ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා

ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා


ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා

(18.10.2023 – dinamina.lk)

= ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට විදුහල්පති හිමිනම දැරියගේ කනට ගහලා – කනේ කැක්කුමට දැරිය කෑගලු රෝහලට ඇතුළත් කරයි =

ලෝක ළමා දිනයට ඇඳීමට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ ටීෂර්ටයක් ඇඳගෙන ආවේ මන්දැයි අසමින් කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයකු කනට පහර දුන්නා යැයි පවසා ශිෂ්‍යාවක් පෙරේදා (16) කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී තිබේ.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල දීවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින 15 හැවිරිදි ශිෂ්‍යාවකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාව මවුපියන්, වැඩිමල් සහෝදරයා හා බාල සහෝදරයා සමඟ නිවෙසේ පදිංචිව සිටියි. මෙම ශිෂ්‍යාව ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් ඇගේ බාල සහෝදරයා ද එම පාසලේම ඉගෙනුම ලබන බවත් පොලිසිය පැවසීය.

ලෝක ළමා දිනය පැවති ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා විද්‍යාලයේ ළමා දින සැමරුම් උත්සවයක් විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධාන කර තිබුණු අතර, ඊට පෙර දිනක ගැහැනු දරුවන්ට පාට ගවුම් ඇඳගෙන එන ලෙස ආචාර්ය මණ්ඩලය දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

පහර කෑමට ලක්ව ඇති ශිෂ්‍යාවට අලුත ගෙනා ගවුමක් නොමැති අවස්ථාවේදී ඇය ඩෙනිම් කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇඳගෙන ඔක්තෝබර් 01 වැනිදා පෙරවරුවේ පාසලට ගොස් තිබේ. පෙරවරු අටට පමණ විදුහල්පති කාර්යාලය අසලඅදී උප ගුරුවරයකු ශිෂ්‍යාවන් පිරිසක් මැද ගමන් කරමින් සිටි ඩෙනිම් ඇඳ සිටි ශිෂ්‍යාව දැක කියා ඇත්තේ ‘අද ගවුමක් ඇඳගෙන එන්න කියලා තියෙද්දී මොකටද ඩෙනිමක් ඇඳගෙන ආවේ, ගැහැනු දරුවෙක් වගේ නෙමේ මිනිහෙක් වගේ’ කියාය. පසුව විදුහල්පති ස්වාමීන් වහන්සේ ද පැමිණ ශිෂ්‍යාවට කියා ඇත්තේ උප ගුරුවරයා කියූ වචන ටිකමය.

එම අවස්ථාවේදී ශිෂ්‍යාව කියා ඇත්තේ ‘ඇඳගෙන එන්න තරම් අලුත් ගවුමක් නොතිබුණු’ බවත් ‘ඩෙනිම් කලිසම ඇඳගෙන ආවේ කරන්න දෙයක් නොමැති තැන’ බවත්ය. එදින පැවති ළමා දින උත්සවයට ශිෂ්‍යාව සහභාගි වී නිවෙසට පැමිණ එදින සිට ශිෂ්‍යාවන් ඉදිරියේදී තමා අපහසුතාවට පත් වූවා යැයි පවසා පාසල් යෑම නතර කර නිවෙසට වී සිට තිබේ. දැරිය පාසල් නොයා නිවෙසේ සිටින බවට අසල්වැසියකු දැක මවට කියා ඇත්තේ කෑගල්ල කලාප කාර්යාලයට ගොස් දියණිය පාසල් යෑමට අකමැත්ත ප්‍රකාශ කරන බව දන්වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

පසුව ශිෂ්‍යාවගේ මව ඉකුත් 09 වැනිදා කෑගල්ල කලාප කාර්යාලයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුම්වත් කර තිබේ. එහිදී මවට බලධාරින් කියා ඇත්තේ ‘හෙට දියණියට පාසලට යන්න’ කියන ලෙසත් පාසලේ විදුහල්පති ස්වාමීන් වහන්සේට කතා කොට දන්වන බවත් පවසා මව කලාප කාර්යාලයෙන් නිවෙස බලා පිටත් කර තිබේ.

10 වැනිදා ශිෂ්‍යාව පාසලට ගිය අවස්ථාවේ දී විදුහල්පති ස්වාමීන් වහන්සේ හා උප ගුරුවරයකු ශිෂ්‍යාවගේ කනට පහර දීමක් සිදු කර තිබේ. පසුව ශිෂ්‍යාව නිවෙසට ගොස් පහර දීම සම්බන්ධයෙන් මවට දන්වා තිබේ. පසුව මව දියණියට ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර කන කැක්කුම යැයි පවසා ශිෂ්‍යාව පෙරේදා 16 වැනිදා කෑගල්ල මහ රෝහලට පැමිණ ඇතුළත්ව අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවසීය ෴


මදුරන්කුලියේ ‘ඒටීඑම්’ කොල්ලය : කොල්ලකරුවෝ සල්ලි ලෝඩ් කරන සමාගමේම දෙන්නෙක් – කොල්ලකරුවෝ අත්අඩංගුවට – සොරාගත් රුපියල්කෝටියෙන් ලක්ෂ 93 ක්ම සොයාගනී

(18.10.2023 – dinamina.lk)

පෞද්ගලික බැංකුවකට අයත් මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයේ පිහිටි ස්වංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයකින් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් සොරාගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයත් මදුරන්කුලිය ‍පොලිසියේ නිලධාරීන් ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු (3) සොරාගත් මුදලින් අනූ දෙලක්ෂ හැත්තෑ දහසක් (92,70,000) ද සමඟ ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) අතර බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන ආරක්ෂක සමාගමක සේවකයන් දෙදෙනකු (2) ද සිටින බවත්, මේ මුදල් සොරකම සැලසුම් කළ මහ මොළකරු ද ඒ අය අතර සිටින බවත් පොලිසිය සඳහන් කළේය. ටෙලර් යන්ත්‍ර විවෘත කිරීමට යොදා ගන්නා යතුරු පවා ඔවුන් මේ සොරකමට රැගෙන විත් ඇත්තේ ඔවුන් සේවය කරන ආයතනයෙන් සොරාගෙන බවත් අදාළ ආයතනය මෙරට ප්‍රසිද්ධ ආයතනයක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ මුදල් සොරකමට පැමිණ ඇත්තේ දෙදෙ‍නකු (2) පමණක් බව පවසන පොලිසිය මහ මොළකරු පැමිණ නැති බවත් ඔහු මෙම සොරකම සැලසුම් කර මෙහෙයවා ඇති බවත් කියයි. එක් (1) සේවකයකු පමණක්, මේ සොරකමට හවුල් කරගත් වාහන නඩත්තු කිරීමේ ආයතනයක සේවකයකු වන ඔවුන්ගේ මිතුරකු සමඟ පැමිණ මේ සොරකම සිදු කර ඇති බවද එම නිලධාරියා කීය.

මේ සොරකම මෙහෙයවූ ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන ආරක්ෂක අංශයේ සේවයේ නිරත මහ මොළකරු අනුරාධපුර පදිංචිකරුවකු බවත් අනෙත් පුද්ගලයා ගල්ගමුව ඇහැටුවැව පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි. වාහන නඩත්තු කිරීමේ අංශයේ සේවයේ නිරතව සිටින පුද්ගලයා කටුස්තොට පදිංචිකරුවෙකි. ඒ පුද්ගලයා අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ වාහන නඩත්තු කිරීමේ ආයතනයක සේවයේ නිරතව සිටින බවත් ඒ හරහා ඔහු මේ සැකකරුවන් දෙදෙනා (2) දැන හඳුනාගෙන සිට ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ගල්ගමුවේ පදිංචි සැකකරුත්, වාහන නඩත්තු සේවකයාත් ‘මඟී බස් රථයකින්’ පැමිණ මදුරන්කුලියේ පිහිටි ටෙලර් යන්ත්‍රයේ මුදල් සොරාගනු ලබන්නේ පසුගිය 07 දා රාත්‍රියේදීය. ටෙලර් යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් සකස් කිරීමට පැමිණි සේවකයන් ලෙස පෙනී සිටිමින් ඔවුන් දෙදෙනා (2) ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියේ පිටුපස දොර විවෘත කර එහි අගුල් ඔවුන් රැගෙන පැමිණි යතුරින් ඇර, රහස් සංකේත අංක ද නිසි ලෙස භාවිත කරමින් මේ සොරකම සිදු කර තිබිණි. මෙසේ සොරාගත් මුදල රු. ලක්ෂ 105කට ආසන්න බව ගණනය කර තිබිණි.

මේ සොරකම සිදුව විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් තුළ මදුරන්කුලිය පොලිසියේ නිලධාරීන් එහි පැමිණියත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා (2) බස් රථයකම නැගී පලාගොස් තිබිණි. ඒ බව අනාවරණය වූයේ විමර්ශනවලිනි. මූලික විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ආරම්භ කර තිබු අතර, ඉන් පසු මෙහි ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය යටතට පත් කර තිබිණි. ඒ අනුව අදාල මංකොල්ලය සිදු කර දින 10 ක් ගත වන්නට මත්තෙන් කොල්ලය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) සමඟ ඔවුන්ට සහාය දැක්වූ සැකකරුවකු (1) ඇතුළු තිදෙනකු (3) මෙසේ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඩබ්.ඒ.ආර්. චන්ද්‍රසිරි ලාල් මහතා ඇතුළු නිලධාරීන් මේ කොල්ලය පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ මදුරන්කුලිය ස්වයංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයේ සොරකම සිදුවූ ස්ථානයේ සිට මඟ දෙපස සියලු සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කරමින් අපරාධකරුවන් හඳුනාගැනීමට කටයුතු කර තිබිණි. ඒ අනුව කොල්ලය මෙහෙයවූ අදාළ පෞද්ගලික ආරක්ෂක ආයතනයේ සේවකයන් දෙදෙනා (2) හා ඔවුන්ගේ මිතුරා (1) කිසිවකුට සැක නොසිතන ලෙස මඟී ප්‍රවාහන බස් රථ මඟින් අදාළ ස්ථානයට පැමිණ, කොල්ලය ඉතා සූක්ෂ්මව කර කිසිවකුට සැක නොසිතන අයුරින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේද බසයකින් බවද පරීක්ෂණවලදී සනාථව තිබිණි.

සැකකරුවන් සමඟ ඔවුන් කොල්ලකෑ මුදලින් ඉතිරිව තිබී ඇත්තේ රුපියල් අනූ දෙලක්ෂ හැත්තෑ හත් දහසක (92,77,000) මුදලක් පමණි‍. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුදල් තොගය සමඟ සොරකමට ඔවුන් රැගෙන පැමිණි උපකරණ ද පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඉදිරි පරීක්ෂණ සඳහා මදුරන්කුලිය පොලිස් ස්ථානයේ භාරයට පත් කර තිබිණි.

අදාළ කොල්ලයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ. රූපසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, ආණමඩුව සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත කුමාර මහතාගේ ක්‍රියාත්මක වීමෙන්, පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඩබ්.ආර්.ඒ. චන්ද්‍රසිරි ලාල් මහතා හා මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ මහතා සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන (67611) නිශාන්ත, (83736) ජයසුන්දර, (87153) සමිර, (29146) සමරනායක, (35676) දිසානායක, පොලිස් කොස්තාපල් රියැදුරු (80271) බාලසූරිය යන නිලධාරීහු එක්ව සිටියහ.


උසාවි ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය කූට ලේඛන සකස් කිරීමේ සිද්ධිය – රක්ෂණ ආයතනයක ගිණුම් ප්‍රධානියෙක් මාට්ටු

(18.10.2023 – dinamina.lk)

විත්තිකරුවකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය විසින් කූට ලේඛනයක් සකස් කිරීමේ සිද්ධියට අදාළ එම විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂණ ආයතනයක ගිණුම් ප්‍රධානියකු ලෙස සේවය කළ ‘ස්වර්ණ ගමගේ අරුණ කීර්ති’ (54) නමැති අයෙකි.
අස්ථානගත වූ නඩු ගොනුවට අයත් බවට සැක, ඉරා දමා තිබූ කඩදාසි කොටස් කිහිපයක්ද විත්තිකරුගේ නිවෙසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.

ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය විත්තිකරු සමඟ අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් එම පුද්ගලයාට එල්ලවූ චෝදනා 8 න් 7 කට වරදකරු කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය පෙබරවාරි මස 15 වැනිදා සිරදඬුවම් පමුණුවා තිබුණු අතර එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමු කරමින් අදාළ විත්තිකරු ඇප ලබාගෙන තිබිණි.

මුදල් වංචා කිරීමකට අදාළව වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර එම සිද්ධියට වරදකරු කර දඬුවම් පමුණුවා තිබූ විත්තිකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කූට ලේඛනයක් සකස් කර ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස යොමු කිරීම සහ එම විත්තිකරුට අදාළ නඩු ගොනුව අස්ථානගත වීම සම්බන්ධයෙන් සැක මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා (13) අත්අඩංගුවට ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය එළඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත්වරයා පසුගියදා (14) නියෝග කළේය.

විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරමින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම සැකකාරිය විසින් සිදු කර ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ සලකා බලා ඇය ලබන 25 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේය ෴


මාපලගම ඇඟලුම් සේවිකාවකගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 17 ක් ‘හැක්’ කරලා – එම මුදල් තවත් බැංකු කීපයක ගිණුම්වලට දාගෙන

(18.10.2023 – dinamina.lk)

කොග්ගල රාජ්‍ය බැංකුවක ගිණුම් පවත්වාගෙන යන ගිණුම් හිමියන්ගේ තොරතුරු ඇතුළත් පරිගණක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ගිණුමකින් රුපියල් දාහත් ලක්ෂයකට (17,00,000) අධික මුදලක් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී එම මුදල් මඩකලපුව, අක්කරපත්තුව සහ කොළඹ ප්‍ර‍දේශවල පුද්ගලික බැංකු කිහිපයක ගිණුම් හිමියන් කිහිප දෙනකුගේ ගිණුම්වල තැන්පත් වී ඇතැයි අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර එම ගිණුම් පිළිබඳ වාර්තා සහ කොග්ගල බැංකුවේ ගිණුම් වාර්තා ගැනීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පවසයි.

මාපලගම පදිංචි ඇඟලුම් කම්හල් සේවිකාවක විසින් පවත්වාගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුමෙන් මෙම මුදල හැක් කර තිබේ.

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇය වැටුපෙන් එකතු කරගත් රුපියල් ලක්ෂ 13 කින් කොග්ගල රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යමින් සිටියදී ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඇයට රුපියල් ලක්ෂ 16 ක වන්දියක් ද ලැබී තිබේ.

එම මුදල ද සමඟ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ තිහකට (30,00,000) ආසන්න මුදලින් ඇය පසුගිය වසරේ ජුලි මාස‍යේ රුපියල් ලක්ෂ 15 ක ස්ථාවර ගිණුමක් ආරම්භ කර ඇත. මෙම වසරේ ජුලි මස ස්ථාවර ගිණුමට කල් පිරීමෙන් පසු ඇය රුපියල් ලක්ෂ දහයක් (10) ලබාගෙන ඉතිරි ලක්ෂ 20 කට ආසන්න මුදල ගිණුමේ තිබියදී පසුගියදා ඇය ගිණුමේ ඇති මුදලින් යළිත් රුපියල් ලක්ෂ 15 ක ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට බැංකුවට ගොස් ඉල්ලුම්පත්‍ර පුරවා දුන් පසු බැංකුව පවසා ඇත්තේ ගිණුමේ ඇත්තේ රුපියල් විසි එක්දහසක් (21,000) පමණක් බවය.

එවිට ඇය බැංකුවේ කළමනාකාරිණිය හමු වී මේ ගැන පැවසු විට කළමනාකාරිණිය පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 17 කට අධික මුදල ‘හැක්’ කර ඇති බවය. පසුව ඇය මේ පිළිබඳ ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා, උප පොලිස් පරීක්ෂකවරුන් වන උදය කාන්ත, ප්‍රේමකුමාර කාන්තා සැරයන් ජයවර්ධන (6058) යන මහත්ම මහත්මීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති ෴


ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිය බව තහවුරු කෙරේ

(17.10.2023 – dinamina.lk)

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අනුලා ජයතිලක නමැති එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇත.

ඇයගේ දේහය දින දෙකක් (2) තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර ගැනීමට නියමිතය.

පසුගිය සතියේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු (2) අතුරුදන් වී ඇතැයි වාර්තා පළ විය.

අද (17) උදෑසන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ, ඊශ්‍රායල හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ මිලියනයක් පමණ ගාසා වැසියන් ඉවත් කරන ලෙස නියෝග කිරීමෙන් පසුව, උතුරු ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු පලස්තීන ප්‍රදේශයේ දකුණු ප්‍රදේශය දෙසට ගමන් කරන බවයි ෴


කොත්තමල්ලි ලෙස ආනයනය කළ බීඩි කොළ කන්ටේනර් දෙකක් (2) රේගු භාරයට

(17.10.2023 – dinamina.lk)

කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබිය දී රේගු භාරයට ගැණුනු බීඩි කොළ බහාලුම් දෙකක් (2) වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ සිට ආනයනය කෙරුණු මෙම බහාලුම් දෙක තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11.460 ක් තිබූ බවයි.

රුපියල් මිලියන 70 ක බදු මුදලක් ඒ වෙනුවෙන් අය විය යුතු වුව ද ඒවා කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබීම හේතුවෙන් අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ තුනක් (3,00,000) පමණ බව අමාත්‍යවරයා පැවසීය. රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේ සිට ප්‍රකට වෘත්තිකයකු එය නිදහස් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය. එබැවින් ඒ පිළිබඳ විමර්ශන අල්ලස් කොමිසම වෙත පැවරීමට කටයුතු කරන බව සියඹලාපිටිය මහතා අවධාරණය කළේ ය.

රටේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා සුවිශේෂී කැපවීමකින් කටයුතු කරන රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව හැකි උපරිම අයුරින් සහතික කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේය. එසේ ම රේගු දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන වෙන්දේසි සෑම පුද්ගලයකුට ම විවෘත කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ලබන ජනවාරි මාසයේ සිට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ අදාළ වෙන්දේසිවලට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට හැකි ක්‍රමවේදය සකස් වෙමින් පවතින බවයි ෴


යාපනේ ජනපති මන්දිරය SLIITට බදු දෙයි – ඉන්දීය සිසුන්ටත් ඇතුළු වීමේ අවස්ථාව

(17.10.2023 – dinamina.lk)

යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවැති ජනාධිපති මන්දිරය තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යලයක් ඉදිකිරීමට වසර පනහක (50) කාලයක් සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දෙයි.

මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000 කි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී ඊයේ (16) සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමේ තීරණයට එළඹ ඇත. යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. ඒ 2010 – 2015 වසර පහ (5) ඇතුළතදීය. මෙම ජනාධිපති මන්දිරය ඉදිකිරීමේදී දමිළ ඩයස් පෝරාවෙන් දැඩි විරෝධතා එල්ලවිය. ඉකුත් සමයේදී මෙහි ඉදිකිරීම් කටයුතු නතර වී තිබුණි.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 30 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12 ක මෙම ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ. ඉතිරි ඉඩම් ප්‍රමාණය ප්‍රදේශය ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12 ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි. ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17 ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කර තිබේ.

මෙම ජනාධිපති මන්දිරයේ කටයුතු කඩිනමින් අවසන්කොට අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යලයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බලාපොරොත්තු වේ. මෙම තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය Northern Uni. IT විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වෙනු ඇත.

මෙහි සිසු සිසුවියන් 1500 ට පමණ වාර්ෂිකව තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉදිකිරීමෙන් පසුව තොරතුරු තාක්ෂණය හැදෑරීමට උතුරේ දුවා දරුවන්ට කොළඹට පැමිණීමටද සිදු නොවනු ඇත.

ඒ අනුව තිස් වසරක යුද්ධයෙන් බැට කෑ උතුරු පළාතේ දුවා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කොට ඔවුන් අනාගත නවීන ලෝකයට ගැළපෙන පරිදි දැනුමින් පරිපූර්ණ කිරීම මෙමඟින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වාසය පළකරයි ෴


හක්කපටස් බෝලයක් පිපිරීමෙන් සිසුහු තිදෙනෙක් (3) තුවාල ලබති

(17.10.2023 – lankadeepa.lk)

ගම්පොල මාවතුර කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු (3) ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

තිවාල ලැබූ සිසුන් දෙදෙනකු (2) ප්‍රතිකාර ලබාදී නිවසට යවා ඇති අතර එක් (1) සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙසේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම පාසලේ හය (6) වසරේ ඉගෙනුම ලබන සිසුවකු එසේ තුවාල ලබා ඇත.

පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා (3) එළියට පැමිණි අවස්ථාවේ බෝලයක් වැනි යමක් දැක එක් සිසුවකු එයට පා පහරක් එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පවසයි.

පිපිරීමෙන් සිදු වූ අධික කම්පනය නිසා මෙම සිසුවා ගේ සපත්තුවක් කැඩීගොස් කකුලට ද හානි සිදුවී තිබේ.


ළමුන් අතර ඇස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

(18.10.2023 – 08:38 +0530 – sinhala.adaderana.lk)

පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙර්රෙරා මහතා පවසයි.

ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝගය වැලඳුන දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවය.

“මේ දවස්වල පාසල් දරුවන් අතර ඇස් රෝගයක් ව්‍යාප්ත වෙනවා. මෙහිදි රෝග ලක්ෂණ විදියට ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය වගේ රෝග ලක්ෂණත් අපි දකිනවා. මේක වෛරස් උණ රෝගයක් විදියට තමා අපි දකින්නේ. මොකද ඉතාම සීඝ්‍රයෙන් මේක බෝවෙන්න පුළුවන්. කවුරු හරි ඇස් රෝගය තියෙන කෙනෙක් අල්ලලා කොහේ හරි තැනක් ඇල්ලුවොත් ඒ තැන නිරෝගි පුද්ගලයෙක් ඇල්ලුවොත් ඊට පස්සේ තමන්ගේ ඇස් ඇල්ලුවොත් තමා මේක බෝවෙන්නේ. ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරන නිසා ඒ අය අතර බෝවීමේ ඉඩකඩ වැඩියි. මේ රෝග ලක්ෂණත් එක්ක සමහර වෙලාවට ඉහළ ස්වසන මාර්ගයේ ඒ කියන්නේ කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් දරුවාව පාසල් යවන්න එපා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට, මොන්ටිසෝරි යවන්නත් එපා. අනෙක් දරුවන්ට බෝවෙන්න පුළුවන්.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *