පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී

පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී


පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී

(31.10.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – බැස්ටියන් මාවතේ දී පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල බැදි රන් මාලය සහ ජංගම දුරකතනය සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණි අවස්ථාවේ දී මෙම සොරා ගැනීම සිදුව ඇත්තේ.

එහි දී නාදුනන පුද්ගලයකු ලබා දුන් අඩක් පානය කරන ලද දුම්වැටියක් පානය කිරීමෙන් පසු කොස්තාපල්වරයා මත් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පසුව ඔහුගේ ගෙල බැදි රන්මාලය සහ ජංගම දුරකතනය සොරා ගෙන ඇති බවයි ෴


අගරු චෙක්පත් දී රුපියල් කෝටියක සහල් අරගත් සැකකරු සොයා විමර්ශන

(28.10.2023 – 23:16 +0530 – hirunews.lk/sinhala)

සෙවණගල ප්‍රදේශයේ පදිංචි සහල් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් එක් කෝටි අසූතුන් ලක්ෂ දහතුන් දහසක් (1,83,13,000) වටිනා සහල් ලබාගෙන ඒ වෙනුවෙන් ලබාදුන් චෙක්පත් අටක් (8) අගරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල, අඹතැන්න උයන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අවස්ථා කිහිපයකදී ලබාගත් සහල් වෙනුවෙන් චෙක්පත් අටක් සෙවණගල සහල්මෝල් හිමියාට ලබාදී තිබෙනවා.

එම චෙක්පත් බැංකුගත කිරීමෙන් පසු ගිණුමේ මුදල් නොමැතිවීම නිසා අගරුවී තිබෙන අතර, අදාළ මුදල් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇතත් නොලැබීම නිසා සහල්මෝල් හිමියා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීමට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා ෴


‘මාකදුරේ මධූෂ්’ මෙහෙයවූ කුලි ඝාතකයා අත්අඩංගුවට

(28.10.2023 – 22:33 +0530 – hirunews.lk/sinhala)

පුද්ගල ඝාතන 19 ක් සිදු කළ බව කියන පාතාල සාමාජිකයෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

එහිදී සැකකරු එම ඝාතන සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගැනීමට සමත්වී තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හිටපු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මධූෂ්’ නමැත්තාගේ කුලී ඝාතකයකු ලෙස කළක් පුද්ගල ඝාතන කළ බවද ප්‍රකාශ කළ බවයි පොලිසිය පවසන්නේ ෴


දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක්

(28.10.2023 – 21:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කඩමක්කුඩි ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා (2) සිය දිවි නසාගත් සිදුවීමක් පසුගිය 12 වනදා වාර්තා වූ අතර ඉන්දීය විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණේ අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදීම් හා මුදල් ආයෝජන කිරීම් සඳහා පොළඹවන ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක ජාලයක් ඒ පිටුපස පවතින බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ සිය දිවි නසාගත් එම පවුලේ බිරිඳ අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන ආයතනයකින් ණය මුදල් ලබාගෙන පසුව එය යළි ගෙවීමට නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිට ඇති බවයි.

ඒ අනුව ඇයගේ රුව යොදා සංස්කරණය කළ අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථනය ඔස්සේ ඇයට සහ ඇගේ සමීපතමයින්ට යොමු කරමින් ඇයව පීඩනයට ලක් කිරීමට අදාළ ණය දෙන ආයතනය කටයුතු කර ඇති බවත්, එම පණිවුඩ යොමු කළ ජංගම දුරකතන අංකය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වුණා.

එලෙස අන්තර්ජාලය ඔස්සේ ඉන්දීය ජාතිකයින්ට ක්ෂණික ණය ලබාදෙන හා මුදල් ආයෝජනවලට පොළොඹවන ශ්‍රී ලංකාවේ පිහිටි කූඨ ලෙස ක්‍රියාත්මක වන ‘ඔන්ලයින්’ ජාවාරමක් පිළිබඳ තොරතුරු ‘හිරු CIA’ වෙත අනාවරණ වුණා.

එය ආයතනයක ස්වරූපයෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන අතර පුද්ගලයින් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි සේවය කරන බව ද ‘හිරු CIA’ අනාවරණ කරගත්තා.

චීන ජාතිකයෙකු හිමිකාරිත්වය දරන මෙම ආයතනයේ කළමනාකාරීත්වය භාරව සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක්.

අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීමේදී ඔවුන් පළමුව ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ග්‍රාහකයෙකු වෙත ඇරයුමක් යොමු කරන්නේ යූ ටියුබ් සමාජ මාධ්‍යය පරිශීලකයින් වැඩි කර ගැනීමේ ව්‍යපෘතියකට එක්වීම සම්බන්ධයෙන් කැමැත්ත විමසීම සඳහායි.

එලෙස ණය ලබාගැනීමේ ජාලයට හසුවූ ඉන්දීය ජාතිකයෙකු ‘හිරු CIA’ වෙත මෙලෙස අනාවරණයක් සිදු කළා.

“හායි, හලෝ කියලා වට්ස්ඇප් එකෙන් මට මැසේජ් එකක් ආවා. ඔයාලට ‘යූ ටියුබ් ටාස්ක්’ කරන්න පුළුවන්. ඒක හොඳ ‘පාර්ට් ටයිම් ජොබ්’ එකක් කියලා. ඒකේ මුලින්ම ‘ටාස්ක්’ එකක් දෙනවා. ඒකට කියන්නේ ‘ටෙස්ට් ටාස්ක්’ කියලා. එයාලට චැනල් එකක් තියෙනවා. ඒක සබ්ස්ක්‍රයිබ් කළොත් අපිට මුදලක් දෙනවා. මමත් ඒක කළා. කළාට පස්සේ මට මුදලක් ලැබුණා. ඊට පස්සේ ටාස්ක් කරන ගෲප් එකකට එකතු කළා. ඒකේ ගොඩක් අය හිටියා. ටාස්ක් කිහිපයකින් පස්සේ වර්ග දෙකක (2) ටාස්ක් ආවා. ‘යූ ටියුබ් සබ්ස්ක්‍රයිබින් ටාස්ක්’ එකට විතරයි සල්ලි දෙන්නේ. අනිත් ටාස්ක් එක කරනවානම් අපි සල්ලි දාන්න ඕනේ. ලක්ෂයක් (1,00,000), 1,48,000 ක්, 1,68,000 ක් ආයෙත් ලක්ෂයක් (1,00,000) මේ වගේ හතර-පස් (4-5) වතාවක් මමත් මුදල් දැම්මා.”

මෙම ණය ලබාදෙන ජාවාරම සම්බන්ධයෙන් ‘හිරු CIA’ වැඩිදුරටත් කළ සොයාබැලීමේදී එම ආයතනයේ සේවකයෙකුම ජාවාරම පිළිබඳව තවත් කරුණු අප වෙත තහවුරු කළා.

“ගෲප් එකට ‘ඇඩ්’ කළාට පස්සේ ඒ ගෲප් එකේ සාමාන්‍යයෙන් 2,000 ක් විතර ඉන්නවා. 2,000 ම ඩුබායිවල ඉන්න කට්ටිය තමයි. එයාලා ‘පේමන්ට්’ කරපු ‘පෲෆ්’ වගේ බොරුවට පෲෆ් ටිකක් දානවා. එහෙම දාලා අල්ල ගන්නවා කොහොමහරි. ‘රිසෙප්ෂනිස්ට් ගර්ල්’ කෙනෙක්ගේ නමින් ඉන්නේ බෝයි කෙනෙක්. ඩුබායිවල ඉන්නේ. එයා චැට් කරනවා. මේක තමයි සිස්ටම් එක. “

මිනිස් ජීවිත ප්‍රාණ ඇපයට ගනිමින් සිදු කරමින් මෙම වංචා සහගත ඔන්ලයින් ණය ජාවාරමට හසු වූ ඇතැම් පිරිස් තමන් සිය දිවි නසාගන්නා බව පවසමින් ණය ලබාදුන් ආයතනය වෙත කෙටි පණිවුඩ ද යොමු කර තිබුණා.

එලෙස පීඩනයට ලක්වූ තවත් ඉන්දීය ජාතික ගනුදෙනුකරුවෙකු ‘හිරු CIA’ වෙත මෙලෙස අදහස් පළ කළා.

“මම හොයලා බලපු විදියට මේක ශ්‍රී ලංකාවෙන් කරන්නේ. ලක්ෂ 7 ක් මගේ මුදල් හම්බවුණේ නැත්නම් අනිවාර්යයෙන්ම මම සිය දිවි නසා ගන්නවා. දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම අනිවාර්යයෙන්ම සිය දිවි නසාගන්න කලින් මම හැමදේම ලියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ‘හිරු TV එකේ CIA මීඩියා ටීම්’ එක මට උදව් කරන්න.”

ඉන්දීය ජාතිකයින් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ ජීවිත ද බිල්ලට ගන්නා මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ පවා හෙළි කර ඇති පසුබිමක ‘හිරු CIA’ මෙම හෙළිදරව්ව සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට සිදු කෙරෙන මෙම ජාවාරමට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට බලධාරීන්ට මතක් කරමින්.

ණය මුදල් යළි ලබාදෙනතුරු පුද්ගලයින්ව මානසිකව පීඩාවට පත් කරමින්, සංස්කරණය කරන ලද ඔවුන්ගේ අසභ්‍ය ජායාරූප සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට තරම් සාහසික වූ මෙවැනි ජාවාරම්කරුවන්ට රිසි සේ ක්‍රියාත්මක වීමට ඇති ඉඩ ඇහිරීමට මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට මෙරට මූල්‍ය නියාමනය භාර වගකිවයුතු ආයතන ද ක්‍රියාත්මක වනතුරු හිරු CIA අවදියෙන්.

+


හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට

(28.10.2023 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටියදී හමාස් ප්‍රහාර හේතුවෙන් මියගිය අනුලා රත්නායකගේ දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.

ඒ අද (28) පස්වරුවේ පස්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුවයි.

2010 වසරේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටි අනුලා රත්නායක ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 7 වනදා හමාස් ප්‍රහාරයකට ලක් වීමෙන්.

කැලණිය – ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අනුලා රත්නායක දෙදරු මවක්.

ඇයගේ දේහය අද (28) පෙරවරු 09:30 ට මෙරටට රැගෙන එනු ලැබුවේ ඩුබායි සිට එෆ්.ඉසෙඩ් 547 දරණ යානයෙන්.

අනතුරුව අනුලා රත්නායකගේ දේහය පස්චාත් මරණ පරීක්ෂණය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගිය අතර එම කටයුතු අවසන් කිරීමෙන් පසුවයි දේහය ඥාතීන්ට භාර දී ඇත්තේ.

මේ අතර මැලේසියාවේදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික යුවලගේ දේහයන්ද පවුලේ ඥාතීන්ට භාර දී තිබෙනවා.

ඒ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට පැමිණි යූ එල් 319 දරන ගුවන් යානයෙන් එම දේහයන් දිවයිනට රැගෙන ඒමෙන් පසු මීගමුව දිස්ත්‍රික් රෝහලේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

මැලේසියාවේ රැකියාවක නිරත වෙමින් සිටි වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවන් වූ එම යුවල ජීවිතක්ෂයට පත් වී තිබුණේ ඔවුන් ගමන්ගත් යතුරුපැදිය මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්.

+


මැලේසියාවේදී මියගිය වඳුරඹ පරිගණක ඉංජිනේරු යුවළගේ අවසන් මොහොතේ වඳුරඹ මහ ගෙදර දොරට තට්ටු කළේ කවුද?

(28.10.2023 – silumina.lk)

  • දොරවල් ඇර බලද්දී කිසිවෙක් නෑ
  • ඒ මොහොතේම මාමාගේ ගෙදර දුම්මැස්සත් කඩා වැටෙයි

ශාමෙලා රංගනී පාසල් සමයේ සිට අධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන දස්කම් දැක්වූ සිසුවියක් වූවාය. ඇය වරෙක විදුහලේ හොඳම සිසුවියක ලෙසින්ද සම්මාන ලැබුවාය. තවත් විටෙක විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් සම්මාන ලැබුවාය. ගාල්ලේ අනුලාදේවි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා මෙරට වසර 5 ක් පමණ සේවය කර පසුව මැලේසියාවට ගොස් තිබේ. එහි බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ඇය එරට රැකියාව කරන අතරම ස්වාමියාත් කුඩා දියණියත් එරටට ගෙන්වාගෙන තිබේ.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සශික කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධිධාරියෙකි.

සති අන්තයේ නිවාඩු දිනයක් වූ පසුගිය 21 වෙනිදා සෙනසුරාදා ඔවුන් දෙදෙනා (2) සිවු (4) හැවිරිදි දියණිය සමඟ පිටතට ගොස් යළි රාත්‍රි නවාතැනට එමින් සිටියදී ‘බීමත් රියැදුරකු’ විසින් මේ අනතුර සිදු කර ඇති බව වාර්තා වේ. අදාළ රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවට ද වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මස ශාමෙලා මෙරටට පැමිණ ඇත්තේ සිවු හැවිරිදි දියණිය ද සමඟය. සිය ස්වාමිපුරුෂයා නොවැම්බර් මස එන බව ඇය එහිදී පවසා ඇත.

මෙවැනි අවාසනාවන්ත ඛේදවාචක සිදු වන විට නොයෙක් පෙර නිමිති මෙන්ම අසුබ ලකුණු ද පහළ වන බවට ජන වහරේ එන කතා අප අසා ඇත. ශ්‍යාමෙලාගේ හා සශිකගේ අකල් වියෝව සිදුවන මොහොතේ ද ශ්‍යාමෙලාගේ මහ ගෙදරත් මාමාගේ ගෙදරත් එබඳු සිද්ධීන් දෙකක් සිදු වීම ද විශ්මයජනකය. ශ්‍යාමෙලාගේ මාමා :

“මැලේසියාවේ මේ ගොල්ලන්ට අනතුර වෙන වේලාවේ මෙහේ හරි පුදුම සිද්ධි දෙකක් වුණා. එදා රෑ එකොළහ හමාරට (11:30) විතර මයේ ගෙදර දුම්මැස්ස කඩාගෙන වැටුණා.

ඔය වෙලාවෙම ශ්‍යාමෙලාගෙ අම්මලගෙ ගෙදර ඒ කියන්නෙ මගෙ නංගිගෙ ගෙදර ඉස්සරහ දොරට හයියෙන් ගහන සද්දයක් ඇහිලා. පිටිපස්සේ දොරටත් හයියෙන් තට්ටු කරලා. දොරවල් ඇරල බලද්දී කවුරුවත් ඉඳල නෑ.

ඔය වෙලාවෙම තමයි මේ ගොල්ලන්ට අනතුර වෙලා තියෙන්නෙ… මේවා හරි පුදුම දේවල්.”

[සිළුමිණ පුවත]


බාල ඖෂධ ගෙන් වු සෞඛ්‍ය ලොක්කන් ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(31.10.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ‘මානව ප්‍රතිදේහ’ හෙවත් ‘හියුමන් ඉමියුනෝග්ලොබින්’ එන්නත් කුප්පි 22,500 ක තොගයක් මෙරටට ගෙන්වන ලද සමාගමකට සහ එහි ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුට (2) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව, මෙම එන්නත් කුප්පි මෙරටට ගෙන්වන ලද ඖෂධ සමාගමේ අධ්‍යක්ෂ ජානක ප්‍රනාන්දු, එහි ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලද වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර යන අයටයි මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ ඊයේ (30) කළ කරුණු දක්වනු ලැබුවා.

‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සහ පුද්ගලයන් කිහිපදෙනෙකු එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

එමගින් රුපියල් මිලියන 130 කට අධික වංචාවක් සිදුව ඇති බවටද මෙම සංවිධාන චෝදනා කළා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ලබන මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර තිබෙනවා ෴


සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් හමුදා සෙබළා අත්අඩංගුවට

(30.10.2023 – 22:47 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ඇයගේ හා ඇගේ නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් මුදල් ලබා ගත් තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 16 ක් වන සිසුවියක් වන අතර ඇඟේ නැගණිය 13 හැවිරිදි පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

අදාළ සෙබලා සිසුවියට තර්ජනය කරමින් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් ලබා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා උතුරේ යුද හමුදා කදවුරක රාජකාරි කරන වයස අවුරුදු 21 ක් වන තරුණයෙක්.

කෙසේ වෙතත් මුහුණු පොත ඔස්සේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇති කර ගෙන ඇති අතර මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා කිසිම දිනක හමු වී නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *