‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි

‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි


‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි

(24.10.2023 – 07:04 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘හීනැටියන මහේෂ්’ නැමැත්තාගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටි 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බ, තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය ද සමගින්.

මොවුන් මෙලෙස ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘තුෂාර’ නැමති ව්‍යාපාරිකයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

‘හීනැටියන මහේෂ්’ නැමැත්තාගේ ගෝලයෙකු වන ‘තිළිණ ප්‍රසන්න’ හෙවත් ‘සුද්දා’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය ඊයේ (23) වැටලීමක් සිදු කර තිබුණා.

ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මරණ තර්ජන සිදු කොට කප්පම් මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරුවලට අනුවයි.

එහිදී ‘තිළිණ ප්‍රසන්න’ හෙවත් ‘සුද්දා’ නිවසෙහි රැදී නොසිටීම හේතුවෙන් හොරම්පැල්ල මාර්ගයේ සැකසහිත ලෙස ගමන් ගත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් (2) නවතා පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ මෝටර් රථය පදවා ගෙන ආ ‘චන්දිම වසන්ත සිල්වා’ නැමති පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මෝටර් රථයේ තිබී ජීව අත්බොම්බ 2 ක් සහ කඩු 2 ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම යතුරුපැදි දෙකෙහි (2) ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ යම් අපරාධයක් සඳහා රැදී සිටි බවට තහවුරු වූ කරුණු මතයි.

එහිදී මෝටර් රථයේ පැමිණි සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘තුෂාර’ නැමැත්තා ඝාතනය කිරීම සඳහා ඩුබායි හි රැදී සිටින ‘හිනැටියන මහේෂ්’ නැමැත්තා උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව ඔහු විසින් තවත් පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නා ලෙසට ලබා දුන් උපදෙස් මත ඔහුව සොයා හොරම්පැල්ල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මොවුන් මිනුවන්ගොඩ, කිඹුලාපිටිය, හොරම්පැල්ල සහ කටුවැල්ලේගම පදිංචිකරුවන්.

එමෙන්ම ‘හිනැටියන මහේෂ්’ නැමැත්තාගේ උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට තර්ජනය කර කප්පම් මුදල් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එලෙස මරණ තර්ජනය සිදු කරන ලද ව්‍යාපාරිකයෙකුගේ නිවසට අධිකරණ නියෝග මත පොලිස් ආරක්ෂාවද ලබා දී ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ෴


රටවල් 07 කට මෙරටට එන්න වීසා නිදහස්

(24.10.2023 – 06:51 +0530 – hirunews.lk/sinhala)

රටවල් 7 කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ මෙම පියවර 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් බවයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වෙන්නේ ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවලින් වෙනවා.

මෙම පියවර තුලින් එම රටවල් හතෙන් (7) වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වනු ඇතැයි රජය විශ්වාස කරන බව ඔහු සදහන් කළා.

ඒ අනුව, මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගාස්තුවකින් තොරව වීසා ලබා ගත හැකියි ෴


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බව පවසමින් පුත්තලමේ ව්‍යාපාරිකයෙකු පැහැර ගනී

(23.10.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් බවට පවසා කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස පැහැරගැනුණේ කල්පිටිය සින්නකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.

කෙසේ වෙතත් එම ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයේදී මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආනමඩුව පොලිසියට පැමිණ තිබෙනවා.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බරපතල අවධානමක්

(24.10.2023 – 16:41 +0530 – sinhala.asianmirror.lk)

මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ මෙම මාසයේ අද (24) දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බවයි.

පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500 කට ආසන්න බවයි.

මේ අතර දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රමාණයේ ඉහළ යාමක් වර්ෂාපතනයත් සමග වාර්තා වී තිබෙනවා.

එසේම පසුගිය කාලසීමාවේ දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 70 ත් 80 ත් අතර ප්‍රමාණයක පැවතිය ද මේ වනවිට දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 100 සීමාව ඉක්මවා ගොස් ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඊයේ (23) දිනයේ පමණක් දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 141 ක් බවත් විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවා.

බස්නාහිර පළාතේ, ගම්පහ කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන්ම (3) රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවදානමකට ලක්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේත්, ගොතටුව, නුගේගොඩ සහ මහරගම යන ප්‍රදේශවලත් ඩෙංගු අවදානම වැඩිවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවලද ඩෙංගු අවදානම වර්ධනය වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල යන ප්‍රදේශවල ද ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දැකගත හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් ඇතිවන ස්ථාන විනාශ කිරීමටත් තම පරිසරයේ පිරිසිදු බර රැකගැනීමටත් අවශ්‍ය පියවර නිරන්තරයෙන් ගන්නා ලෙසට ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


ඇමති තනතුරු වැඩිකර ජනතාව අමාරුවේ දාන්න මම ලෑස්ති නෑ – සහාය නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් – ජනපති තීරණයක් ගන්න හදයි !

(24.10.2023 – 08:50 +0530 – sinhala.asianmirror.lk)

ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බවද වාර්තාවේ.

ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවද සඳහන්.

මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද හෙතෙම පොහොට්ටුවට දැනුම් දී තිබෙනවා ෴


මහනුවර නගර සභාවේ කඩකාමර බදු දීමේදී ආදායම් අංශයේ කළමනාකරණ සහකාරවරිය රුපියල් දෙකෝටියකට (2,00,00,000) අධික මුදල් පිල්ලි ගහලා

(24.10.2023 – 12:21 +0530 – sinhala.asianmirror.lk)

මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සේවය කළ කළමනාකරණ සහකාරවරියක නගර සභාව සතු කඩ කාමර තවත් අයෙකුට පවරා දීමේදී අය කරන ගාස්තු වලින් රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අනුතුන්දහස් හත්සිය අනුවක් (1,35,93,790) ක මුදලක් වංචාකර තිබෙන බව විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.

නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය ‘එක් බදු කරුවෙකු ගෙන් තවත් අයෙකුට පැවරීමේ’ දී ගාස්තු වශයෙන් අය කළ මුදල් මෙලෙස වංචා කළ බව විගණනයට නිරීක්ෂණය වී තිබෙනවා.

විගණන නිලධාරීන් විසින් අදාළ වංචා සම්බන්ධව අනාවරණය කර ගන්නා අවස්ථාව වනවිට මෙම සේවිකාව ස්ථාන මාරුවීමක් ලැබ ‘පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ’ සේවයට ගොස් සිට ඇත.

නගර සභාව සතු කඩ කාමර 31 කින් කඩ කුලී අය කළ බවට ව්‍යාජ රිසිට් පත් සකස් කර රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් අටසීයක (82,77,800) මුදලක් වංචා කළ බවට ද මෙම සේවිකාවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මේ වනවිට ඇගේ සේවය අත්හිටුවා තිබෙනවා.

දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු වලට අනුව මෙම සේවිකාව පසුගිය වසර හතරක (4) කාලයේ දී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනූවකි (2,18,71,590).

නගර සභාව සතු මැණික්කුඹුර, කැප්පෙටිපොල, බෝගම්බර සහ ජොර්ජ් ඊ ද සිල්වා යන වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය ‘එක් බදු කරුවෙකු ගෙන් තවත් බදු කරුවෙකුට පැවරීමේ’ දී නීතී රීති චක්‍රලේඛ ප්‍රකාරව තීරණය කළ ගාස්තු නගර සභා අරමුදලට බැර නොකර රුපියල් 1,35,93,790 ක මුදල වංචා කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ ‘විගණන විමසුමේ’ දක්වා තිබෙනවා.

විගණන විමසුමේ පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් හා පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් ‘ඒෂියන් මිරර්’ කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතා පැවසුවේ විගණන විමසුම පදනම් කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි ෴

+++++++++

මහනුවර මහ නගර සභාවේ රුපියල් ලක්ෂ 51 ක් විවාහ උත්සවයකට වැය කරන්න අරගෙන ගිහින්

(23.10.2023 – 12:27 +0530 – sinhala.asianmirror.lk)

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය එම අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම නිලධාරිනිය පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා අවශ්‍යය ගෙවීම් කිරීමට මෙම මුදල් රැගෙන ගොස් තිබෙන බව විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ.

නගර සභාවට බදු, වරිපනම්, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු ගෙවීම් සිදු කරනු ලබන්නේ සරප් අංශය මගින් වන අතර මෙහි දෛනිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වන බව දැන ගන්නට තිබෙනවා.

දෛනිකව එකතු වන මුදල් පොත්වල සටහන් කර නගර සභාවේ ගිණුමට බැර කළ යුතුයි.

පසුගිය සතියේ නගර සභාවට ගෙවීම් ලෙස ලැබුණු මුදල් වලට අදාළ ගිණුම් සහ ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 51 ක පමණ මුදලක් හිඟ බව පෙනී යාමෙන් පසු මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතාගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.

අදාළ මුදල් නැවත ගෙනවිත් බාර දී සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේම ඉහළ නිලධාරීන් පිරිසක් උත්සහ කර ඇතැයි වාර්තා වන නමුත් නගරික කොමසාරිස්වරයාගේ මෙහෙයවීම ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා දැනුම්වත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ වසර 05 කට ආසන්න කාලයක් සේවය කර තිබෙන අදාළ නිලධාරිනිය මෙම වසර අවසානයේ වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට යාමට සූදානමින් සිට ඇති බව ද වාර්තා වෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *