ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක

ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක


ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක

(01.11.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ අංක 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ කටුනායක – කොළඹ, ජා-ඇල – කොටුව මාර්ග අංක 187 සහ රද්දොලුගම – කොටුව මාර්ග අංක 188 සාමාන්‍ය බස් රථ මෙන්ම සුඛෝපභෝගි බස් රථ උදෑසන 7 සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

අදාළ ධාවන කළමනාකරු ස්ථිර සහ අතුරු ගමන්වාර ලබාදීමට බස් රථ හිමියන්ගෙන් අල්ලස් ලබා ගැනීම මෙන්ම, නව බස් රථ සඳහා ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර ඇති බව වර්ජනයේ නිරත බස් රථ හිමියන් පවසනවා ෴


විදුලි බිලට එරෙහිව පා ගමනක් ගිය කස්සප හිමි ඇතුළු 06 ක් අත්අඩංගුවට

(01.11.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමන අතරමඟ නවතා දැමීමට පොලීසිය අද (01) පියවර ගත්තා.

අනතුරුව එය සංවිධානය කළ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුලු 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගත්තේ.

ඒ අතර, සසුන රැකුමට ගෝලීය සංසදයේ කැදවුම්කරු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ද සිටිනවා.

මෙම පිරිස අද (01) පෙරවරුවේ දිවුලපිටිය නගරයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළ අතර, පොලීසිය දිවුලපිටිය – හොරගස්මුල්ල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට යාම වළක්වනු ලැබුවා.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව ද කැඳවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සංවාදාත්මක තත්ත්වයක් හටගත්තා.

මෙම විරෝධතාවට එක්ව සිටින විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, බහුජන හා සිවිල් සංවිධාන නියෝජනය කරන කැදවුම්කරුවන් ඇතුලු පිරිසකට අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබූ පසුබිමකයි ඔවුන් මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ.

පෑලියගොඩ – ඕලියමුල්ල මංසන්ධිය, මැනිං වෙළදපළ සංකීර්ණයට හා මත්ස්‍ය වෙළද සංකීර්ණයට පිවිසෙන මාර්ගය අසළ සිට පෑලියගොඩ නවලෝක වටරවුම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණ හා සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමිනුයි එම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම පාගමනට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල, කඳාන, වත්තල සහ මහබාගේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඊයේ (31) කළ ඉල්ලීමක් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන විසින් ප්‍රතික්‍ෂේප කළා.

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එරෙහිව ලෙඩ නිවාඩු වාර්තා කළ විදුලි සේවකයින් අද (01) දහවල් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

විදුලි සේවක සංගමයට අමතරව, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනවා.

මේ අතර, විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (31) රාත්‍රියේත් කොළඹ, ගාල්ල, මාවනැල්ල, ඇතුලු ප්‍රදේශ රැසක පන්දම් විරෝධතා සංවිධාන කර තිබුණා.

එමෙන්ම විදුලිබිල ඉහළ යාමත් සමග අයිස් මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් ධීවරයින් පිරිසක් මේ වනවිට විරෝධතාවයේ නිරත වනවා.

ගාල්ල ධීවර වරාය ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවය නිසා ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴


රටම කතා වූ ‘බොබ් මාලි’ අත්අඩංගුවට

(01.11.2023 – 22:47 +0530 – sinhala.adaderana.lk)

ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් ‘චමින්ද තාබෲ’ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට (300,00,00,000) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම ‘බොබ් මාලි’ නැමැත්තාය.

43 හැවිරිදි වියේ පසුවන සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට ‘මාලබේ තලාහේන’ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ‘බොබ් මාලි’ ඇතුළු සිව්දෙනා (4) හෙට උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴

+++++++

https://www.youtube.com/watch?v=iChQoZihM6w

+


වේගය පාලනය කරගැනීමට නොහැකි වූ මෝටර් රථයක් අනතුරට

(01.11.2023 – 21:55 +0530 – sinhala.adaderana.lk)

කාන්තාවක් පැදවූ මෝටර් රථයක් වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ දී අනතුරට ලක් ව තිබේ.

අතුරු මාර්ගයකින් ගාලුපාරට පැමිණීමට යාමේ දී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්ය.

වේගය පාලනය කරගත නොහැකි වී මෝටර් රථය යතුරුපැදියක හා විදුලි කණුවක ගැටී තිබිණි.

+


ONMAX DT ආයතන ප්‍රධානීන් විදෙස්ගත වීමේ උත්සාහයක?

(01.11.2023 – 21:11 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 3,000 කට අධික තැන්පතු මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ ONMAX DT ආයතන ප්‍රධානීන් දේශපාලන රැකවරණ මැද විදෙස්ගත වීමට උත්සාහ කරමින් සිටින බව එම සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත් වූවන් ගේ සංගමය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙත්සම් 1,480 ක් යොමු කළ ද නීතීය නිසි පරිදි ඉටු නොවන බව ඔවුහූ පවසති.

+


රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ම සංකේත වැඩවර්ජනයක

(01.11.2023 – 19:34 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17 ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

මේ බව තීරණය කෙරුණේ, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී අද (01) පැවැත්වූ සාකච්ඡාවක දී ය.

මේ අතර, උපයන විට බදු ඇතුළු රජයේ බදු ප්‍රතිපත්තිය අසාධාරණ හා අත්තනෝමතික බව පවසමින් ඊට විරෝධය පා වෘත්තියවේදීන් ගේ වෘත්තිය සමිති එකමුතුව අද (01) කොළඹ ලෝටස් පාරේ දී විරෝධතාවක් පැවැත්වීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය, රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේදී සංගම් කිහිපයක් ඊට එක් විය.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය දෙසට ගමන් කිරීමට සැලසුම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය දෙසට යාම වළක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන තිබූ නිසා ඔවුහූ ලෝටස් පාරේ දී විරෝධතාව පැවැත්වූහ.

ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ලෝටස් පාර අවහිර වී තිබිණි.

පොලීසිය අවස්ථා කිහිපයකදීම අධිකරණ නියෝගය විරෝධතාකරුවන් වෙත ලබා දෙන ලදි.

නමුත් විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය දෙසට යාමට උත්සාහ කළ අතර, පසු ව පොලීසියේ සම්බන්ධීකරණයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක් එම ස්ථානයට පැමිණ පිරිස සමඟ සාකච්ඡා කළාය.

සිය ගැටලු ලිඛිත ව ඇයට ඉදිරිපත් කළ විරෝධතාකරුවෝ පසු ව එම ස්ථානයෙන් විසිර ගියහ.

මේ අතර, වැටුප් ගැටලුවට විරෝධය පා දුම්රිය කම්කරු එකමුතුව දහවල් කෑම පැයේ දී මරදාන දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්විය..

මේ අතර, රුපියල් 20,000 ක අවම දීමනාවක් ඉල්ලා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සේවකයන් රත්මලාන කාර්යාලය අසලදී අද විරෝධතාවක් සංවිධාන කර තිබිණි..

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ විරෝධතාවක් රජයේ මුද්‍රණාලය ඉදිරිපිට දී අද (01) පැවැත්වුණේ, ඉදිරි අයවැයෙන් රුපියල් 20,000 ක දීමනාවක් ඉල්ලමිනි ෴


‘පිටිදූවේ සිරිධම්මයා’ හෙවත් ‘සමන්තබද්දරයා’ ට අවවාදයක්

(01.11.2023 – 18:40 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන ‘අනර්ථ දේශනයන්’ පැවැත්වීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධම්මයාට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.

ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවූ පිටිදූවේ සිරිධම්මයා වෙත මෙසේ අවවාද සිදු කළ බවත් සිරිධම්මයා එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද (01) මාධ්‍ය හමුවක දී සඳහන් කළහ.

ඒ අනුව ඉදිරියේ දී තමාගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට පිටිදූවේ සිරිධම්මයා පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කරති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *