තාවකාලිකව ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම ආනයනික සීමා ඉවතට

තාවකාලිකව ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම ආනයනික සීමා ඉවතට


තාවකාලිකව ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම ආනයනික සීමා ඉවතට

(09.10.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා අද දින (09) සිට ඉවත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ආනයන සීමා පනවා තිබූ HS කේත 250 ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරට ටයිල් හා ඇඟළුම් ද අයත් වන බවයි.

මේ සඳහා වන විශේෂ ගැසට් නිවේදනය අද (09) දින නිකුත් කර තිබෙනවා ෴


විමල් වීරවංශගේ ‘නවය; සැඟවුණු කතාව’ කෘතියේ ඉංග්‍රීසි – රුසියන් පරිවර්තන

(10.10.2023 – 02:10 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ‘ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ ‘නවය; සැඟවුණු කතාව’ විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය (NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් (2) ලෙස එළඹෙන ඔක්තෝබර් 13 වැනිදා සිකුරාදා සවස 03:00 ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේදී) සිදු කෙරේ.

මෙම පරිවර්තන කෘති ජනගත කිරීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් ද කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් ද සිදු කිරීමට නියමිතය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

(10.10.2023 – 08:54 +0530 – sinhala.adaderana.lk)

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට (2) දිවි අහිමි කළ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු මෙම රිය අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් වව්නියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය.

තුවාලකරුවන් දෙදෙනාගේ (2) තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

+++++++

+


ONMAX DT තවත් ගිණුම් කිහිපයක් අත්හිටුවයි

(10.10.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් කෝටි 10 ක් අයථා ලෙස ඉපයූ බව කියන ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් රුපියල් කෝටි 43 ක මුදලක් ආයෝජනය කර ඇති අමෙරිකානු මූල්‍ය ආයතනයක ගිණුම් අටක් (8) තවත් මාස හයකට (6) අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අමෙරිකානු සමාගමක් වෙත ඊයේ (09) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය අමෙරිකානු BINANCE.COM ප්‍රධාන විධායක නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමයි අධිකරණය විසින් නියෝග කළේ.

මෙසේ අත්හිටුවනු ලැබුවේ ධනංජය ගයාන්, සම්පත් සඳරුවන්, ලේන දුවගේ රන්දික ජයතිස්ස, වික්‍රම පේලිගේ චන්ද්‍රකාන්ති, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ONMAX DT(PVT)LTD හා ONMAX PTU LTD යන අයට හා සමාගම්වලට අදාළ ගිණුම්ය.

මෙම අමෙරිකානු මූල්‍ය සමාගම විසින් ආයෝජනය කරන මුදල මෙන් තුන් ගුණයක් (3) ලබාදෙන බවට තොරතුරු අනාවරණය වන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සඳහා පුද්ගලයන් ලක්ෂයකට (1,00,000) අධික ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පැවසුවේ ෴


ළමා රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීයයි

(10.10.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ඒ, එම රෝහලේ ඇති එකම සී.ටී. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන්.

වාර්ෂික සේවා ගිවිසුම් යාවත්කාලීන නොවීම නිසා යන්ත්‍රය නැවත අලු‍ත්වැඩියා කරගැනීම බරපතල ගැටලු‍වක් වී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

රිජ්වේ ආර්යා ළමා රෝහල දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කළ විශේෂිත රෝහලක් වන අතර එම රෝහලට දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සදහා දරුවන් යොමු කෙරෙනවා.

එමෙන්ම දැනට රජයේ රෝහල් පද්ධතිය සතු පෙට් ස්කෑන් යන්ත්‍ර 2 න්, ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති යන්ත්‍රයේ පරීක්ෂණ ඇණහිට තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ එහි සේවය කළ නිලධාරීන් 03 දෙනාගෙන් දෙදෙනකු (02) සේවයෙන් විශ්‍රාම ගැනීම සහ විදෙස්ගත වීම බවයි වාර්තා වන්නේ ෴

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සීටී ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය අද (10) දිනයේ යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීමට හේතු වූ එහි කොටසක් මහනුවර රෝහලෙන් රැගෙන ඒමට කටයුතු කරන බවයි.

ළමා රෝහලේ පවතින එකම සීටී ස්කෑන් යන්ත්‍රය ගිවිසුම් යාවත්කාලීන නොවීම නිසා යන්ත්‍රය නැවත අලු‍ත්වැඩියා කරගැනීමේ ගැටලු‍වක් හටගෙන ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඊයේ චෝදනා කළා.

ඒ අනුව ළමා රෝහලේ ස්කෑන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ගැටලු මතුව ඇති බවයි එම සංගමය කියා සිටියේ ෴


තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී ජිවිතයට සමුදෙයි

(10.10.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කුරුණෑගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිටිඅවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොල්ගහවෙල පොලිසිය හිරු අප වෙත සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි, ගිරාබේ, පොල්ගහවෙල ප්‍රදේශවේ පදිංචි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

අදාළ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පාතාල නායකයෙකු බව පවසා කප්පම් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.10.2023 – 10:42 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම් සඳහන් කරමින් දුරකතන ඇමතුම් ලබා දී මරණ තරජන එල්ලකර ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් පොලිසියට ලද පැමිණිලල්කට අනුවයි ඊයේ (09) රාත්‍රීයේ ඇවරිවත්ත නගරයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර – තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කටුනායක වෙළඳ කලාපයේ අවට තාවකාලික ලැගුම්හල්වල රැදී සිට ඇති බවට පොලිසිය අනාවරණ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ජංගම දුරකතන සහ සිම් කාඩ් පත් විශාල ප්‍රමාණයක් සොයාගත් බවයි ෴


ඩ්‍රෝනා කැමරා තාක්ෂණයෙන් කංසා වගාවන් වටලයි

(10.10.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල, උඩවලව ජාතික වනෝද්‍යානයේ දෙහිකූරගල ප්‍රදේශයේ දී ගංජා හේන් පවත්වාගෙන ගිය පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් ගංජා ගස් 312,660 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගංජා ගස් 40 ක් මව්ආර වනජීවී කාර්යාලයට භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

වාර්තාකරු පැවසුවේ ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර ඇති බවයි.

[සේයාරූ]


කරන්දෙණිය යුධ හමුදා කදවුරෙන් පාතාලයට ගිනි අවියක් ලැබුණේදැයි විමර්ශන

(10.10.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරන්දෙණිය කොහිලවගුර යුද හමුදා කඳවුරෙන් අතුරුදන් වී ඇති ටී 56 වර්ගයේ ගිනි අවිය දකුණේ පාතාලයේ සාමාජිකයන් අතට පත් වූයේද යන්න සෙවීම සදහා පොලිස් ස්ථාන කිහිපයකින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 08 වනදා හෝ ඊට ආසන්න දිනකදී කඳවුරේ අවි ගබඩාවේ ගිනි අවියක් අතුරුදන් වී ඇති බවට එම අවස්ථාවේ රාජකාරී සිදු කරන නිළධාරියා විසින් කදවුරේ ඉහළ නිලධාරින්ට දැනුම් දී තිබුණා.

ඉන් අනතුරුවයි ඒ පිළිබඳව කරන්දෙණිය පොලිස් ස්ථානය දැනුවත් කර ඇත්තේ.

පසුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වුයේ ගිනි අවිය සදහා භාවිතා කරන මැගසින් කිහිපයක්ද අතුරුන් වී ඇති බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලව කරන්දෙණිය කොහිලවගුර යුද හමුදා කඳවුරේ අවි ගබඩාව භාර නිළධාරියාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

එලෙස අතුරුදන් වු ටී 56 වර්ගයේ ගිනි අවිය දකුණේ වෙඩි තැබීම් සිදුකරන පාතාල සාමාජිකයන් අතට පත් වුයේද යන්න පිළිබදවයි පොලිසියට සැක මතුවී ඇත්තේ.

දකුණු පළාතේ පසුගිය දින කිහිපයේම වෙඩි තැබීම් වාර්තා වූ අතර ආසන්නම සිදුවීම ඊයේ (09) වාර්තා වුයේ ගාල්ල – රත්ගම දේවිණිගොඩ ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු වෙඩිතබා ඝාතන කිරීමයි.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති දැඩිමුණි බාලේන්ද්‍රන් එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

හිටපු පොලිස් පරීක්ෂකවරයා රාජකාරීයේ යෙදී සිටියදී සිදුකරන ලදැයි කියන වරදක් සම්බන්ධයෙන් වසර එකහමාරක් (1½) පමණ රක්ෂිත බන්ධනාගාරගත වී මීට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ තිබුණා.

ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියා පාතාල මර්ධනය සදහා කටයුතු කළ අයෙකු වන අතර ඔහුට පාතාල සාමාජිකයින්ගෙන් මරණ තර්ජන පැවති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ඝාතනයට පෙර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වන ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් ද වෙඩි තබා ඝාතනය කෙරුණා.

+++++++

+


විදෙස් වෛද්‍ය උපාධි සඳහා ලංකාවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක්

(10.10.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමක් සඳහා ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට පසුගිය 02 වනදා අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පත්කරන ලද කමිටුවේ නිර්දේශය ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 සිට 1,000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීමට තීරණය කර තිබෙනවා ෴


යතුරුපැදිය ගවයෙකුගේ ගැටී මවකට දිවි අහිමි වෙයි

(10.10.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව මන්නාරම පාරේ පම්පමඩුව යුද හමුදා කදවුර අසලදී යතුරු පැදියක ගවයෙකු ගැටීම නිසා යතුරු පැදිය පදවා ගෙන ගිය පුතා තුවාල ලබා එහි පිටුපස ගමන් කළ මව සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වවුනියාව කුරුක්කල්පුදුකුලම් ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 45 ක කාන්තවක් බවයි වාර්තා වෙන්නේ.

ඇගේ පුත්‍රයා බරපතල ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

(10.10.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මීළඟ ජංගම සේවය ඔක්තෝබර් 21 වැනිදා මඩකලපුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ජංගම සේවය හරහා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉටු කරනු ලබන සියලු ම සේවාවන් සැපයීම සිදු වන අතර සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර දීම අරමුණ බවයි වාර්තා වන්නේ.

මෙම ජංගම සේවය උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රක්කයෙන් ආරම්භ කළ අතර පසුව මාතලේ, ගාල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදී සාර්ථක අයුරින් පැවැත්වුණා ෴


අයවැයට පෙර රෝහිතගෙන් අනතුරු ඇඟවීමක්

(10.10.2023 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ජනතාව තවදුරටත් පීඩාවට පත්වන යෝජනා ගෙන එන්නේ නම් මෙවර අයවැයේදි තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවත පක්ෂ මුලස්ථානයේ අද (10) පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය, වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :
“ආණ්ඩුවට ඕන ඕන විදිහට තීරණ ගන්න බෑ.. අපි පැහැදිලිව තීරණාත්මක වශයෙන් කියනවා දරාගන්න බැරි වෙන්න බඩු මිල වැඩි කරනවා නම් අයවැය යෝජනාව ගැන අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපි කියන දේ අහන්නේ නැත්තම් අපි මොකට ද මේකට අත උස්සන්නේ..? අපි පක්ෂයක් හැටියට කෙලින් ඉන්නවා..”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *