ජැක්සන්ගේ මරණය ගැන සෝමරත්නගේ චෝදනාවට පවුලේ අය කට හොල්ලන්නෑ… – රවි කුමුදේශ්

ජැක්සන්ගේ මරණය ගැන සෝමරත්නගේ චෝදනාවට පවුලේ අය කට හොල්ලන්නෑ… – රවි කුමුදේශ්


ජැක්සන්ගේ මරණය ගැන සෝමරත්නගේ චෝදනාවට පවුලේ අය කට හොල්ලන්නෑ… – රවි කුමුදේශ්

(14.10.2023 – 10:00 +0530 – lankacnews.com)

ජැක්සන් ඇන්තනී මහතාට ඇති ගෞරවය තමන්ට ද ඇති බව සිතාගෙන සජිත ඇන්තනි මහතා විවිධ ප්‍රකාශ නිකුත් නොකර සිටි යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදී විද්වත් මණ්ඩලය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ජාතික රෝහලට වෙන්ටිලේටර යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා නොකළ යුතු බවයි.

ජැක්සන් ඇන්තනි යනු මෙරට අසහාය නළුවෙක් බවත් ඔහුට අගෞරවයක් නොවන දෙස අදාල කාරණාව පිළිබඳව සංගමයක් ලෙස තමන් කරුණු හෙළිදරව් කරන ලද බවද හෙතෙම පැවසීය.

එනිසා මෙවන් මොහොතක සජිත ඇන්තනී මහතා සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වුවත් එම ප්‍රකාශයන්ට විෂයන් දන්නා පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීමට ගියොත් ජැක්සන් ඇන්තනි මහතාට අගෞරවයක් වීමට හැකි බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ නමුත් ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට අදාළව සෝමරත්න දිසානායක මහතා අවස්ථා කිහිපයක දී ම මතු කරන ලද කාරණාව පිළිබඳව සජිත ඇන්තනි මහතා අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රෝගීන්ට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෝමරත්න දිසානායක මහතාගේ ප්‍රකාශය හරහා චෝදනා එල්ල වන බවද ඇන්තනී මහතාගේ මරණය පිළිබඳ ව ඉතා පැහැදිලි චෝදනාවක් සෝමරත්න දිසානායක මහතා එල්ල කරමින් සිටියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පිළිබඳව පරීක්ෂණ නොකර සිටින්නේ මන්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

වෙන්ටිලේටර යන්ත්‍රයක් ගැන පමණක් කථා කරමින් සෝමරත්න දිසානායක මහතා වැනි සමීපතමයෙක් එල්ල කරන චෝදනා ගැන පවුලේ කිසිවකු එක වචනයක් හෝ කථා නොකිරීම ගැන පුදුම සහගත බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

+++++++++

+++++++++

ජැක්සන් ගැන කොළඹ ජාතික රෝහලෙන් විශේෂ අනාවරණයක්

(14.10.2023 – nethnews.lk)

ප්‍රවිණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තවදුරටත් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

ඇතැම් අදහස් එතුමන් රටට සහ මෙරට කලාවේ පෝෂණයට සිදු කළ අනූපමය මෙහෙය පවා දෙවන තැනට දමමින් සිදු කරන ප්‍රකාශයි.

ජැක්සන් ඇන්තනී මහතාට කෘතිම ස්වසනය ලබා දෙන වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම හා රෝහලේ සිටි දින ගණන ඒ අතරින් ප්‍රධානයි.

ඒ අනුව සමාජයේ බොහෝ දෙනෙකු මතු කරන ගැටලු සම්බන්ධයෙන් නෙත් නිවුස් ජැක්සන් ඇන්තනී මහතා දින 450 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රෝහලෙන්ම ප්‍රශ්න කළා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එහිදි පැවසුවේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකර දේහය මුදා හැරි බවයි.

සමාජයේ කතා බහට ලක්වන කරුණු රැසක් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමඟ සිදු කළ ‘රතු කට්ට’ විශේෂාංගයයි මේ.

+

සජිත මල්ලි ඔයාගේ කතාව අවුලක් නෑ; ඔයා ජැක්සන්ගේ පුතා නේ (13.10.2023)

+

ගෙදර ගිහින් තියාගත්තනම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නෑ (14.10.2023)

+


නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා අපයෝජන කළ සැකකරු අත්අඩංගුවට

(14.10.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

හලාවත – කරවිටාගාර ප්‍රදේශයේ තරුණයෙකු කාන්තාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා ලිංගික අතවර කළ පුද්ගලයෙකු රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික පරිගණක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ කාන්තාව සිදු කළ පැමිණිල්ලට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරන බවයි සඳහන් වන්නේ ෴


රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(14.10.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලබාදෙන බව පවසා අන්තර්ජාලයෙන් රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ලෙන ඇත්තේ, 34 හැවිරිදි සැකකරු කරන්දෙනිය – දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ෆේස්බුක් ගිණුමක් හරහා දැන්වීම් පළ කරමින් රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


HIV සහ හෙපටයිටිස් වැනි රෝග සමාජ ගත වීමේ අවදානමක්

(14.10.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව වංචනික අයුරින් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ රෝගීන්ට ලබා දීම හේතුවෙන් එච්.අයි.වී. සහ හෙපටයිටිස් -බී හා සී වැනි රෝග සමාජ ගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

හොර පාරෙන් ගෙනා ඇති බවට සැක කෙරෙන මෙම මානව ප්‍රතිදේහ කුප්පි අටදහසක් පමණ මේ වන විට රෝගීන්ට ලබා දී ඇති බවත් එය අවම වශයෙන් ප්‍රතිශක්තිය ඉතාමත් අඩු මරණ අවදානමේ සිටින රෝගීන් දවසකටත් ලබා දෙන්නට ඇතැයි සැක කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එන්නත ලබා දුන් සියලු රෝගීන් පරික්ෂා කිරීම වහා ආරම්භ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත යුතු බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.

සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන් 1000-10,000 ත් අතර පිරිසකගෙන් ලබාගන්නා රුධිර ප්ලාස්මා භාවිතයෙන් මෙම ඖෂධය නිපදවන බවත් එසේ ලබා ගන්නා ප්ලාස්මා භාවිතය හරහා සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ත්ව පාලනය යටතේ සිදු කරන්නේ එමඟින් එච්.අයි.වී. සහ හෙපටයිටිස් – බී හා සී වැනි රෝග ඇති විය හැකි නිසා බවයි වාර්තා වෙන්නේ.

1990 ආසන්න කාලයේ මෙලෙස ප්‍රතිදේහමය ඖෂධ මඟින් යුරෝපයේ හෙපටයිටිස් – සී රෝහය පැතිර යෑමේ අවදානමක් මතු වූ බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කොට සිටියේ ෴


ඇස් රෝගය තිබෙන ශිෂ්‍යත්ව සිසුන්ට සහනයක්

(14.10.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ළමයින් අතර පැතිරයන ඇස් රෝගය හෙට (15) පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය සදහා බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එසේ අදාළ ඇස් රෝගයෙන් පෙලෙන සිසුන්ට විශේෂ පංති කාමරයක සිට විභාගයට පෙනී සිටීම සදහා අවස්ථාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 ක දීයි අයදුම් කරුවන් 3,37,956 දෙනෙකු මෙවර විභාගය සදහා පෙනිසිටීමට නියමිත බවයි.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිෂ්‍යත්ව දරුවන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පහසුකම් සලසන බව ප්‍රදේශීය ලේකම් උමේෂා මාතරගේ ප්‍රකාශ කළා.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 87 දෙනෙකු එලෙස පීඩාවට පත්ව සිටියා.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම සදහා දෙමාපියන් කටයුතු කළ යුතු බව ළමා සහ යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කළා ෴


නවගමුවේදී අලියෙකු ප්‍රපාතයකට වැටෙයි

(13.10.2023 – 22:23 +0530 – sinhala.adaderana.lk)

නවගමුව මාපිටිගම පාලම අසල කැලණි ගඟේ දිය නැවීම සඳහා රැගෙනවිත් තිබූ අලියෙකු ගඟ අසල ප්‍රපාතයකට ඇදවැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාපිටිගම ප්‍රදේශයේ සිටිනා අලියෙකි.

අලියාගේ වයස අවුරුදු 70 ක් පමණ වන අතර ඇදවැටීමත් සමග අලියා අසාද්‍ය තත්ත්වයට පත්ව තිබේ.

අලියා නෑවීමෙන් අනතුරුව පඩිපෙළකින් පාලම මතට රැගෙන යාමේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවට තොරතුරු වාර්තාවෙයි.

අනතුරුව පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දොඹකරයක ආධාරයෙන් අලියා ගොඩට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ ෴


‘ටෙඩිබෙයා’ ද සමඟ මිහිදන් වූ කොස්තාපල්වරිය

(13.10.2023 – 20:44 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් 11 වැනිදා ගලේවෙල, දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් මිය ගිය පොලිස් කොස්තාපල්වරිය ගේ අවසන් කටයුතු අද (13) සිදු කෙරිණි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරිය, දඹුල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව වාර්තා විය.

මිය යන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණු අතර, ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්ත ව සේවය කළ කොස්තාපල්වරියකි.

ඇය ගේ දේහය තැන්පත් කර තිබුණු පෙට්ටිය මත ඇය වඩාත් ආදරය කළ ‘ටෙඩිබෙයා’ තබා තිබුණු අතර, එය කාගෙත් ඇසට කඳුළක් එක් කළ බව අප වාර්තාකරු පැවසීය.

එසේම ඇය ගේ දේහය භූමදානය කරන විට ද ‘ටෙඩිබෙයා’ සමඟ භූමදානය කෙරුණු බව සඳහන්ය.

දඹුල්ල සහකාර පොලිස් කොස්තාපල්වරයා ගේ ප්‍රධානත්වයෙන් විශාල පොලිස් නිලධාරීන් පිරිසක ගේ ආචාර පෙළපාලියක් සමඟ දේහය සුසාන භූමියට රැගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිත ව සිදු කෙරුණු බව වාර්තා වේ.

[සේයාරූ]


හොර පාරෙන් ගෙන්වූ විදුලි මෝටර් රථ 07 ක් රේගුවේ

(13.10.2023 – 12:18 +0530 – sinhala.asianmirror.lk)

රුපියල් කෝටි ගණනක් වටිනා විදුලි මෝටර් රථ 07 ක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අඩු තක්සේරු යොදා, ආනයනය කළ බව කියන අමාත්‍යාංශයක සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන අතර අදාළ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කීපදෙනකුගෙන්ම මේ වනවිටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අඩු තක්සේරු යොදා ආනයනය කළ විදුලි මෝටර් රථ 07 ක් මේ වනවිට රේගුව විසින් රඳවාගෙන සිටින අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

විදේශගතව සිටින ඩොලර් උපයන පුද්ගලයන්ගේ නම්වලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ව්‍යාජ බැංකු සහතික ද ඉදිරිපත් කර මෙම විදුලි වාහන ආනයනය කර ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පහල කරයි.

මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලන සම්බන්ධයක් ද තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *