අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි

අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි


අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි

(31.10.2023 – 17:59 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවය.

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා ෴


අනුරාධපුරයේදී දැරියක් පැහැරගනී

(31.10.2023 – 12:28 +0530 – sinhala.adaderana.lk)

15 හැවිරිදි දැරියක් පැහැරගෙනයාමේ සිද්ධියක් අනුරාධපුර හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම දැරිය පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවෙකු අනුරාධපුර දිවුල්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නමුත් ඥාතීන් පවසන්නේ පැහැරගැනුණු දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බවය.

සිය නිවසේ සිටියදී පෙරේදා අලුයම 1 ට පමණ මෙම දැරිය පැහැරගෙන ගොස් තිබේ.

ඥාතීන් චෝදනා කරන්නේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් දැරිය පැහැරගෙන ඇති බවටය.

දිවුල්වැව පොලිසිය මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

+


එකතු කළ අගය මත බද්දේ වෙනසක්

(31.10.2023 – 11:55 +0530 – sinhala.adaderana.lk)

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18 ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළගොස් ඇති බවය.

එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළදැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.

+


ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

(31.10.2023 – 11:20 +0530 – sinhala.adaderana.lk)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්‍රදානය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වූ අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

+


ඇල්ලේ වෙඩි තැබීමක්; අයෙක් රෝහලේ

(31.10.2023 – 20:50 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු (2) ස්වයංක්‍රීය ගිනි අවියකින් ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

සිද්ධියේදී එක් (1) අයෙකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


ඉන්ධන මිල වෙනස් වෙයි

(31.10.2023 – 22:02 +0530 – hirunews.lk/sinhala)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) හා ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසටයි.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423 ක් ලෙසටයි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 ක්.

ලංකා භූමිතෙල් මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249 ක් ලෙසටයි.

+


කිලෝ 5-10 හාල් බෑග් ඇසුරුම් ගනුදෙනුවෙන් මිලියන 130 ක් ගහලා

(01.11.2023 – mawbima.lk)

වී අලෙවි මණ්ඩලය සහල් විකිණීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ සහල් ඇසිරීමට බෑග් මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මණ්ඩලය අවුරුදු පහක් (5) තිස්සේ කළ සමීක්‍ෂණයකදී මණ්ඩලයට රුපියල් මිලියන 130 ක අලාභයක් සිදු කිරීමේ සිද්ධියකට වගකිව යුතු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනකුගේ (2) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

වී අලෙවි මණ්ඩලය PMB – rice ලෙස මණ්ඩලය සතු වී සහල් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අරඹන ලද්දේ 2018 වසරේදීය. කිලෝ 05, කිලෝ 10 බැගින් හාල් ඇසිරීමට වර්ග දෙකකින් (2) බෑග් මිලදී ගෙන ඇත්තේ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවීමෙනි. මෙම අක්‍රමිකතාව ගැන මීට වසර පහකට (5) පෙර සමීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර මෙම බෑග් ගනුදෙනුවෙන් වී මණ්ඩලයට රුපියල් මිලියන 130 ක අලාභයක් සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙම අක්‍රමිකතාවට මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් දෙදෙනකු (2) වගකිව යුතු බවට තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුව පසුගිය සතියේ ඔවුන් දෙදෙනාගේ (2) වැඩ තහනම් කොට තිබේ ෴


හික්කඩුවේදී කාරයකින් පිම්මේ ආ නෙදර්ලන්ත කත වාහන 4 ක් හප්පලා

(01.11.2023 – mawbima.lk)

විදේශීය කාන්තාවක අධික වේගයෙන් පදවාගෙන පැමිණි මෝටර් රථයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී පෙරේදා (30 දා) පස්වරුවේ වාහන හතරක (4) ගැටීමෙන් වූ අනතුරකින් තිදෙනකු (3) බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට හික්කඩුව පොලිසිය පවසයි. 68 වැනි වියේ පසුවන නෙදර්ලන්ත ජාතික විදේශීය කාන්තාව තම සේවිකාව සමඟ මෝටර් රථයෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය කරද්දී මෝටර් රථ දෙකක (2), වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පිරිමි අයකු හා කාන්තාවන් දෙදෙනෙකි (2). විදේශීය කාන්තාව දැනට වසර 20 ක කාලයක සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියකි ෴


කට්ටිපැන්න සමාගම් හිමිකරු සී.අයි.ඩී.යෙන් අල්ලයි

(01.11.2023 – mawbima.lk)

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ‘මානව ප්‍රතිදේහ එන්නත්’ තොගයක් මෙරටට ගෙන්වූ පෞද්ගලික ඖෂධ සමාගමක හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) දහවල් අත්අඩංගුවට ගත්තේය. කෙසේ වෙතත් ඊයේ (31) දහවල් ඔහුගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් අතර එහිදී එම ඖෂධ තොගයක් මෙරටට ගෙන්නුවේද නැතහොත් එම ඖෂධ තොගයක් මෙරටට ගෙන්වූ බවට සඳහන් ව්‍යාජ ලිපිලේඛන සකස් කළේද යන සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.

ඉකුත් 20 දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඖෂධ ගෙන්වූ බව කියන එම සමාගම් හිමිකරුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවාය.

කල් ඉකුත් වූ ඖෂධ ගෙන්වා දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ අයවලුන් නොවැම්බර් මස 16 වැනි දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කර තිබුණු අතර රහස් පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම ඖෂධ සමාගම් හිමිකරු අතුරුදන්ව සිටි අතර ඔහුව ඊයේ (31) වනතුරු අත්අඩංගුවට ගැනීමටද නොහැකිව සිටියේය.

පසුව ඔහු රටින් පලා යනු ඇතැයි සැක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ගොනු කිරීමෙන් පසු මෙම සමාගම් හිමිකරුට, වෛද්‍ය සංගමයේ සැපයුම් අධ්‍යක්ෂවරයාට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයාටද අධිකරණය මඟින් ගුවන් ගමන් තහනමක් නිකුත් කළේය.

ප්‍රමිතියෙන් තොර ‘ඉම්යුනොග්ලොබින්’ ප්‍රතිදේහ එන්නත් කුප්පි 2,500 ක තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව රහස් පොලිසිය විමර්ශනයක් අරඹා තිබිණි.

අල්ලස දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශනය පැවැත්විණි. රුපියල් මිලියන 130 කට අධික මුදල් මුදලක් වංචාවක් සිදු කර ඇති බව එම සංවිධාන රහස් පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු විමර්ශන වහා අවසන් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කර තිබුණාය.

එම එන්නත් තොගය ගෙන්වූ සැපයුම්කරුවන්ගෙන් මෙන්ම ලිපි ලේඛන අස්සන් තැබූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත ෴

++++++++

‘ඉමියුනොග්ලොබින්’ ගෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කළ සමාගම් හිමිකරු CID අත්අඩංගුවට

(01.11.2023 – gossiplankanews.com)

පසුගිය කාලයේ රෝගී මරණ කිහිපයකට වගකිවයුතුවූ ‘ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි’ මෙරටට ගෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කළ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙරටට ගෙන්වා තිබූ ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබින් එන්නත්’ තොගයෙහි ලේබල්වල සඳහන් නිෂ්පාදිත ඉන්දියානු සමාගම ඖෂධ නිෂ්පාදනය නොකරන සුදු ලූනු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන ආයතනයක් බවට පසුගියදා (10) තහවුරු කරගෙන තිබුනි.

අදාළ ඖෂධයෙහි ලේබල්හි සඳහන් සමාගම සමඟ විද්‍යුත් පණිවුඩ හුවමාරුවකින් මේ බව තහවුරු කරගත් බවත් එවැනි ඖෂධයක් ලංකාවට හෝ වෙනත් රටකට එම සමාගමෙන් අපනයනය කර නැති බවට තහවුරු වී තිබුණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන භාවිත කරමින් ව්‍යාජ ලියැවිල්ලක් සකස් කර පසුගියදා මෙරටට ‘ඉමියුනොග්ලොබින් එන්නත් කුප්පි’ 22,500 ක තොගයක් ගෙන්වා තිබිණි.

මෙම ඖෂධ තොගය ගෙන්වූ බවට සැක සහිත ආයතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බවත් එම ස්ථානය මේ වන විට වසා දමා ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර පැවසුවේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියට එහා ගිය කර්තව්‍යයක් කරමින් මෙම තොරතුරු සොයාගත් බවත් තවදුරටත් එහි විමර්ශන කටයුතු අධිකරණය හා පොලිසිය මඟින් කළ යුතු බවත් හෙතෙම පැවසීය. මේ අතර ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබින්’ ඖෂධ තොගය ගෙන්වූ සමාගම මඟින් ‘රිටියුක්සිමැබ්’ නමැති එන්නත් තොගයක් ද ගෙන්වා ඇති බවට පෙරේදා (10) තොරතුරු වාර්තා වීමත් සමඟ එම ඖෂධ තොගය ද භාවිතයෙන් ඉවත් කළ බවද ඒ මහතා කීවේය.

‘රිටියුක්සිමැබ්’ මිලිග්‍රෑම් 500 එන්නත් වයල් 2250 ගෙන්වා ඇති බවත් එම එන්නත් ‘පිළිකා රෝගීන්’ට භාවිත කරන බවත් ඒ මහතා පැවසුවේය. මෙම ඖෂධය භාවිතයට නුසුදුසු බව මාතර මහ රෝහලෙන් වාර්තා කිරීමත් සමඟ අදාළ ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය ද ව්‍යාජ ලෙස ලියකියවිලි සකස් කර ‘ඉමියුනොග්ලොබින්’ ඖෂධය ගෙන්වූ ආකාරයට ගෙන්වා ඇති බවට තහවුරු වූ බව ද වෛද්‍ය ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව තවත් ඖෂධයක් ව්‍යාජ ලෙස ගෙන්වීමට ලියකියවිලි සකස් කර ඇති බවට වාර්තා වීමත් සමඟ අදාළ ඖෂධයේ ඇණවුම අත්හිටුවූ බව ද හෙතෙම පැවසීය ෴

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *