දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන


දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන

(08.10.2023 – 17:03 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක තුනක් (3) සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව අද (08) සවස 3 සිට හෙට (09) සවස 3 දක්වා එම නිවේදනය බලපැවැත්වේ.

ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහතින් :

ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල, කඩවත් සතර, ඉමදූව

කළුතර දිස්ත්‍රික්කය
ඉංගිරිය, වලල්ලාවිට, මතුගම

මාතර දිස්ත්‍රික්කය
පිටබැද්දර, අකුරැස්ස, හක්මන

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රදේශ පහතින් දැක්වේ :

ගාල්ල දිස්ත්‍රික්කය
නෙළුව, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, බෝපෙ පොද්දල, බද්දේගම

හම්බන්තොට දිස්ත්‍රික්කය
වලස්මුල්ල, කටුවාන

කළුතර දිස්ත්‍රික්කය
පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කය
දෙහිඹ්විට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල

මාතර දිස්ත්‍රික්කය
කොටපොල, වැලිපිටිය, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වෙල, අතුරලිය

රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැලියගොඩ, රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට

බදුල්ල දිස්ත්‍රික්කය
හපුතලේ

මේ අතර පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙස දන්වමින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ :

කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක, පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය
මීරිගම

හම්බන්තොට දිස්ත්‍රික්කය
බෙලිඅත්ත, ඔකේවෙල

කළුතර දිස්ත්‍රික්කය
අඟලවත්ත, බේරුවල, කළුතර

කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල, බුලත්කොහුපිටිය

රත්නපුර දිස්ත්‍රික්කය
කොළොන්න, ඉඹුල්පෙ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, වැලිගෙපොල

බදුල්ල දිස්ත්‍රික්කය
හල්දුමුල්ල, බණ්ඩාරවෙල

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ලේ පවුල් 3,500 ක පුද්ගලයින් 8,000 ක් සහ මාතර පවුල් 18,000 ක 50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා ෴


මෝටර් රථයක් බදුලු ඔයට වැටිලා

(08.10.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට පස්සර බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක රියදුරුට නින්ද යෑම නිසා අද (08) අලුයම කොළඹ මහා මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට වැටී අනතුරට ලක්ව තිබෙනවා.

මෝටර් රථයේ රියැදුරා පමණක් එහි ගමන් කර ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


මහනුවර – යාපනය A-9 මාර්ගයේ නාඋල නගරයට ආසන්න දුරකින් පිහිටි රොබරොසියා ගසක් මාර්ගයට කඩා වැටීමේ අවධානමක්

(08.10.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – යාපනය A-9 මාර්ගයේ නාඋල නගරයට ආසන්න දුරකින් පිහිටි රොබරොසියා ගසක් මාර්ගයට කඩාවැටිමේ අවධානමකට ලක්ව ඇතැයි නාඋල ප්‍රදේශවාසීන් පවසනවා.

නාඋල නගරයේ කොටමාපාය ගම්මානයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මෙම රොබරොසියා ශාකය පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මේ දිනවල පවතින වැසි හා සුළං තත්ත්වය හමුවේ මෙම ශාකය මහා මාර්ගයයට කඩා වැටිමේ බරපතල අවධානමක් පවතින බවයි.

දෛනිකව බස් හා වෑන් ඇතුළු රථවාහන රැසක් ගමන් ගන්නා කාර්ය බහුල මාර්ගයක් වන A-9 මාර්ගය ආසන්නයේ පිහිටි මෙම රොබරොසියා ශාකයට අමතරව දිරා ගිය මාර ගස්වල අතු රැසක් ද කඩා වැටිමේ අවධානමකට ලක්ව ඇති බව සඳහන් ෴


මාතර ද්විත්ව ඝාතනයක්

(08.10.2023 – 15:54 +0530 – sinhala.adaderana.lk)

මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව (2) ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මාතර, ‘ප්‍රීති බ්‍රවුන්ස්හිල්’ ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ 67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු (2) මෙලෙස‍ ඝාතනය කර ඇති බවය.

නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා (2) නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන් සමඟ එක්ව සිදුකළ සොයාබැලීමක දී මෙහෙකාරියන් භාවිත කරන නානකාමරය තුළ හා වැසිකිළිය තුළ තිබී ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ (2) මළ සිරුරු සොයාගෙන තිබේ.

නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේ දී අල්මාරියක් තුළ තිබූ රත්‍රං නොවන වළලු 12 ක්, මාල 2 ක්, රන් පැහැති හැඳි 1 ක් සහ විදේශ මුදල් කාසි 39 ක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාතර පොලීසිය එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අදාළ දේපළ සොයාගත් බව පොලීසිය පවසයි.

මේ අතර කටාන පොලිස් වසමේ කඳවල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක සේවයක කළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි ෴


නඩත්තු කටයුත්තක මුවාවෙන් මදුරන්කුලියේ ඒ.ටී.එම්. එක කඩා කෝටියක් හොරෙන් අරන්

(09.10.2023 – dinamina.lk)

නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍රය විවෘත කර එහි තිබූ රුපියල් ලක්ෂ 78 ක මුදලක් රැඟෙන ගිය ආකාරයටම මඳුරන්කුලියේ බැංකුවකත් (ඒ.ටී.එම්. කුටියේ) ඒ.ටී.එම්. යන්ත්‍රය විවෘත කර රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න මුදලක් පෙරේදා (07) රාත්‍රියේ සොරා ගෙන ගොස් තිබේ.

මේ සොරකම අනාවරණය වී ඇත්තේ ඒටීඑම් යන්ත්‍රයේ තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණය ගනුදෙනුකරුවන් කාඩ්පත් මඟින් ලබාගෙන නැතිව තිබියදී යන්ත්‍රයේ මුදල් නොමැති බව පද්ධතිය මඟින් පෙන්නුම් කිරීම හේතු කොට ගෙන කරන ලද පරීක්ෂාවේදීය.

නිට්ටඹුව නගරයේ බැංකුවේ සිදු වූ සොරකමද අනාවරණය වන්නේ මෙවැනි ආකාරයෙන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එහි මුදල් සොරකම පසුගිය මස 17 දා රාත්‍රියේ වන අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. එම සොරකමට පුද්ගලයන් දෙදෙනකු (2) සම්බන්ධව සිට ඇති බව ආරක්ෂක කැමරා දර්ශන පිරික්සීමේදී අනාවරණය වී තිබිණි.

මදුරන්කුලිය පෞද්ගලික බැංකුවට (ඒ.ටී.එම්. කුටියට) මොවුන් පැමිණ ඇත්තේ නඩත්තු කටයුතු සඳහා බවට හඟවමින් යැයි පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ. තිදෙනකුගෙන් (3) සමන්විත කල්ලියක් මේ සඳහා පැමිණ ඇති අතර මොවුන් ඒටීඑම් යන්ත්‍රය ආසන්නයේ ඉන්ධන හලේ සේවකයන්ට තමන් අදාළ බැංකුවේ නඩත්තු සේවකයන් ලෙස පවසා එය නඩත්තු කිරීමට යන බව පවසා ඇතැයිද පොලිස් කණ්ඩායම සිදු කළ මූලික පරික්ෂණවලදී හෙළිව තිබේ.

ඔවුන් යතුරුපැදිවලින් පැමිණ ඇති බවද දෙදෙනකු (2) සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හෙල්මට් පැලඳ සිට ඇති බවද කියයි.

දෙදෙනකු (2) අදාළ යන්ත්‍රයේ දොරගුළු සුක්ෂම ලෙස විවෘත කරමින් එම යන්ත්‍රයට ඇතුළු වී අදාළ යන්ත්‍රයේ මුරපදය ද යොදා විවෘත කරමින් මුදල් සොරා ගෙන ඇති බව කියයි.

සොරුන් දෙදෙනකු (2) ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල් සොරා ගැනීම සිදු කරන අතර අනෙක් සොරා කිසිවකුට සැක නොසිතන ලෙස අවට පරික්ෂා කිරීමේ යෙදී ඇති බව කියයි.

මෙම යන්ත්‍රය අසළ පිහිටි ඉන්ධන හලේ රාත්‍රි සේවයේ යෙදී සිටි සේවකයන් හා කළමනාකරු පවසා සිටියේ අදාළ මුදල් හුවමාරු යන්ත්‍රයට මුදල් තැම්පත් කිරීමට හා නඩත්තු කටයුතු සඳහා බැංකු සේවකයන් නිරන්තරයෙන් පැමිණෙන බවත් මෙම සොරකම සිදුකළ තිදෙනා (3) ද එලෙසම පැමිණීම නිසා කිසිදු ලෙසකින් සැකයක් මතු නොවු බවයි.

අදාළ මුදල් හුවමාරු යන්ත්‍රය මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයේ පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අදාළ බැංකු ශාඛාව විසින් ගනු-දෙනු කරුවන්ගේ පහසුව සඳහා මෙම මුදල් හුවමාරු යන්ත්‍රය පමණක් මෙම ස්ථානයේ ස්ථාපිත කර ඇත්තේ වසර 10 කට ආසන්න කාලයක සිට බව කියයි.

අදාළ සොරකමින් පසු පොලිස් අපරාධ ස්ථානීය නිලධාරීන් හා පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිල සුනඛ ඒකකයේ ‘රෝකී’ සුනඛයාද යොදවමින් සෝදිසි කිරීම්වල නිරතව තිබුනි.

ඒයට අමතරව මදුරන්කුලිය පොලිසිය හා මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කර තිබේ.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. රූපසිංහ මහතාගේ මෙහෙයවීමේන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරී සමන් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණයෙන් මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරික්ෂණවලට එක්ව සිටිති.

ගයාන් කුමාර විරසිංහ, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ


මහරගම-පන්නිපිටිය අතරේ වෙන්නට ගිය මහ අනතුරක් වැළැක්වූ දුම්රිය ගේට්ටු ක්‍රියාකරු උදයසිරි

(09.10.2023 – dinamina.lk)

“මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. මම එකපාරටම කෝච්චිය එන පැත්තට දිව්වා. එතකොටත් කෝච්චිය ඉස්සරහට එනවා. අත් දෙකම උස්සලා කිව්වා, එන්න එපා කියලා.”

මහරගම – පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට කොස් ගසක් කඩා වැටී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වාලීමට දුම්රිය ගේට්ටුකරුවකු කටයුතු කිරීමේ පුවතක් මහරගමින් වාර්තා වේ.

මහරගම දුම්රිය ස්ථානයට මීටර් 800 ක් පමණ කොට්ටාව දෙසට වන්නට පිහිටි ඉඩමක වසර 40 ක් පමණ පැරණි කොස් ගසක් පෙරේදා (07) පෙරවරුවේ එලෙස දුම්රිය මාර්ගයට ඇද වැටී තිබිණි.

එම කොස් ගස දුම්රිය මාර්ගයට වැටෙන ශබ්දය කන වැකීමත් සමඟම වහාම ක්‍රියාත්මක වූ දුම්රිය ගේට්ටුකරු විනාඩි දෙකක් ගත වීමට මත්තෙන් අවිස්සාවේල්ල සිට කොළඹට දුම්රියක් ධාවනය වීමට නියමිත බව දැන‍ගෙන දුම්රිය එන මාර්ගය ඉදිරියට මීටර් දෙසීයක් පමණ දිව ගොස් දුම්රිය නතර කිරීමට සංඥා කිරීම හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුර වැළකී ගොස් ඇත.

එසේ නොවන්නට දුම්රිය මාර්ගය වැටී තිබූ ගසේ දුම්රිය ගැටීමෙන් විශාල අනතුරක් වී ජීවිත හානි පවා වන්නට ඉඩ තිබූ බව දුම්රිය මගීහු පැවැසූහ.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ගේට්ටුකරු වන ටී. උදයසිරි මහතා මෙලෙස පැවැසීය :

“07:45 ට තිබුණ කෝච්චිය යන්න අවශ්‍ය කටයුතු කළා. ඊට පස්සේ එන්න තිබ්බේ අවිස්සාවේල්ල ඉඳලා කොළඹ යන කෝච්චිය 08:02 ට, විනාඩි දෙකයි තුනයි තිබ්බේ. ජර බරාස් ගාලා සද්දයක් ආවා. බලනකොට අල්ලපු වත්තේ ලොකු කොස් ගහක් දුම්රිය පාරට වැටිලා.

මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. මම එකපාරටම කෝච්චිය එන පැත්තට දිව්වා. මම හිතන්නේ මීටර් දෙසීයක් විතර දුවන්න ඇති. එතකොටත් කෝච්චිය ඉස්සරහට එනවා. අත් දෙකම උස්සලා කිව්වා, එන්න එපා කියලා. වාසනාවකට වගේ කෝච්චියත් නතර කළා. ඒ එක්කම මම කෝල් කරලා ස්ටේෂමට මේ බව දැනුම් දුන්නා. එහෙම කළේ නැත්තම් ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබුණා. ඇත්තටම මම කරපු දේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *