේෂ් ජයවීර, නීතිඥ එස්. පී. සී. රසිකා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වනවිට සේවයෙන් ඉවත් වී ඇති ලලිත් අමරසිංහ, පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ වියංජන වන්නිආරච්චි හා පොලිස්පතිවරයාගේ මස්සිනා කෙනකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නීතිඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරියක වන නිරෝෂා ප්‍රියදර්ශනි සහ තවත් කිහිපදෙනකු එකී කුමන්ත්‍රණයට සම්බන්ධ බවට ද එම සාක්‍ෂිකරු දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට පැවසීය.

එම සාක්‍ෂිකරු විසින් ලබාදුන් සාක්‍ෂිය තහවුරු කිරීමට අවශ්‍ය නම් තවත් සාක්‍ෂිකරුවන් කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සාක්‍ෂිකරුට අවසර ලබා දුන්නේය.

ඒ.ජේ.ඒ. අබේනායක


ආණ්ඩුව ආර්ථිකය හැකිළීමේ කුමන්ත්‍රණයකද? උදය ගම්මන්පිල අසයි

(03.11.2023 – divaina.lk)

2023 නොවැම්බර් 2 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මතු දැක්වේ :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අනුව ආණ්ඩුව 2023 මාර්තු 31 දිනට එකතු කළ යුතු බදු ආදායම රුපියල් බිලියන 650 ක්. ජූනි 31 දිනට රුපියල් බිලියන 1,300 ක්. මේ ඉලක්ක දෙකම සපුරා ගන්න ආණ්ඩුව අසමත් වුණු නිසා තමයි අයි.එම්.එෆ්. දෙවන වාරිකය අපට නොලැබීමට ප්‍රධාන හේතුව. දැන් ඒ ඉලක්කයට යන්න ආණ්ඩුව ෂෝට් කට් එකක් විධියට වැට් බද්ද 18% කරන්න තීරණය කර තිබෙනවා. මතක තියා ගන්න ගිය වසර මුල 8% ට තිබුණු වැට් තමයි මේ 18% වෙන්නේ. දෙගුණයකටත් වඩා වැඩි වීමක්. සෘණ ආර්ථිකයක් තිබෙන රටක වක්‍ර බදු දැවැන්ත වැඩි කිරීමක් කරන්නේ නෑ. එහෙම කළාම භාණ්ඩ පිරිවැය වැඩි වීමෙන් මිල ඉහළ යනවා. ඉල්ලුම අඩු වෙනවා. සුළු පරිමාණ කර්මාන්ත වැහිලා ගිහින් විරැකියාව තව උග්‍ර වෙනවා. මේ වන විට බටහිර ආසියාවේ යුද තත්ත්වයත් එක්ක තෙල් මිල වැඩි වීමෙන් ලෝක පරිමාණයෙන් උද්ධමනයක් ඇති වෙලා ලෝක ආර්ථිකය හැකිළෙමින් තිබෙන්නේ. ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ ඒක සමනය කරන්න මිස වක්‍ර බදු වැඩි කරලා ඒක උග්‍ර කරන එක නොවේ. මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ලංකාවට ඇති අවස්ථාව අහිමි කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

හොරුන්ට බදු සහන දෙන්නේ ඇයි?

ලෝකයේ සාතිශය බහුතරයක් රටවල වක්‍ර බදු තරමටම සෘජු බදු අය කරනවා. ලංකාවේ වක්‍ර බදුවලින් හතරෙන් එකයි සෘජු බදු තිබෙන්නේ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව තමයි බදු ගෙවිය යුතු බහුතරයක් බදු ගෙවන්නේ නෑ. බදු දැල පුළුල් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇත්තෙත් නෑ. දෙවනුව ලංකාවේ ඉහළම ලාභ ලබන බහුතරයක් සමාගම් බදු ගෙවන්නේ නෑ. ආයෝජන මණ්ඩලයෙන් දිගු කාලීන බදු විරාම ලබා ගෙන තිබෙන්නේ. එහෙම සහන ගන්න බැරි වුණු අය මුදල් අමාත්‍යාංශය අල්ලා ගෙන 2008 අංක 14 දරණ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා දැවැන්ත බදු සහන ලබා ගන්නවා. ඊට පස්සේ බදු ඉලක්ක සපුරා ගන්න බැරි වුණාම අහිංසක දුප්පත් ජනතාවගේ කර මතටම බදු බර පටවනවා. මේක ආණ්ඩුව කරන මහ දවල් මහා මංකොල්ලයක්. විශේෂයෙන්ම බදු ගෙවන්න අවශ්‍ය දැවැන්තම සමාගම් ටික ආණ්ඩුව සමග ඩීල් දාගන්නවා අමාත්‍ය මණ්ඩලය හරහා බදු සහන ලබාගන්න. අමාත්‍ය මණ්ඩලය හරහා බදු සහන ලබා ගන්න ගිහාම තමයි දූෂණයට පෙළඹෙන්නේ. මොකද ආයෝජන මණ්ඩලයෙන් බදු සහන ලබාදීමේ දී ඒ සඳහා නිර්ණායක තිබෙනවා. ඒවා සපුරන්නේ නැති සමාගම්වලට බදු සහන ලැබෙන්නේ නැහැ. නමුත් අමාත්‍ය මණ්ඩලය වෙත ගියහම තමන්ට හිතවත් අයට බදු සහන ලබා දීමට ආණ්ඩුව හොර පාරක් කපා ගෙන තිබෙනවා. නමුත් අඩුම ගණනේ මූල්‍ය අරමුදලේ අවධානයවත් මේකට යොමු වෙලා නෑ. වාහන තීරු බදු සහන ලබා දුන් අය, ටෙන්ඩර් ප්‍රදානය කරපු අය වැනි විස්තර වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කළ යුතු බවට අයිඑම්එෆ් කොන්දේසියක් තිබෙනවා. නමුත් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ලබා දුන් සහන ප්‍රසිද්ධ කළ යුතු බවට කොන්දේසියක් අයිඑම්එෆ් ගිවිසුමේ නෑ. කෙටියෙන්ම කියනවා නම් මේ සම්බන්ධනේ අයිඑම්එෆ් එකටත් කොකා පෙන්වන්න ආණ්ඩුව සමත් වෙලා තිබෙනවා. 2008 අංක 14 දරණ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ලබා දුන් බදු සහන පිළිබඳ විස්තර ඉල්ලා මම ලබන සතියේ මුදල් අමාත්‍යාංශයට ලිපියක් යවන්න බලාපොරොත්තු වෙනවා.

පුද්ගල ආදායම් බදු ඉලක්ක පැනලා

ආණ්ඩුව සෘජු බදු වැඩි කරන්න උත්සාහ කරන්නේ ව්‍යාපාරික ලාභ මත නොවේ; පුද්ගල ආදායම් බදු මතයි. විශේෂයෙන්ම වෘත්තීයවේදීන්ට සහ විධායක නිලධාරීන්ට තමන්ගේ ආදායම සඟවන්න බෑ. වැටුප් ගෙවන ආයතන විසින්ම ඒවා ප්‍රසිද්ධ කරන නිසා. ඒ නිසා බොහෝ රටවල් සමාගම් බද්දට වඩා අඩු බද්දක් පුද්ගලයන්ගෙන් අය කරන්නේ. නමුත් අපේ ආණ්ඩුව දැවැන්ත ව්‍යාපාරවලට අය කරන බදු ප්‍රතිශතයම වැටුප් ලබන්නන්ගෙනුත් අය කරනවා. පුද්ගල ආදායම් බදුවලින් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 100 යි. නමුත් සැප්තැම්බර් 30 වන විට බිලියන 123 ක් උපයලා තිබෙනවා. වසර අග දී එය බිලියන 160 ඉක්මවා යාවි. ඒ කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු ආදායමක් අපේක්ෂිත ඉලක්කය 60% කින් ඉක්මවා යනවා. හැබැයි ඒ අතරේ වෘත්තීයවේදීන් රට අත්හැර යෑමෙන් ග්‍රාමීය රෝහල් වැහෙන තත්ත්වයක් ඇති වෙලා. විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා නතර කරලා. වෛද්‍යවරයකු විශ්වවිද්‍යාල ඇදුරෙකු බිහි කරන්න දරන වියදමත් කාලයත් එක්ක බලන විට මේක ආර්ථිකයට දැරිය නොහැකි පාඩුවක්. ඒ නිසා වෘත්තීයවේදීන් මත අය කරන බදු ප්‍රතිශතය අඩු කිරීමටත් වෘත්තීයවේදීන් ජාතික මට්ටමින් හිඟ ක්ෂේත්‍රවලට බදු සහනයක් ලබා දීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

+

+

+


සැරයන්වරියකගේ මෝටර් රථයේ ගැටී අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට

(03.11.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොල පොලීසියේ සැරයන්වරියකගේ මෝටර් රථයක ගැටී තුවාල ලබා සිටි කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්වුණේ මිහින්තලය – කනදරාව ප්‍රදේශයේදීයි.

පසුගිය 08 වනදා මෙම අනතුර සිදුව තිබූ අතර බරපතල තුවාල ලැබූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

අද (03) අලු‍යම ඔහු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

(03.11.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275 ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330 ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල්350 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම මිල ගණන් අද (03) සිට ක්‍රියාත්මක වෙනවා ෴


හෙරොයින් ජාවාරමේ යෙදුණු කොස්තාපල්වරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(04.11.2023 – 07:15 +0530 – hirunews.lk/sinhala)

හක්මන – දෙනගම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 9 දෙනෙකු හක්මන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කොස්තාපල්වරයා දෙයියන්දර පොලිසියට අනුයුක්තව රාජකාරී සිදු කර ඇති බවයි.

ඊයේ (03) පස්වරුවේ හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී පොලිස් කොස්තාපල්වරයාගේ සහ අනික් සැකකරුවන් ළඟ තිබී හෙරොයින් මත්කුඩු පැකට් 34 ක් පොලිසිය සොයා ගෙන තිබෙන්නේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පිරිස කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් වෙනවා ෴


තුන්වන (3) වාරයේ පාසල් නිවාඩුව දෙසැම්බර් මස 22 වනදා සිට

(04.11.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජය අනුමත පාසල්වල තුන්වන (3) වාරයේ පාසල් නිවාඩුව ලබන දෙසැම්බර් මස 22 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම පාසල් නිවාඩුව ලබන වසරේ පෙබරවාරි මස 02 වනදා දක්වා ක්‍රිියාත්මක බවයි.

උසස් පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදිය යුතු වනවා. එම විභාගය ජනවාරි මස 04 ආරම්භ වී ජනවාරි 31 දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර, ඉදිරි අයවැයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගේ වැටුප් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *