කොත්මලේ පොළොවෙන් අසාමාන්‍ය ශබ්දයක්; ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක්

කොත්මලේ පොළොවෙන් අසාමාන්‍ය ශබ්දයක්; ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක්


කොත්මලේ පොළොවෙන් අසාමාන්‍ය ශබ්දයක්; ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක්

(15.10.2023 – 16:34 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්තරයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දයක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රී කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අද (15) සිට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී පැවසුවා.

මෙම ගම්මානයේ ජීවත්වන ගම්වැසියන් විශාල පිරිසක් විසින් රාත්‍රියේදී පොළොව අභ්‍යන්තරයෙන් විවිධ ශබ්ද ඇසෙන බවට සිදුකළ දැනුම්දීමක් මතයි මෙම පියවර ගෙන ඇත්තේ.

කෙසේ නමුත් නුවරඑළිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා මේ පිළිබඳව පුර්ණ සොයා බැලීමක් හෙට (16) දින සිදු කරනු ලබන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා හිරු සමඟින් පැවසුවේ.

ඔහු සඳහන් කලේ මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන බවත්, හෙට (16) දිනයේදී සිදුකරනු ලබන පරීක්ෂාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි ෴


ඉදිරි දිනයන්හි කාළගුණය පිළිබඳ විශේෂ නිවේදනයක්

(15.10.2023 – 21:25 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයින පුරා පැතිර යන අධික වර්ෂාපතනය හේතුවෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය ඔක්තෝම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 20 දක්වා ක්‍රියාත්මක වන බවයි සනදහන් වන්නේ.

ඒ අනුව දිවයිනේ නිරිත දිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතිනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 කට වැඩි වැසි තත්ත්වයක් ඇති විය හැකි බවට එහි සඳහන් ෴


බණ්ඩාරවෙල පාසල් ගැන කලාපෙන් විශේෂ තීරණයක්

(15.10.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන් වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් පවසනවා.

එමෙන්ම ආපදා තත්වයක් ගැන මුලිකව දර්ශනය වන්නේ නම් අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලයද අදාල පාසලේ විදුහල්පතිවරුන්ට පවරා තිබෙන බවයි ඔහු පැවසුවේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ පාසල් දරුවන් පැමිණීමේදී ඔවුන් ගමන් ගන්නා මාර්ග අවදානම් තත්ත්වයේ පවතී නම් එම දරුවන් වෙනත් පාසල් වෙත තාවකාලිකව යොමු වීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු බවද විදුහල්පතිවරුන්ට දැන්වූ බවයි.

මෙම ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාව සහ නාය යෑමේ අනතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා ෴


අඩි 100 ක පමණ පස් බැම්මක් බණ්ඩාරවෙල ගරාජයකට කඩා වැටේ

(15.10.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

අද (15) දිනයේ බණ්ඩාරවෙල ප්‍රදේශයට පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ තිබූ ගරාජයක් මතට පස් බැම්මක් කඩා වැටී තිබෙනවා.

අප ප්‍රාදේශිය වාර්තාකරු පැවසුවේ අඩි 100 ක් පමණ උස මෙම පස් බැම්ම, අසල තිබූ ගරාජය මතට කඩා වැටීමෙන් අනතුරුව එහි නවතා තිබූ ලොරි රථ තුනකට (3) ද අලාභහානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.

එමෙන්ම බගවන්තලාව ප්‍රදේශයට ඊයේ (14) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙලක් මතටද අද (15) උදෑසන විශාල පස් කන්දක් කඩා වැටිමෙන් වතු නිවාස පහකට දැඩි අලාභ හානි සිදු වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

එම පස් කන්ද කඩා වැටීමෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවත්, බගවන්තලාව ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වන නිසා පස් කන්ද කඩා වැටුණු නිවාස පහේ (5) පදිංචි පවුල් පහකට (5) අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ එම වතුයායේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

+


දිස්ත්‍රික්ක 10 කට තවදුරටත් නාය යෑමේ අවදානම්

(15.10.2023 – 17:23 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසනවා.

ඒ අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 74 ක් සඳහා එම අනුතරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර දුම්රිය මාර්ගයට ගලක් පෙරලීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා ෴


බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වෙයි

(15.10.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවී තිබෙනවා.

මෙම තත්වයෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර අඩි හතරක (4) පමණ මාර්ගය ජලය පිරී ගොස් තිබුණා.

ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

+++++++

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇන හිටී

(15.10.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

වටවල සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට අඩාල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය පැය කිහිපයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ෴

++++++++

පොල්ගොල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු හතර (4) බැගින් විවෘත කෙරේ

(15.10.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි තත්වයත් සමඟ පොල්ගොල්ල ජලාශයේ මහවැලි වේල්ලේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.

තත්පරයට ඝන අඩි 7,000 කින් එම ජලය වික්ටෝරියා ජලාශයට මුදාහරින බවයි පොල්ගොල්ල මහවැලි වේල්ලේ ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේ.

ඉදිරියේදි එම ජලාශ වේල්ලේ තවත් අමතර හදිසි වාන් දොරටු විවෘත කිරීමට ඉඩ පවතින බැවින් පහළ කොටසේ සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසට මහවැලි අධිකාරිය ඉල්ලීමක් කරනවා.

මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් (4) අඩි තුන (3) බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව එහි දිය නෑම ඇතුලු දෛනික කටයුතු සිදුකරන පුද්ගලයින් වඩාත් සැළකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

++++++++++

නිල්වලා යළිත් අවදානම් – රාත්‍රී කාලයේ අඛන්ඩව තද වැසි

(15.10.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 73 ක පුද්ගලයින් 280 දෙනෙකු මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම ප්‍රදේශයේ පවුල් 241 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර එහි පුද්ගලයින් 600 ට වැඩි පිරිසක් පදිංචිව සිටින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.

මෙම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කඩිනමින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගත් අතර පදිංචිකරුවන් සිය වාසස්ථානවලින් ඉවත්ව යාමට එතරම් කැමැත්තක් නොදැක්වූ බවයි වාර්තාවන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයට අමතරව, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ සදහා නිකුත් කර ඇති නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර කියා සිටියේ.

මේ අතර, නිල්වලා ගං ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අවදානම ඉදිරි පැය 24 සදහා දීර්ඝ කල බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ගංගාව ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.

එමෙන්ම, මධ්‍යම කදුකරයට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටි ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

එහි වතු නිවාස පෙලේ පදිංචි පවුල් පහක පුද්ගලයින් 30දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කන්තලේ පේරමඩුව මිල්ලගස්වැවේ ජල කාන්දුවක් හේතුවෙන් එහි බැම්ම කැඩි ගොස් තිබෙනවා. දින කිහිපයක සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එලෙස බැම්ම කැඩි ගොස් තිබු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සියා සිටියේ.

මේ අතර, අද උදෑසන 8.30න් අවසන්වු ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තාවුනා.

එම ප්‍රදේශයට මිලිමිටර 66 කට අධික වර්ෂාපතනයක් ලැබී තිබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඉදිරියේදි පවතින වැසි තත්ත්වය හමුවේ කෙටි ඳාකාලින තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++

කොස්ලන්දේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථානවලට

(15.10.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමග පවතින නායයෑම් අවදානම හේතුවෙන් මීට පෙර නායයෑමට ලක්වූ හපුතලේ – කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ. ප්‍රියංගිකා ප්‍රකාශ කොට සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශවලට අනුව පුද්ගලයන් 768 දෙනකු මෙලෙස ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් (144) කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද ප්‍රදේශයේ පවුල් විසිතුනක් (23) මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල ප්‍රදේශයේ පවුල් අසූ එකක් (81) කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව යොමුකර තිබෙනවා ෴

දකුණු පළාතේ පාසල්වල වාර විභාග සැලසුම් කළ පරිදි හෙට (16) ආරම්භ වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගංවතුරින් විපතට පත් සිසුන් සඳහා වෙනත් දිනයක විභාග කටයුතු ආරම්භ කරන බවයි ෴


පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති පැවැත්වීමට පැනවූ තහනම

(15.10.2023 – 12:08 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පලාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට, විෂය සම්බන්ධීකාරකවරුන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබෙනවා.

මෙම නියොග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කරන්නේ නම් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 026 750 0500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම චක්‍ර ලේඛයේ දැක්වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *