දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද (11) රාත්‍රියේ පස්කන්දක් කඩා වැටේ – වාහන ගමනා ගමනය නවතී
(11.10.2023 – lankadeepa.lk)
අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද (11) රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි.
නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් නිළධාරීන් පස් දෙනෙකු (5) තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ. මෙයට අමතරව නායයන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පත්වුවත් එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 102 – සැතපුම් කණු අසල කොටසේ පස්වරු 07:55 ට පමණ මෙම පස්කන්ද කඩා වැටී ඇති බව පොලිසිය කියයි. පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පින්නදූව හුවමාරුවෙන්, පිටතට ගොස් යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත්, මාතර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන ඉමදූව හුමවාරුවෙන්ම පිටතට ගොස් යළිත් පින්නදූව පිවිසුමෙන් යළිත් ඇතුලුවිය හැකි බව අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්.ඊ.එස්. වීරකෝන් මහතා පැවසීය.
මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් මාර්ගයට පස් කදු කඩා වැටීමෙන් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි. එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි ෴
++++++++
දක්ෂිණ අධිවේගයේ 101 කණුව ප්‍රදේශය අවට ජනතාවට වහා ඉවත් වන්නැයි දැනුම් දේ… කන්දක් නාය යමින්…
(11.10.2023 – 22:47 +0530 – lankacnews.com)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ කන්දෙහි ඉහළ සහ දෙපස සිටින ජනතාවට වහාම ඉවත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.
එම ප්‍රදේශය නැවත නාය යෑමට හැකි නිසා හැකිතාක් ඉක්මනින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වන ලෙස ඉල්ලා සිටියි.
නාගොඩ සුමන උදයන්ත
++++++++
++++++++++
+++++++++
දක්ෂිණ අධිවේගයේ අලුත්ම තත්ත්වය
(12.10.2023 – 07:20 +0530 – sinhala.adaderana.lk)
නායයෑමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ වාහන ධාවනය තවදුරටත් ඇණහිට ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පැවසුවේ, මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදුකරන බවය.
ඊයේ (11) පස්වරුවේ පැවති වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවු නායයෑම හේතුවෙන් පින්නදුව සහ ඉමදුව අතර 102 කිලෝමීටර කොටසේ ගමනාගමන කටයුතු ඇණහිට තිබුණි.
කෙසේවෙතත් මංතීරු හතරෙන් (4) මංතීරු දෙකක් (2) අද (12) දහවල් වන විට යථා තත්ත්වයට පත් කර ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පැවසුවේය.
මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
“කොළඹ සිට එන අයට පින්නදූව අන්තර් හුවමාරුවෙන් එළියට ගිහින් ගාල්ල, දෙණියාය, මාදම්පේ මාර්ගය දිගේ ගමන් කරලා, නැවත ඉමදූවෙන් ඇතුළු වෙන්න පුළුවන් අධිවේගී මාර්ගයට. මාතර දෙසින් එන අයට ඉමදූවෙන් එළියට ගිහින් දෙණියාය – මාදම්පේ මාර්ගය දිගේ ඇවිල්ලා නැවත පින්නදූවෙන් ඇතුළු වෙලා කොළඹට යන්න පුළුවන්…”
මේ අතර නායයෑම සිදුවූ ස්ථානය අද (12) දින පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර අදාළ නායයෑම සිදුවු අවස්ථාවේ එම ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගොස් සිටි පොලිස් විශේෂ කාර්ය බළකානිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු (7) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 6 දෙනෙකු පොලිස් කොස්තාපල්වරයෙකු (1) මෙලෙස තුවාල ලබා ඇති බවය.
මේ අතර, නායයෑමක් හේතුවෙන් ඕපනායක මාදොල ප්‍රදේශයෙන් අවහිර වී තිබු බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය ෴
++++++++++
+++++++++
දක්ෂිණ අධිවේගයේ බස් රථ ධාවනය නැවතත් ‘සාමාන්‍ය’ පරිදි
(12.10.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)
ඉමදුව සහ පින්නදූව කොටසේ පස් කන්දක් කඩාවැටිමෙන් ගමනා ගමනයට බාධා එල්ල වුවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථ ධාවනය ‘සාමාන්‍ය’ පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වන බස්රථ ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් නැවත පින්නදූව පිවිසුමට පිවිස ධාවනය විය හැකි බවයි.
එසේම මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ කොළඹ සිට හම්බන්තොට දක්වා බස්රථ ධාවනය කිරීමේදි පින්නදූව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි ෴
+
කරන්දෙණිය හමුදා කඳවුරෙන් අස්ථානගත වූ ටී 56 ගිනි අවිය සොයා ගනී
(12.10.2023 – 10:07 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් අස්ථානගත වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේම නිලධාරියෙකුගේ නිවසේ තිබී සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හමුදා නිලධාරියා ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගිනි අවිය අතුරුදන්වීමට අදාළව කදවුරෙහි නිලධාරින්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇති බවට සඳහන්.
කෙසේ වෙතත්, පසුව අනාවරණ වී ඇත්තේ නිලධාරියෙකු විසින් එම ගිනි අවිය සොරා ගෙන ගොස් ඇති බවටයි.
ඒ අනුව ඔහුගේ බටපොල ප්‍රදේශයේ පිහිටි නිවසෙහි පිටුපස සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ගිනි අවිය රැගෙන ගියේ අපරාධයක් සිදුකිරීමට ද යන්න තවදුරටත් තොරතුරු අනාවරණ වී නොමැතියි ෴
විදෙස් ජාවාරම්වලට සම්බන්ධ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
(12.10.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු විදෙස්ගත කිරීමේ මිනිස් වෙළෙඳාමක නිරත වූ චීන ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් කාන්තාවන් ලෙස සමාජ මාධ්‍ය ගිණුම් හරහා පෙනී සිටින ලෙස මෙහෙයවා මෙරට ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගැනීමේ ජාවාරමක්ද මෙම චීන ජාතිකයා මෙහෙයවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
තොරතුරු තාක්ෂණ අංශයේ සහ පාරිභෝගික සේවා යන අංශවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙකේ (2) සිට රුපියල් ලක්ෂ 5 දක්වා මුදල් ලබාගෙන ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු චීන ජාතිකයෙකු විසින් සංචාරක වීසා මත තායිලන්තයට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴
වැලිමඩ මාර්ගයක් නායයයි
(12.10.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala)
වැලිමඩ රේන්දපොල අබේවෙල ලෝකාන්තය මාර්ගය පවතින අධික වර්ෂාවත් සමඟ නාය ගොස් තිබෙනවා.
කළු පාලම අසල මෙම ගිලා බැසීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව කැප්පෙටිපොල පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.
අද (12) අළුයම මෙම ස්ථානය ගිලා බැස ඇති බව නොදැන ත්‍රිරෝද රථයක් පැමිණ ඇති අතර මීදුම් තත්වය හේතුවෙන් එහි රියදුරු අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ එම අවස්ථාවේ රියදුරු රථයෙන් ඉවතට පැන බේරී ඇති අතර ඔහුට සුළු තුවාල සිදුව ඇති බවයි.
මාතර දිස්ත්‍රික්කයේ මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
(12.10.2023 – 12:26 +0530 – hirunews.lk/sinhala)
මාතර දිස්ත්‍රික්කයේ මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලබනවා.
ඒ මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින්.
අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ටට එම ඒකකය දන්වා සිටින්නේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි.
ඒ අනුව දුරකථන අංක 041 223 4134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙසයි එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴
මාතර සහ ගාල්ල ගංවතුර යළි ඉහළ යාමේ අවදානමක් – විමලසුරේන්ද්‍ර වාන් දමයි
(12.10.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)
නිල්වලා සහ ගිං ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි තත්ත්වයත් සමග මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පහත් බිම් වල පවතින ගංවතුර තත්ත්වය යළිත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර ප්‍රකාශ කොට සිටියේ සිටියේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේපෝද්දල, නාගොඩ සහ බද්දේගම ගංගා ආශ්රිත ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම, බගවන්තලාව ප්‍රදේශයට ඊයේ (11) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයට ජලය ගලා එන කෙසෙල්ගමුව ඔය පිටාර ගැලීමෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
එමෙන්ම, බගවන්තලාව, සෙන්මේරීස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, නෝර්ටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධීක වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බව ජලාශයභාර ඉංජිනේරුවා සඳහන් කර සිටියේ.
මේ අතර, රේන්දපොල අඹේවෙල මාර්ගය කළුපාලම ආසන්නයෙන් ගිලා බැසීම හේතුවෙන් රථ වාහන ධාවනය ඇණ හිට ඇති අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක කියා සිටියේ පැවති අධික වර්ෂාවත් සමග මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර සහ හක්මන යන ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කළ බවයි.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක වැඩි වැසි ඇති විය හැකියි ෴
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ජනපතිගෙන් පණිවිඩයක්
(12.10.2023 – 15:47 +0530 – hirunews.lk/sinhala)
ඊශ්‍රායල ප්‍රහාරවලින් අතරමං වූ සහ විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට වග බලා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආධාර අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට,
දුරකථන අංකය : (+94) 11 796 6396 සහ
WhatsApp අංකය : (+94) 76 746 3391 හෝ
විද්‍යුත් තැපෑල : opscenga@gmail.com හරහා උපකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා ෴
ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීන්දුව
(12.10.2023 – 16:46 +0530 – hirunews.lk/sinhala)
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකාබැලීම සිදු කෙරුණා.
එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ආගමික නොසන්සුන්තාවයක් හටගත් බව සඳහන් කළා.
එම බරපතළ ප්‍රකාශය හරහා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමේ අනතුරක් මතුවී ඇති බවට ඉහළපෙළේ ආරක්ෂක බලධාරීන්ට වැටහී ගිය නිසා ඔවුන් වහා ඒ පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කළ බව කී ජනාධිපති නීතිඥවරයා, මෙම කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව දේවගැතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බවත් සඳහන් කළා.
මෙම පෙත්සම්කාර දේවගැතිවරයාගේ ගිණුම් හරහා රුපියල් බිලියන 12.25 ක මුදල් සංසරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් නීතිපතිවරයා විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට නායකත්වය දුන් සහරාන් නමැත්තා ද පෙත්සම්කරු සිදු කළ ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කාර දේවගැතිවරයාගේ ප්‍රකාශයේ පැවති බරපතළ ස්වභාවය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් කටයුතු කළ බවත් පෙන්වා දුන්නා.
මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරීම හරහා පෙත්සම්කාර දේවගැතිවරයා අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවත් මෙවැනි ක්‍රියා සඳහා ඉඩකඩ ලබා නොදෙන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියා.
මෙම පෙත්සම් විභාගය අතරතුර පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සඳහන් කළේ තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන බවයි.
ඔහු අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වික්‍රමනායක එබැවින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තැබුණා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴