අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි

අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි


අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි

(17.10.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සති 3 ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට අද (17) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පැයක් ඇතුළත ජනාධිපතිවරයා විසින් යළිත් වරක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නැවතත් සති තුනක (3) සේවා දිගුවක් ලබා දීමට පියවර ගෙන
ඇති බවයි වාර්තාවන්නේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් මාර්තු 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඒ මහතාට මාස 03 ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ අතර එම සේවා දිගුව අවසන් වූයේ ඉකුත් ජුනි 26 වනදායි.

යළිත් වතාවක් තවත් මාස 03 ක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දුන්නේ එම මාස 3 ක කාලය අවසානයේ නව පොලිස්පතිවරයෙකු පත් කළ යුතුය යන ස්ථාවරයේ සිටයි.

කෙසේ වෙතත් පසුගිය 13 වැනිදා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අදාළ සේවා දිගුව අවසන් වීමත් සමග ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේවය යළිත් සති 3 කට දීර්ඝ කරනු ලැබුවා.

එම පත්කිරීම සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (17) පස්වරුවේ රැස් වූ අතර එහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ලබා දුන් සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම තීරණය ගෙන පැයක් ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (17) සිට තවත් සති 3 ක කාලයක් සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත නැවතත් සේවා දිගුවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

චීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ බීජිං නුවර සිට පොලිස්පතිවරයාට යළි සති තුනක (3) සේවා දිගුවක් ලබා දීමට අදාළ නියෝග ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

+


STEAM අධ්‍යාපන ක‍්‍රමය ලංකාවට.. ටියුෂන් අවශ්‍යතාවය නැති වෙනවා..

(16.10.2023 – 13:20 +0530 – lankacnews.com)

පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බවත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව ද මොට වී ඇති බවත් මේ ඛේදජනක තත්වයෙන් මිදීම සඳහා පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහ වහා ගමන් කළ යුතු ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විද්‍යාව, තාක්ෂණය, ඉංජේනේරු විෂය, ගණිතය හා සෞන්දර්යාත්මක විෂය යන මනා විෂය සංකලනයකින් යුක්ත ව දරුවන්ගේ නිපුණතා වර්ධක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ව ලොව දියුණු රටවල භාවිත කරන නව STEAM අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

දිවයින පුරා පිහිටි සියලු පාසල් නියෝජනය වන පරිදි විවිධ ජාතීන්ට, ආගම්වලට අයත් උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරා හදාරන සිසුන් පන්සිය දෙනකු (500) සහභාගී කරගනිමින් පැවති මෙම වැඩමුළුවේ දී සිසුන් විවිධ තාක්ෂණික හා අධ්‍යයන ආයතනවලට යොමු කර සෛද්ධාන්තික විෂය දැනුම ප්‍රායෝගිකත්වය හා මුසු කර ලබා දීමට පියවර ගත් බවත් එහි දී භාෂා, ජාති වැනි කිසි දු වාර්ගික බාහිර වෙනසකින් තොර ව එක ම අධ්‍යයන අරමුණක සිසුන් සාර්ථක ව රැඳවීම ප්‍රධාන අපේක්ෂාවක් වූ බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මෙම STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මගින් ඉදිරියේ දී මෙරට පාසල්වල ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ පූර්ව සමීක්ෂණයක් සිදු කෙරෙනු බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමග ම ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් වන බවත් ඒ තත්වයට මුහුණ දීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව මෙරට අනාගත පරපුරට ලබා දීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදයකට අධ්‍යාපන පද්ධතිය අනුගත කරවීමේ පෙරපුහුණුවක් වශයෙන් මෙම වැඩමුළුව හැඳින්විය හැකි බවත් සඳහන් කළේ ය. මෙය කිසිසේත් උපකාරක පන්ති මගින් සපුරාගත හැකි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක් නොවන බවත් එය බහුවිධ කුසලතා පූර්ණ නිපුණතා පාදක ක්‍රමවේදයක් බවත් හෙතෙම පැවසී ය.

ඔක්තෝබර් 12, 13 සහ 14 යන තෙදින පුරා පැවති මෙම වැඩමුළුවේ දී සිසුන්ට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා බයෝ තාක්ෂණ ආයතනය, එන්එස්බීඑම් හරිත සරසවිය, කොළඹ වරාය නගරය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය වැනි ආයතන පරිශ්‍රයන්හි සහභාගීත්ව නිරීක්ෂණ අද්දැකීම් ප්‍රායෝගික ව ලැබීමේ අවස්ථා උදා වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම හා ජාතික අධ්‍යාපන ආයතනය එක් ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ගුරු භවතුන් 50 දෙනකු ද සහභාගි වී ඇති අතර අනුග්‍රහක ආයතනවල මූල්‍ය හා අනෙකුත් අනුග්‍රහයන් ලැබී ඇති බැවින් රජයේ වියදමකින් තොර ව වැඩසටහන සාර්ථක ව පවත්වා අවසන් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

උසස් අධ්‍යාපන ආයතන ඇතුළු අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම පැවතීම මේ වැඩමුළුව සාර්ථක ව පවත්වා අවසන් කිරීමට මනා පිටු බලයක් වූ බව ද පැවසූ අමාත්‍යවරයා දිවයිනේ නන් දෙසින් පැමිණ වැඩමුළුවට සහභාගි වූ දරුවන් සිය නිවෙස් කරා ප්‍රවේශමෙන් යන තෙක් ම අධීක්ෂණ මෙහෙයවීම් කටයුතු සිදු කෙරෙන බව ද වැඩිදුරටත් පැවසීය ෴


මීගහපිටියේ බිහිසුණු අනතුරක් – දැව පැටවූ ලොරිය සමග පාලම කඩාවැටේ

(17.10.2023 – facebook.com/accident1stofficial/)

මීගහපිටිය කෝට්ටගල හරහා ලියන්ගොල්ල හන්දිය වෙත ගමන්ගන්නා ප්‍රධාන මාර්ගයේ අල්පිටිය සහ කෝට්ටගල ග්‍රාම නිළධාරි වසම් මායිමේ ඇති පැරණි පාළමක් මතින් දැව පටවාගෙන පැමිණි ලොරියක් ගමන් කිරීමත් සමග බර දරාගැනිමට අපොහොසත්ව ලොරියත් සමගම කඩාවැටීමෙන් අද (17) දහවල් සිදුවූ අනතුරකින් එම මාර්ගයේ සියලුම ගමනා ගමන කටයුතු අවහිරවුනා.

විශාල පිරිසක් ගමන් ගමන්නා ප්‍රධාන මාර්ගයක් වන මෙම මාර්ගයේ මගි ප්‍රවාහනය කරන එකම බස් රථයද ගමන් කිරීමට නොහැකි වීමෙන් පාසැල් ළමයින් ඇතුළු පවුල් 1000 පමණ පිරිසක් මේ වන විට අසරණව ඇති බව වාර්තා වනවා.

+


සීතා ඇතින්නගේ ශරීරයෙන් යකඩ බෝල සහ ඊයම් කැබලි හමු වෙයි

(17.10.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්නට සිදු කරන ලද දෙවන (2) ශල්‍යකර්මයේදී යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමු වී තිබෙනවා.

මෙම සත්ත්වයාට අද (17) පැය 04 ක කාලයක් සිදු කරන ලද ශල්‍යකර්මයකදී මේ බව අනාවරණය වූ බවයි සඳහන් වන්නේ.

+


පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් පැමිණිලි කරන්න අංකයක්

(17.10.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ‘118’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මහජනතාවට පැමිණිලි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මෙසේ ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවයි ෴


රුපියල් කෝටි 30 ක් පමණ වටිනා වාලම්පුරියක් හමු වෙයි

(17.10.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් පමණ වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ හිමිනමක් මෙම මූර්ති කැටයම් ශිල්පියා අතරමැදියකු ලෙස යොදාගෙන වාලම්පුරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එම වාලම්පුරියද සමග මාලඹේ පොලිස් ස්ථානයට බාර දී තිබෙනවා ෴


ලෙබනනයේ ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(17.10.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙස තානාපති කාර්යාලය දැනුම්දී ඇත.

අදාළ තොරතුරු,

+9670386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
+9671960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය : slemb.beirut@mfa.gov.lk

වෙත ලබාදිය හැකිය.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවන වරටත් හොරු කඩයි

(18.10.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවැනි වරටත් ඊයේ (16) සොරුන් ඇතුළු වී තිබෙනවා.

පසුගිය 06 වන දින මෙම නඩු භාණ්ඩ ගබඩාව සොරුන් විසින් කඩා ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා පොලිසියට පැමිණිලි කර තිබුණා.

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාවේ පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි, ආයුධ ඇතුලු පැරණී නඩුවලට අදාළ නඩු භාණ්ඩ තිබුණු බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් ඉතා පැරණී නඩු ලේඛණ සහිත මෙම ගබඩාවේ ඇති නඩු භාණ්ඩ සහ පොත් පත් සම්බන්ධයෙන් නිශ්චිතව ලේඛණ ගත කර නොමැති බව ද අධිකරණ නිලධාරීන් පවසා තිබෙනවා ෴


අතුරුදන් වු රුපියල් ලක්ෂ 30 ක මුදල් හා දේපොළ අයිතිකරු සොයා භාරදීලා

(18.10.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලේ සිට කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන්ගත් ඉන්දුනීසියානු ජාතික කාන්තාවක විසින් අමතක වීමෙන් දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ 30 ක පමණ මුදල් හා දේපොළ සමඟ අත්බෑගයක් දුම්රිය ආරක්ෂක අංශයට හමු වී ඇති අතර එම නිලධාරීන් එම අත්බෑගය ඇයට යළි ලබා දීමට පෙරේදා (16) පියවර ගෙන තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන (B.O.I) ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණ ඇති ‘නූරුල් අරෆා’ නමැති මෙම කාන්තාව මිනුවන්ගොඩ කොටුගොඩ ඕපාත ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටි ඇති අතර ඇගේ විදේශ ගමන් බලපත්‍රය හා වීසා ඇතුළු ලියකියවිලි අස්ථානගතව ඇතැයි ඇය සංචාරක පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා.

ඇය ත්‍රිකුණාමලයේ සිට දුම්රියෙන් පැමිණෙමින් සිටියදී නින්ද ගොස් සිට ඇති අතර කුරුණෑගල මීරිගම අතරදී තම අත්බෑගය නැති වී ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ.

මේ අතර මෙම අත්බෑගය මාලිගාවත්ත දුම්රිය අංගණයේදී එම දුම්රියේ තිබී දුම්රිය ආරක්ෂක නිලධාරීන් හට හමු වී තිබෙනවා.

එහි මෙම ගුවන් බලපත්‍රය වීසා හා මුදල් රුපියල් විසි තුන්දාහක් හා ලක්ෂ ගණනාවක තැන්පතු ඇති බැංකු කාඩ්පත් නවීන ජංගම දුරකතන හා උපාංග ඇතුළු වටිනා දේපොළ රැසක් තිබී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයට එම බෑගය නැවත් භාරදී ඇති බව වාර්තා වෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *