OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා රිමාන්ඩ්

OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා රිමාන්ඩ්


OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා (05) රිමාන්ඩ්

(03.11.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් “OnmaxDT” හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා (05) නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

++++++++++

+


හමාස් ප්‍රහාරයේ ප්‍රාණ ඇපකරුවෙකුව සිටි ශ්‍රී ලාංකිකයා ජීවිතක්ෂයට

(03.11.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

හමාස් ප්‍රහාරයේ ප්‍රාණ ඇපකරුවෙකුව සිටි බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර මියගොස් ඇති බව ඊශ්‍රායල පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා.

ඔහු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට මීට පෙර සැක කළ නමුත් ප්‍රහාරයේදී ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද (03) සනාථ කල බවයි ෴


පිටකොටුව 02 වන හරස් වීථියේ රෙදිපිළි අලෙවිසැළක පසුගිය 27 වනදා ඇතිවූ ගින්නට හසුවූ තරුණියක් ජිවිතක්ෂයට

(03.11.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව 02 වන හරස් වීථියේ රෙදිපිළි අලෙවිසැළක පසුගිය 27 වනදා ඇතිවූ ගින්නෙන් තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණියක් මිය ගොස් තිබෙනවා.

අදාළ තරුණිය වයස අවුරුදු 25ක අයෙක් බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් පසුගිය දින රෝහල් ගත කළ පිරිස 23 දක්වා ඉහළ ගිය අතර පුදගලයන් 06ක් බරපතල තුවාල ලබා තිබුණා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 8 ක් පමණ යොදා ගැනීමට සිදුවූ බවයි වාර්තා වුයේ ෴


සිඳී ගිය උඩවලව වසර එකහමාරකට (1½) පසු වාන් දමයි

(03.11.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

නියඟයෙන් සිඳී ගිය උඩවලව ජලාශය වසර එකහමාරකට (1½) පසු වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ ජලාශයේ වාන්දොරටු පහෙන් (5) තුනක් (3) මෙලෙස අද (03) අලුයම සිට විවෘත කර ඇති බවයි ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු තේමීය බණ්ඩාර ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ජලාශයෙන් තත්පරයට ඝන අඩි 6,000 ක ජල ධාරිතාවක් වළවේ ගඟට මුදාහරින බැවින් එහි පහළ කොටසේ එනම්, අම්බලන්තොට, ඇළේකොළණිය සහ රිදියගම ප්‍රදේශවල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

+++

එමෙන්ම, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.

අද (03) උදෑසන සිදුවූ මෙම ගිලා බැසීම හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේ. මීට පෙර ද එම ස්ථානය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.

අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ යාපනය – නුවර ප්‍රධාන මාර්ගය ඉරට්ටපෙරියකුලම, පුලියන්කුලම, ඕමන්ත ආදී ප්‍රදේශවල මාර්ග අද (03) උදෑසන මීදුමෙන් වැසීයාමත් සමග රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, අද (03) පස්වරු 01:00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උදෑසන 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 83.5 ක් වාර්තාවී ඇත්තේ පස්යාල ප්‍රදේශයෙන් ෴

++++++++

+


බද්ද වැඩි කිරීමත් සමඟ සීනි මිල ඉහළ දමයි

(03.11.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අනායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙළඳපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

ආනයනික සීනි කිලෝවක් සඳහා පැවති ශත 25 ක්ව පැවති බද්ද ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා.

එම බදු සංශෝධනයත් සමග අද (02) උදෑසන වන විට වෙලදපොළේ සීනි මිල රුපියල් 300 ඉක්මවා අලෙවි වන බවට හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

රජය සතු ලංකා සතොස අලෙවිසැල්වල පවා සීනි කිලෝවක මිල අද (03) උදෑසන වනවිට ඉහල දමා තිබූ අතර ඇසුරුම් කළ සීනී කිලෝ ග්‍රෑමයක පැකැට්ටුවක මිල දැක්වුනේ රුපියල් 350 ක් ලෙසයි.

සිල්ලර වශයෙන් සීනී කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 320 ක මිලකටයි.

ආනයනික බදු ඉහළ නැංවූ දිනට පසු දින වෙලඳපොළේ සීනි මිල මෙලෙස අත්තනෝමතිකව ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (02) කියා සිටියේ ආනයනික සීනි බදු ඉහළ දැමුව ද උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි ෴


වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුව‍යි

(03.11.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

උතුර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරු අද (03) සංකේත වර්ජනයක වුණා.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් පියවර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය ඊයේ (02) සිට පළාත් මට්ටමින් සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹුණා.

එහි පළමුවැන්න ක්‍රියාත්මක වූයේ ඌව පළාතේයි.

මේ හේතුවෙන් ඌව පළාතේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායන කටයුතු මුලුමනින්ම අඩාල වී තිබුණා ෴


ක්‍රිකට් ලොක්කොන්ට වහාම ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමැති කියයි

(03.11.2023 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමින් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියානු T20 ලෝක ක්‍රසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගණුදෙනු පිළිබඳ සියලු දෙනා දන්නා කාරණයක් බවත් ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂය පැත්තකට කර, එම තරගාවලිය පේන මානයේ තබාගෙන LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට චෝදනා කරන අමාත්‍යවරයා, උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරගාවලිය පැවැත්වීම සදහා එකඟ වූයේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්ණ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවූ බව අමාත්‍යවරයා යළි සිහිපත් කර තිබෙනවා.

තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත රට දෙවෙනි කොට ඇංජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ, පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වූ බවත් ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිළධාරීන්ට මෙවැනි පරාජයන් හමුවේ තව දුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කෙරෙන අතර තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් අමාත්‍යවරයා පවසනවා ෴


ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

(03.11.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

අධික වැසිත් සමඟ මහනුවර – මහියංගන මාර්ගයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් තාවකාලිකව ඉදිකර තිබූ පළතුරු වෙළඳසැලක සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් (1) අයෙකු මියගියා.

මෙලෙස මියගියේ 56 හැවිරිදි කුණ්ඩසාලේ – වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවක්.

මොහු පළතුරු මිලදී ගැනීමට එම ස්ථානයට පැමිණි අයෙකු වන අතර, වෙළඳසැල් හිමියා සහ එහි සහයට සිටි තවත් කාන්තාවක්ද තුවාල ලබා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (02) පස්වරුවේ ගස කඩාවැටෙන අවස්ථාවේ එම මාර්ගයේ ගමන් කළ වෑන් රථයකටද අලාභහානි සිදුව ඇති අතර, එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

කඩා වැටුණු ගස මේ වනවිට ඉවත් කර මහියංගණ – මහනුවර මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙලෙස ගස් කඩාවැටීම් වාර්තාවුණා.

එහි ප්‍රධානතම සිද්ධිය ලෙස කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පෙන්වා දිය හැකියි.

මෙම සිද්ධියෙන් පසුව කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ අවදානම් සහගත ගස් ඉවත් කරන බවටයි ප්‍රකාශ කළේ.

ඊට පසුව එනම් පසුගිය 30 වනදා වර්ෂාවත් සමග අවිස්සාවේල්ල – කොස්ගම – මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් හතරදෙනෙකු (4) තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ මාර්ග දෙපස ඇති අනතුරුදායක ගස් ඉවත් කරන ලෙස සියලුම පළාත් පාලන අයතන වෙත උපදෙස් ලබා දී ඇති බවයි ෴


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) පැය 10 ක ජල කප්පාදුවක්

(03.11.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

මෙම ජල කප්පාදුව සිදු කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

හෙට (04) පස්වරු 07:00 සිට අනිද්දා (05) දින පෙරවරු 05:00 දක්වා පැය 10 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජල ප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසනවා ෴


HIV වයිරස ආසාදිතයන් ඉහළට – කොළඹ 10 සේරම් පෙදෙසේ සායනයෙන් නොමිලේ ඖෂධ

(03.11.2023 – dinamina.lk)

එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ (2022) පළමු කාර්තු තුනට (3) වඩා මේ වර්ෂයේ (2023) පළමු කාර්තු තුනේ (3) පුද්ගලයන් 60 කගෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වර්ෂය (2023) තුළදී එච්.අයි.වී. ආසාදිතයන් 485 ක් මේ වන විට වාර්තා වී ඇති අතර, සමස්තයක් ලෙස 5496 ක් ආසාදිතයන් වාර්තා වී තිබේ. ගිය වසරේදී (2022) ආසාදිතයන් 425 ක් වාර්තා වී තිබිණි.

එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී ඉහළ යෑමක් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ‘දිනමිණ’ට ඊයේ (02) පැවසුවාය.

වයස අවුරුදු 15 ත් – 24 ත් අතර ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට (2022) වඩා මේ වසරේදී (2023) ඉහළ ගොස් ඇති බවත් මේ වසරේදී (2023) මෙම වයස් කාණ්ඩය ආශ්‍රිතව ආසාදිතයන් 79 ක් වාර්තා වී ඇති බවත් කීවාය. මේ අතර ලෝක ඒඩ්ස් මර්දන දිනය නිමිති කර ගනිමින් බස්නාහිර පළාත තුළ ස්ථාන 14 ක එච්.අයි.වී. ආසාදිතයන් හඳුනා ගැනීමේ සායන මාලාවක් නොමිලයේ පැවැත්වීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සැලසුම් කර ඇත.

ලෝක ඒඩ්ස් මර්දන දිනය දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති අතර, ‘ප්‍රජාව බල ගන්වමු – ඒඩ්ස් වළකමු’ මෙවර ඒඩ්ස් මර්දන දිනයේ තේමාවෙන් ලෝක ඒඩ්ස් මර්දන දිනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. ‘එච්.අයි.වී. අවදානම අවම කිරීමේ ඖෂධ’ නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් සේරම් පෙදෙස, කොළඹ 10 ලිපිනයේ පිහිටි ‘ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන’ මඟින් ක්‍රියාත්මක අතර, මෙම සායනය සෑම මසකම දෙවැනි (2) සතියේ ඉරිදා දින උදෑසන 08:30 සිට සවස 02:00 දක්වා එම ස්ථානයේදී පැවැත්වෙන බව ද වෛද්‍ය විදානපතිරණ මහත්මිය පැවසුවාය.

මෙම සායනය ක්‍රියාත්මක වීමේදී එම ඖෂධ ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින අතර, ඔවුන්ගේ අනන්‍යතාව අන් අයට හෙළි නොවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

පුරුෂ – පුරුෂ ලිංගික සම්බන්ධතාවලට රුචිකත්වයක් දක්වන පිරිස, සංක්‍රාන්ති ලිංගිකයන් සහ ලිංගික ශ්‍රමය සපයන්නන් අතර මෙම ඖෂධ ලබා ගැනීමේ උනන්දුව වැඩි අතර, මෙම ඖෂධය (PrEP) අනාරක්ෂිත ලිංගික ඇසුරකට පෙර ලබා ගැනීමෙන් පුද්ගලයකුගෙන් තවත් අයකුට එච්.අයි.වී. වයිරසය සම්ප්‍රේෂණය වීම සියයට 99 කින් අඩු බව පවසයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් වැළකීම, විශ්වාසවන්ත ඇසුරක් නොවන අවස්ථාවක කොන්ඩමයක් පැලඳීමේ පුරුද්ද තවදුරටත් අතිශය වැදගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *