වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ

වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ


වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ

(02.11.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රජයේ රෝහල්වල අද(02) සිට පළාත් මට්ටමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හෙට(03) දිනයේදී උතුරු පළාතේ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් පියවරක් නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව අද (02) උදෑසන 8 සිට මෙම සංකේත වැඩ වර්ජනය ඌව පළාතේ ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත් වුණා.

මේ අතර එක් දින සංකේත වැඩවර්ජනයට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද (02) විරෝධතා පා ගමනක නිරත වුණා. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධාන කළ මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ කොළඹ විහාර මහදේවී උද්‍යානය අසලින්.

එය කොළඹ මහජන පුස්තකාලය දක්වා පැමිණි අතර එහිදී ඊට පොලිසියෙන් බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වක් හට ගත්තා.

කෙසේ වෙතත් උණුසුම් තත්ත්වය නොතකා එම පා ගමන කොළඹ මහජන පුස්තකාල දක්වා ගමන් කිරීමටයි කටයුතු කළේ.

මේ අතර පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් එක්ව පා ගමනක් ආරම්භ කළ අතර එම විරෝධතාවයද පොලිසිය නතර කිරීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්ත්වක් හට ගත්තා.

මේ අතර එළඹෙන අයවැයෙන් රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා ෴


NMRA ප්‍රධාන විධායක අධ්‍යක්ෂට තවත් චෝදනාවක්

(02.11.2023 – 21:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ලවී සිටින ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර සිය කාර්යාලයේ තිබූ ලිපි ගොණු කිහිපයක් විනාශ කර ඇති බවට රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සිදුවීමට අදාළ බව කියන වීඩියෝ පටයක්ද රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා පත්වීමෙන් පසු එහි විධායක කමිටුව අද (02) පළමු වරට රැස් වුණා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්වීමෙන් පසු පළමු විධායක කමිටු රැස්වීම ඖෂධ නියාමන අධිකාරියේදී පැවැත්වුණා.

හදිසියේ සිදුකළ දැනුම්දීමක් මත මෙම රැස්වීම කැඳවා තිබූ අතර ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා විධිමත් රැස්වීමක් ඉදිරි දිනයකදී පැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී තීරණය කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අතරතුර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටි අතර පැය තුනකට (3) ආසන්න කාලයක් එම නිලධාරීන් ඖෂධ නියාමන අදිකාරී පරිශ්‍රය තුළ රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සිය නිළ කාර්යාලයේ තිබූ ලිපි ගොනු කිහිපයක් විනාශකර ඇති බවට රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව චෝදනා කරනවා.

කෙසේ වෙතත් විධායක කමිටු රැස්වීම සඳහා සහභාගීවී සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත අදහස් පළ නොකරම එම ස්ථානයෙන් පිටව ගියා.

මේ අතර ප්‍රමිතියෙන් තොර ‘ඉමිනියුග්ලොබියුලින්’ එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ලවී සිටින ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔවුන්ගේ බැංකු ගිණුම්ද පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++

+


රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් අඩුවට පොත්

(02.11.2023 – 21:51 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අද (02) සිට පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පැවසුවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවය.

“සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30% ක වට්ටමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා දීමට කටයුතු කරලා තියෙනවා.”

+


මංගල දැන්වීම් දැමූ කාන්තාවන් බයකර මුදල් ගැරූ අයෙකු අත්අඩංගුවට

(02.11.2023 – 20:40 +0530 – sinhala.adaderana.lk)

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නම භාවිත කර කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පුවත්පත්වල විවාහ මංගල දැන්වීම් පළකරන කාන්තාවන් ඉලක්ක කර ඔහු එම ජාවාරම සිදුකර ඇති බවය.

සැකකරු පුවත්පතෙහි පළකරන දුරකතන අංක ලබාගෙන නිවැසියන්ගෙන් අදාළ කාන්තාවන් පිළිබඳ විස්තර ගෙන ඔවුන්ට විවිධ අසත්‍ය චෝදනා කොට මුදල් ලබාගන්නා බවට වාර්තා වී ඇත.

එමෙන්ම ඔහුට ආධාර අනුබලදුන් කාන්තවන් දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

+


කුණ්ඩසාලේ-තෙල්දෙණිය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී ගසක් කඩාවැටී බිහිසුණු අනතුරක්

(02.11.2023 – 16:32 +0530 – sinhala.adaderana.lk)

කුණ්ඩසාලේ-තෙල්දෙණිය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී ගසක් කඩාවැටීම හේතුවෙන් වෙළෙඳසැලකට සහ රථවාහන කිහිපයකට හානි සිදුව තිබේ.

ගස කඩාවැටීමෙන් මාර්ගයේ තිබූ වෑන් රථයකට සහ ත්‍රිරෝද රථයකටද හානි සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇති අතර ඒ අතර කාන්තාවක් ද සිටින බව අප වාර්තාකරු පැවසීය.

+


හෝමාගම මංගල සාදයකට පැමිණි වෑන් රථයක තිබූ රු. ලක්ෂ 11 ක් සොරාගෙන හසුවේ

(02.11.2023 – gossiplankanews.com)

හෝමාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක මංගල සාදයකට පැමිණි වෑන් රථයක තිබූ රුපියල් ලක්ෂ එකොළහකට (11,00,000) අධික වටිනාකමින් යුත් මුදල් හා දේපොළ සොරාගත් එම සාදයටම තවත් පිරිසක් රැගෙන පැමිණි කුලී ත්‍රිරෝද රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

හෝමාගම ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 25 දා මෙම හෝටලයේ පැවති මංගල සාදයකට අතුරුගිරිය ප්‍රදේශයේ සිට යුවළක් රැගෙන ත්‍රිරෝද රථයක් පැමිණ තිබූ අතර එම යුවළ හෝටලයට ඇරලවා යළි පිටව යාමට සූදානම් වීමේදී එම සාදයට වෑන් රථයකින් පැමිණි පිරිසක් හෝටලයේ රථ ගාල පිහිටා ඇත්තේ කොහේදැයි ඔහුගෙන් විමසා තිබේ.

එම අවස්ථාවේදී රියැදුරා ත්‍රිරෝද රථයෙන් බැස පා ගමනින් ගොස් රථ ගාල පිහිටි ස්ථානය පෙන්වා යළි පැමිණ සිය ත්‍රිරෝද රථය ද හෝටලයේ රථ ගාලේ ගාල් කොට වෑන් රථයේ පැමිණි අයවලුන් හා කුළුපග වී මෙම සොරකම සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව මොහු විසින් පවුම් එකහමාරක් (1½) වටිනා රන් මාලයක්, රන් පෙන්ඩනයක්, රිදී මාලයක්, අත් පලඳනාවක්, රූපලාවණ්‍ය උපකරණ කට්ටලයක්, කොණ්ඩා සැකසුම් යන්ත්‍රයක්, සපත්තු යුගල 04, මංගල සාදයේ දෙවැනි දින භාවිත කිරීමට අලුතින්ම මිලදී ගත් ඇඳුම් කට්ටල තුනක් (3), රුපියල් 2000 තෑගි වවුචර් පත් 02 හා මුදලින් රුපියල් 68,000 සොරා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව සොරාගත් භාණ්ඩ නිවස ඉදිරිපිට කෙසෙල් පදුරක් අසල වළක් කපා වළලා තිබියදී සොයාගෙන තිබූ අතර රුපියල් 68,000 මුදලින් ඉතිරිව තිබූ රුපියල් 13,000 මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


බැංකු රථ ගාලේ වැටී තිබූ රු. ලක්ෂ 50 ක් නැවත බැංකුවට භාර දුන් චන්දන උදයංග

(02.11.2023 – ada.lk)

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු අද (02) සවස කටයුතු කර ඇත.

මෙම සත් ක්‍රියාව සිදු කර ඇත්තේ අහංගම පදිංචි චන්දන උදයංග (38) මහතාය.

එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්. යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් රුපියල් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.

මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග මහතා අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැඳවා ඔවුන්ට එය භාර දී තිබේ.

පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ මහතාට සිදු වු දෙය පවසා ඇත.

ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා බැංකුවේ කලමණාකරු හඳුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග මහතා ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.

එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග මහතාගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.

මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.

මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග මහතා මෙසේ කීය :

“මම මුදල් තැන්පත් කිරීමටයි බැංකුවට ආවේ. යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින අතර බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා.

ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට. පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා. පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා. මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා. මම සිද්ධිය කීවාම ඔහු මාව කලමණාකරු ලඟට එක්ක ගෙන ගියා. පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා. මම ‘ප්‍රෝන්ටෝ කූරියර්’ ආයතනයේ සහකාර කළමණාකරු ලෙස රැකියාව කරනවා. මම කල හොඳ ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා. මම ඒත් කීවා මම හිත හොදින් කළේ ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *