පිටකොටුව දෙවන හරස් වීදියේ ගින්නෙන් 17 ක් රෝහලට

පිටකොටුව දෙවන හරස් වීදියේ ගින්නෙන් 17 ක් රෝහලට


පිටකොටුව දෙවන හරස් වීදියේ ගින්නෙන් 17 ක් රෝහලට

(27.10.2023 – 11:05 +0530 – sinhala.adaderana.lk)

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් (1) ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

රෝහල් ආරංචිමාර්ග ඒ බව සඳහන් කරයි.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද (27) පෙරවරු 09:30 ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

++++++++

++++++++

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක හට ගත් ගින්න හේතුවෙන් රෝහල් ගත කළ පිරිස 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ ෴

++++++++

+

+

+


මූල්‍ය ආයතනයක් හරහා රු. කෝටි 990 ක වංචාවක්

(27.10.2023 – 06:54 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990 ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලීසිය පැවසයි.

සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර තිබේ.

මහනුවර ‘කැන්ඩිවිව් ගාර්ඩ්න්’ ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි ෴


වසම් 18 ක ATM වලින් රුපියල් කෝටියක් (1,00,00,000) ඇද්ද දෙදෙනා (2) කඩුවෙලදී මාට්ටු

(27.10.2023 – dinamina.lk)

පොලිස් වසම් 18 ක ATM කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුළා කර ඔවුන් සතුව තිබෙන ATM කාඩ්පත් සූක්ෂ්ම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා (2) සමඟ වංචාව සඳහා යොදාගත් ATM කාඩ්පත් 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 20 කට අධික ප්‍රමාණයක් මෙන්ම යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම කාඩ්පත් රාජ්‍ය බැංකු 2 කට සහ පෞද්ගලික බැංකු 2 කට අයත් ඒවා බව පොලිසිය කියයි.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත කඩුවෙල විහාර මාවතේ විශේෂ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවතා එයට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ පැදිකරු සිය මුදල් පසුම්බිය, හැඳ සිටි කලිසම් සාක්කුවෙන් පිටතට ගැනීමේදී ATM කාඩ්පත් කිහිපයක් ඒ සමඟ බිමට වැටීමත් සමඟම ඒවා අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ නෙත ගැටීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත පොලිස් නිලධාරීන් ලවා සැකකරුවන් දෙදෙනා (2) එම ස්ථානයේම රඳවාගෙන දැඩි පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී පැදිකරු සන්තකයේ ATM කාඩ්පත් 13 ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 යි මිලිගෑම් 300 ක් හා පසු පැදිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 යි මිලිගෑම් 600 ක් තිබී හමුවූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා (2) පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී,

බැංකු අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් ATM කුටිය වෙත යන අවස්ථාවේදී ඔහු පිටුපසින් ගොස් මුදල් ලබාගන්නා අයුරින් රැඳී සිට ඔවුන් යන්ත්‍රයේ සටහන් කරන රහස් අංකය කෙරෙහි අවධානය යොමු කර මුදල් ගැනීමෙන් අනතුරුව ඔවුන් අමතා තම කාඩ්පත යන්ත්‍රය තුළ සිර වූ බව පවසමින් ක්ෂණික ඇමතුම් අංශයේ දුරකථන අංකය බලා ගැනීමට යැයි පවසා කාඩ්පත ගෙන තමන් සන්තකයේ තිබෙන කාඩ්පතක් දීම එක් ක්‍රමයක් බවත්,

අනෙක් ක්‍රමය වයෝවෘද්ධ පුද්ගලයන් කාඩ්පතෙන් මුදල් රැගෙන දෙන ලෙස ඉල්ලා සිටීමේදී එම කාඩ්පත සන්තකයේ තබාගෙන තම කාඩ්පතක් යන්ත්‍රය තුළට දමා සිර වූ බව පවසමින් එම පුද්ගලයා මුළා කිරීම බවත් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) බොරලැස්ගමුව දිවුලපිටිය පන්සල පාර පදිංචිකරුවන් දෙදෙනෙකි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. ජයමහ සහකාර පොලිස් අධිකාරී එස්.පී. ඒකනායක මහත්වරුන් උපදෙස් මත කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි ෴


විකුණා දැමීමට යන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක් – සාඩම්බර කොටස්කරුවකු ලෙසට ඔබත් එකතු වන්න !

(26.10.2023 – trglk.com)

Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගමේ කොටස්කරුවකු වන්න !

රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම ප්‍රධාන අරමුණු කරගෙන, ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙනTreasure Republic Guardians Limited ජනතා පොදු සමාගමේ සාඩම්බර කොටස්කරුවකු ලෙසට ඔබත් එකතු වන්න !

රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.

ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි දින සවස 03:00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙල උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක්ද DSI සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, Nature Secret සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඇතුළු මහාසංඝ රත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

  • සමාගමේ එක් කොටසක වටිනාකම රු. 1,000.00 වන අතර අවම ආයෝජනය රු. 100,000.00 වේ.
  • එක් අයෙකුට අයදුම් කළ හැකි අවම කොටස් ගණන 100 ක් වන අතර ඊට වඩා වැඩි ආයෝජන 100 ගුණාකාර වලින් වේ.
  • එක් අයෙකුට ලබා ගත හැකි උපරිම හිමිකාරීත්වය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 10 % කි. එනම් ආසන්න වශයෙන් රු. බිලියන 30 ක් පමණ වේ

https://trglk.com/


සුදු නෝනාගේ සල්ලි මල්ල වයස අවුරුදු 12 දරුවන් දෙදෙනාගේ නුවණින් බේරෙයි

(27.10.2023 – dinamina.lk)

වයස අවුරුදු 13 ක් සහ 12 ක් වයසැති පාසල් සිසුන් දෙදෙනකුගේ (2) සැකය නිසා තුර්කි තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ(26) මිනිත්තු 45 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සීගිරිය පොලිසිය කියයි.

තුර්කියේ සිටි මෙරටට පැමිණි 22 හැවිරිදි තරුණියක් සීගිරිය ප්‍රදේශයේ ලැඟුම්හලක නැවතී සිට ඊයේ (26) උදෑසන සීගිරි පව්ව නැඟ නැවත ලැඟුම්හලට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු (2) ඇය සතුව තිබූ මුදල් පසුම්බිය පැහැරගෙන තරුණියට ද පහර දී පළා ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

කොල්ලකරුවන්ගේ පහරකෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මෙරටට පැමිණි සංචාරක තරුණිය ප්‍රතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි. ‘ඩෝගා ස්කා’ නම් වූ මේ විදේශ තරුණිය සිද්ධිය ගැන ඇයගේ පෞද්ගලික ආරක්ෂාව මත ජනමාධ්‍යයට මුහුණ දීමට නොහැකි බව පොලිසිය හරහා මාධ්‍යවේදීන්ට දැන්වීය.

මෙදින උදෑසන දහයයි තිහට (10:30) පමණ සීගිරි පව්ව තරණය කිරීමෙන් අනතුරුව තුර්කි ජාතික සංචාරක යුවතිය පාගමනින් තමන් නැවතී සිටින සීගිරිය කලාපුරය ප්‍රදේශයේ ලැඟුම්හලට අතුරු පාරක් දිගේ ගමන් කරමින් සිටිය දී එකවරම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) ඇයගේ කරේ දමාගෙන සිටි මුදල් පසුම්බිය සහිත බෑගය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඔවුන් සමඟ මේ යුවතිය පොරබදා එම ස්ථානයේ ඇද වැටී ඇතැයි පසුව ඇයගේ විලාපය මත ලැඟුම්හලේ භාරකාර කාන්තාව පැමිණ අවට අයට මේ බව දැනුම් දුන් බව ඇය සඳහන් කළාය.

තරුණියගේ මුදල් පසුම්බිය රැගෙන අධික වේගයෙන් එම මාර්ගයේ පළා ගිය යතුරුපැදි කරුවන් මද දුරක් යද්දී වයස අවුරුදු 12 ක් වූ සීගිරිය කලාපුරයේ පදිංචි අදිශ සහෙන් ප්‍රේමරත්න සහ වයස අවුරුදු 13 ක් වයස ප්‍රභාත් විතර්ශන වර්ණකුලසූරිය සිසුහු සෙල්ලම් කරමින් සිට ඇත.

අධික වේගයෙන් කලබලයෙන් ධාවනය වන මේ යතුරුපැදිකරුවන් ගැන සිසුන් දෙදෙනාට (2) සැකයක් සිතුණු බව ඔවුහු කියති. අදිශ ප්‍රේමරත්න සිසුවා තම මිතුරාට ප්‍රකාශ කර ඇත්තේ පොලිසියෙන් පන්නන නිසා මේ යතුරුපැදිය මෙතරම් වේගයෙන් ධාවනය වනවා දැයි තමාට සැක සිතුණු බවය.

ඒ සැකයත් සමඟම මිතුරා වූ ප්‍රභාත් විදර්ශන තම ඇස් යොමු කළේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය වෙතය. පොලිසිය ලුහු බදින්නේනම් පොලිසියට එම අංකය ලබාදීමට හැකි නිසා තමා අංකය මතක තබා ගත් බව කියයි.

පසුව මේ දරුවන් දෙදෙනා (2) වහාම නිවැසියන්ට දැනුම් දෙන්න දිව එද්දී ඒ ස්ථානයේ විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇති බව දැනගෙන වහාම හෝටල් හිමි කාන්තාවට ඒ බව දැනුම් දී තිබේ. පසුව ඇය සීගිරිය පොලීසියට මේ බව දැනුම් දීමෙන් සීගිරිය පොලිසියේ නිලධාරින් යුහුසුළුව එම ස්ථානයට පැමිණ කුඩා යහළුවන් දෙදෙනාගෙන් ලබාගත් තොරතුරු සමඟ මිනිත්තු 45 ක් ඇතුළත සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. දරුවන් දෙදෙනාගේ (2) සැකය හා විමර්ශනශීලී වූ නිසාත් ඔවුන් නිසි අවබෝධයෙන් කටයුතු කළ නිසාත් විදෙස් කාන්තාවගේ අතුරුදන්වීමට ගිය ඩොලර් 225 ක මුදල සහ ලංකා මුදල් රුපියල් විසි දහස (20,000) සොයා ගැනීමට හැකි වූ බව සීගිරිය පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන්වන් වෑවලවැව සහ සීගිරි මුල්ල ප්‍රදේශ්යේ පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන්, යතුරුපැදිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේය ෴


‘සීතාවක ඔඩිසි’ දුම්රිය හෙට (28) සිට යළි ධාවනයට

(27.10.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව අත්හිටුවා තිබූ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය හෙට (28) සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා.

එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව මෙම දුම්රිය හෙට (28) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ධාවනය කෙරෙන අතර, හෙට (28) උදෑසන 08:25 ට කොළඹ කොටුවෙන් එය ගමන් ආරම්භ කරනු ඇති.

එය පස්වරු 06:50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *