ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ..

ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ..


ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ..

(24.10.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවත් ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ‘ගෝල්ඩන් කී අසාධාරණයට ලක්වූවන්ගේ සංගමය’ සඳහන් කරයි.

එහි කැඳවුම්කරු මාර්කෝ පෙරේරා මහතා සඳහන් කරන්නේ ලලිත් කොතලාවල මහතාගේ බිලියන දහයක (10) දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ පවරා ගෙන ඇති බවයි.

නීතිඥ කණ්ඩායම් විසින් කොතලාවල මහතා හිර කරගෙන සිටි බවට ද ඔහු චෝදනා කරයි.

කොතලාවල මහතාගේ දේපළ කිසිවක් කොතලාවල මහත්මියට දැන් හිමි නැති බවත් ඒ ඒ සියල්ල හොර ඔප්පු සකසා පවරා ගෙන ඇති බවත් අන්තර්ජාලය සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටී.

+


එක හොරෙක් කෝවිල් 21 ක මුදල් සහ භාණ්ඩ සොරකම් කරයි

(24.10.2023 – 17:30 +0530 – lankacnews.com)

මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21 ක් බිඳ රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු (22) දින නුවරඑලිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන (23) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය නියෝග කලාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑලිය අඹේවෙල වත්ත බොරගස් ප්‍රදේශයේ පදිංචි මුත්තුසාමි රගුනාදන් (අවු 43) යන අයයි.

සැකකරු සමග සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත කර ඇත.

ප්‍රධාන සැකකරුගෙන් රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සැකකරුවන් දෙදෙනාට නැවත 2023.11.03 දින යලි අධිකරණය හමුවේ පෙනි පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කලාය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම කොවිල් වල සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත් වු නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වුවෙකු බවද නුවරඑලිය පොලිසිය පැවසිය.

සැකකරු තලවාකැලේ, රාගල, හයිෆොරස්ට්, ලිදුල, හැටන්, බගවන්තලාව, නානුඔය, උඩපුස්සැල්ලාව, වැලිමඩ, කැප්පෙටිපොළ, මාතලේ, ගම්පොළ සහ නාවලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට අයත් හින්දු කෝවිල් 21 ක් කඩා සොරකම් සිදුකර ඇති අතර, එකම කෝවිල කිහිප වරක් කඩා එහි තුල තිබු මුදල් සහ රණ් ආභරණ සොරකම් කර ඇති බවට පොලිස් මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

රංජිත් රාජපක්ෂ


බැඳලා සතියයි – ස්ටුඩියොවත් නැතිවුණා – මානව හිමිකම් ගිය අදීශගේ කතාව (23.10.2023)

+


‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

(24.10.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන’ සඳහා සුදුසුකම් ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙනවා.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261 කට අදාල ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද සභාපතිවරයා පවසනවා.

ජයන්ත විජේරත්න මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05 ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097 ක් සඳහා රුපියල් 7,705,302,250 ක මුදලක් ගෙවා අවසන් බවත්, ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මෙහිදී සඳහන් කළා.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාල ගෙවීම් කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසය.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට (2) පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ මේ වන තුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවත් එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටළුවකින් තොරව අදාල ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න සඳහන් කළා ෴


වයස අවුරුදු 60 ට වැඩි විශ්‍රාමික හෙද හෙදියන් ආපසු කැඳවීමට නියෝග

(24.10.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක (4) හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන පිරිසගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද (24) ලබාදී තිබුණා.

මේ යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල හෙද හෙදියන් යළි සේවයට එක් කරගන්නා ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු පාර්ශව දෙකක් ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කියා සිටියේ පසුගිය මාස 6 ක කාලය තුළ හෙද නිලධරීන්ගෙන් දහසක පමණ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට අධිකරණයට ඉදිරිපත් වූ ලේඛන පිරික්සීමේදී අනාවරණ වූ බවයි.

මෙම තත්වය රජයේ රෝහල් තුළ අර්බුදයක් මතුවීමට හේතුවක් වන අතර, එමඟින් රාජ්‍ය සෞඛ්‍ය සේවය බිඳ වැටීමක් සිදුවිය හැකි බව පවසමින් සභාපති විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා ෴


ඩී.ආර්. විජේවර්ධන මාවතේ සිදුවීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

(24.10.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ඩී.ආර් විජේවර්ධන මාවතේ සුඛෝපභෝගි මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පිරිසක් රැගෙන ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමක් අතරතුරදී බව හෙළිව තිබෙනවා.

අද (24) දහවල් වාර්තා වුණේ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සුඛෝපභෝගි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් ඇති අතර, වෙඩි තැබීමක් ද සිදුව තිබුණා.

මීට සුළු මොහොතකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සදහන් කළේ මෙය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමක් බවයි.

සුඛෝපභෝගී මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පැමිණ ඇති අතර, ත්‍රීරෝද රථයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

මෙහිදී සැකකරුවන් තුන්දෙනෙකු (3) පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා ෴


‘රසල් ස්මිත්’ ඩුබායිහි දී අත්අඩංගුවට

(24.10.2023 – 12:22 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ‘රසල් ස්මිත්’ නැමැත්තා ඩුබායි හි පිහිටි ඔහුගේ නිවසේදී අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායිහි රසල් කයිමා පොලිසිය ඔහු සන්තකයේ තිබී ඩිරාම් ලක්ෂ 40 ක මුදලක්ද සොයාගෙන ඇති බව සදහන්.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රත්මලාන අංජු’ට එරෙහිව ‘රසල් ස්මිත්’ නැමැත්තා කටයුතු කර තිබෙනවා ෴


රට රැකියා පෙන්නා මුදල් ගැරූ යුද හමුදා මේජරයෙකු අත්අඩංගුවට

(24.10.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට යුද හමුදාවේ මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, ගොරකාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයක්.

සැකකාර මේජර්වරයා යාපනය මුහමලේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරියෙහි නිරතව සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

පානදුර උතුර පොලිසියට පැමිණිලි 04 ක්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද සිදුකළ පැමිණිලි කිහිපයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


රුපියල් කෝටි 10 කට අධික වී තොග අතුරුදන්

(24.10.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලට ගෙන ගබඩා 5 ක තැම්පත් කර තිබූ රුපියල් කෝටි 10 කට අධික වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින තුනක් (3) ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කුරුණැගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී අතුරුදන් වී ඇති බවටයි එම මණ්ඩලයේම පිරිසක් අමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇත්තේ.

නිකවැරටිය, පොල්ගහවෙල සහ මහව ඇතුළු ගබඩා පහක (5) වී තොග මෙලෙස අතුරුදන් වී තිබෙනවා ෴


අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් මිලියන 4500 කට අධික හෙරොයින් හමුවෙයි

(24.10.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර සිට දකුණු දෙසින් කිලෝමීටර 540 ක් පමණ වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 4500 කට අධික බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ.

නාවික හමුදාවේ විජයබාහු නෞකාව මගින් ඊයේ (23) සිදුකළ මෙම වැටලීමේදී එම යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගැනුණා.

අවුරුදු 30 සහ 48 අතර වයස්වල පසුවන ඔවුන් තිස්සමහාරාමය, කුඩාවැල්ල, කෝට්ටේගොඩ සහ මාමඩල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

හෙරොයින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයින් 05 දෙනා අද (24) උදෑසන කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ආ අතර මත්කුඩු තොගය නිරීක්ෂණය සදහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද කොළඹ වරායට පැමිණ සිටියා.

මෙය නාවික හමුදාව මෙම සතියේ ගැඹුරු මුහුදේ සිදු කළ දෙවන (2) මෙහෙයුම වන අතර පෙරේදා (22) අලුයම මාතර දෙවුන්දර මුහුදේදී රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 ක් ද නාවික හමුදා භාරයට ගැණුනා.

ඒ ධීවරයන් පස්දෙනෙකු (5) ද සමගයි.

බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණේ.

2023 වසරේ මේ දක්වා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදී රුපියල් මිලියන 15,160 අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මුහුදු මාර්ගය ඔස්සේ, මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තාවන බැවින් ඒකාබද්ධ වැටලීම් සිදු කිරීම වැදගත් බව මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන් පවසනවා.

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ බැහැදැකීමට ඊයේ (23) පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සදහන් කළා.

අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ මෙරට මුහුදු තීරයේ සහ ජාත්‍යන්තර මුහුදේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණයට සහ වැලැක්වීමට ලබන වසරේ (2024) දී ඇමරිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානා දෙකක් (2) ලැබීමට නියමිත බවයි.

+

+


විදෙස්ගත ශ්‍රමිකයින්ගේ බදු සහනය අවභාවිතා කරමින් ගෙන්වූ විදුලි වාහන 7 ක් රේගු භාරයට

(24.10.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන් වීමට ලබා දී තිබූ අවසරය අවභාවිතා කරමින් මෙරටට ආනයනය කළ විදුලි මෝටර් රථ 7 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව කළ අනාවරණයකට අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් කළ අතර ඒ අනුවයි මෙම විදුලි මෝටර් රථ රේගුභාරයට ගෙන ඇත්තේ.

විදෙස්ගත ශ්‍රමිකයන් දිරිමත් කිරීම සදහා තීරුබදු සහන සහිත විදුලි වාහන ආනයනයට අවසරය ලබා දුන් අතර එය ක්‍රියාත්මක වූ දිනයේ සිට පසුගිය 16 වනදා දක්වා විදුලි මෝටර් රථ 119 ක් මෙරටට ආනයනය කර තිබෙනවා.

ඉන් 75 ක්ම එකම ආයතනයක් මගින් ගෙන්වා ඇති අතර ඉන් රජයට රුපියල් බිලියන 35 ක ආදායමක් අහිමි වී ඇති බවයි මුදල් රාජ්‍ය හා රාජ්‍ය, වැවිලි, ව්‍යවසාය හා ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

මේ අතර මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ බදු මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවා දමන ලෙස මත්පැන් නිෂ්පාදනය කරනු ලබන සමාගම් වෙත අවසන් නිවේදනය නිකුත් කළ බව ද ඔහු ප්‍රකාශ කළා ෴

+++++++

රට විරුවන්ට දුන් කාර් පර්මිට් එකෙනුත් ගහලා

(23.10.2023 – 01:06 +0530 – sinhala.asianmirror.lk)

විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී ඇති අවස්ථාව අවභාවිතා කරමින් එක් ආයතනයක් විසින් මෝටර් රථ 75 ක් ගෙන්වා ඇති බව හෙළි වී තිබෙනවා.

විදේශ රැකියා අමාත්‍යාංශය විසින්, විදේශගත ශ්‍රමිකයන්ට මෙම පහසුකම ලබා දුන්නේ විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින්.

එලෙස රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය මත බිලියන 1.2 කට ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් අය කරනු ලබන බවට ත් අනාවරණය වී ඇති බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *