මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි

මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි


මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි

(07.10.2023 – 17:02 +0530 – sinhala.adaderana.lk)

මහරගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මතට කොස් ගසක් කඩාවැටී තිබේ.

එහිදී සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුවේ සේවය කළ සේවකයාට හැකිවී ඇත.

මහරගම දුම්රිය ස්ථානයට මීටර් 600 ක් පමණ කොට්ටාව දෙසින් පිහිටි ඉඩමක තිබූ වසර 40 ක් පමණ පැරණි කොස් ගසක් එලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී තිබේ.

අවිස්සාවේල්ල සිට කොළඹ බලා උදෑසන 8 ට පමණ දුම්රිය ධාවනය වෙමින් තිබියදී මහරගම ගුරු විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ මෙම කොස් ගස මුලින් ඉදිරී දුම්රිය මාර්ගයට වැටී ඇත.

එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

එම කොස් ගස දුම්රිය මාර්ගයට වැටී විනාඩි 02 ක් වත් ගතවීමට මත්තෙක් කොළඹ දෙසට දුම්රියක් ධාවනයවීමට නියමිතව තිබුණි.

එහිදී වහා ක්‍රියාත්මක වූ ගේට්ටු මුරකරු කොට්ටාව දෙසට මීටර් 200 ක් පමණ දුර දිවගොස් දුම්රිය නතර කිරීමට සංඥා කර ඇත.

එසේ නොමැති නම් දුම්රිය මාර්ගයට වැටී තිබූ ගසේ දුම්රිය ගැටීමෙන් විශාල අනතුරක් සිදුවීමට තිබුණි.

එම සිද්ධියෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ පොලීසිය මහජනතාවගේ ද සහාය ඇතිව විනාඩි 30 ක් ඇතුළත කොස් ගස කපා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගැනුණි ෴


වාහන ජාවාරමක් හෙළිවෙයි

(07.10.2023 – 19:37 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් වාහන සොරකම් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් සොරකම් කරන ලද වාහන කූඨ ලේඛන සකසා විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බවත් වාර්තා වෙයි.

ඔහු ගාල්ල, තංගල්ල සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකින් වාහන සොරකම් කර ඇති බව පොලීසිය පැවසීය ෴


පදිකයින්ට විශේෂ දැනුම්දීමක්

(07.10.2023 – 20:00 +0530 – sinhala.adaderana.lk)

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638 ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එම අනතුරුවලින් මරණ 1,733 ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540 ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අද (07) දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

“මිය ගිය සංඛ්‍යාව ගත්තොත් විශේෂයෙන්ම 1,733 න් 540 ක් පදිකයින්. ඒ වගේම යතුරුපැදිකරුවන් 543 ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රියදුරන්ගෙන් මෙවැනි ආකාරයට මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලා. සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන්න.”


බස් එකට ගහ වැටුනේ නවත්තන්න ස්ලෝ කරපු වෙලාවෙ (07.10.2023)


චීනයෙන් ණය ගන්න තිබුණා – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

(07.10.2023 – 22:04 +0530 – sinhala.adaderana.lk)

2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටේ සිදුවූ මූල්‍ය බංකොලොත් භාවයට හේතුවූ කරුණු පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඒ ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා :

“ගොඩක් අය හිතුවා IMF නැතුව වෙනත් සැලසුමක් නැහැ කියලා. ඒ කාලය තුළදී අපි ලබාගත් සම්පූර්ණ විදේශීය ආදායම් මිලියන 4,950. දැන් IMF හරහා වසර 4 කින් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන 2,900 යි. මිලියන 4,950 ක් අරන් තිබුණා ඒ වෙලාව වෙනකොට ණය ගෙවන්නයි අනෙක් දේවල්වලටයි. මහ බැංකුවේ මිලියන 50 ක් ඉතිරිවූ කතාව අසත්‍යයක්. මාර්තු මාසයේ අග මිලියන 1,917 ක් තිබුණා.”

“චීනයෙන් ණය ගැනීමට චීනයට කතා නොකර ණය පැහැර හැරීම නිවේදනය කළා. මේක කුමන්ත්‍රණයක්.”

+


ගාල්ලේ සියලුම පාසල් හෙට (09) සහ අනිද්දා (10) වැසේ

(08.10.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා (09) සහ අඟහරුවාදා (10) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවා ගැන සිතා මෙම තීරණය ගත් බවයි ෴

දකුණු පළාතේ පාසල්වල 02 වන වාර විභාගය කල් දැමූ බව පළාත් අධ්‍යාපන ලේකම් ප්‍රකාශ කොට තිබෙනවා.පවතින අයහපත් කාලගුණයත් සමඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.වාර විභාග ලබන 12 වනදා ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ ෴


නිල්වලා ගං ද්‍රෝණියේ BR5 බැම්ම ඉක්මවා පහත්බිම්වලට ගංවතුර

(08.10.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගං ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ පිහිටි BR5 බැම්ම හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ‘ගල් බන්ට්’ එක ලෙස හැඳින්වෙන ‘ආරක්ෂණ බැම්ම’ ඉක්මවා ඊයේ (07) රාත්‍රියේ ගංවතුර තත්ත්වයක් බලපා තිබුණා.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ රථවාහන ධාවනකරුවන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ කඹුරුපිටිය, කරගොඩ, උයන්ගොඩ, මාලිම්බඩ යන ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්වීමෙන් සිදු කෙරුණා.

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබාදීම යුද හමුදාව සහ ප්‍රදේශවාසින්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණා.

මේ අතර, ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගිං ගඟේ බද්දේගම ජල මාපකය අද (08) උදෑසන වන විට මීටර 5 සීමාව පසු කර තිබුණා.

ඒ හේතුවෙන් බද්දේගම – උඩුගම, බද්දේගම – දොඩංගොඩ, බද්දේගම – අගලිය යන මාර්ග තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

+

වැසි සහිත කාලගුණයත් සමඟ ළමයින් අතර බෝවන රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු සඳහන් කළේ පාචනය, ළමා හතිය, ඩෙංගු සහ මී උණ ආදී රෝග ඒ අතර වන බවයි ෴


කොළඹ නගරයේ අනාරක්‍ෂිත ගස් ඉවත් කරයි

(08.10.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කරමින් පවතිනවා.

ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුවයි මෙම තීරණයට එළැඹ ඇත්තේ ෴


අබලන් වූ බම්බලපිටිය මගී ගුවන් පාලම නිරීක්ෂණයට විශේෂ කණ්ඩායමක්

(08.10.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පිහිටි අබලන්ව පවතින මගී ගුවන් පාලම නිරීක්ෂණය කිරීම සදහා හෙට (09) දිනයේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එහි යාමට නියමිත බව එම ආයතනයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන පවසනවා.

මේ අතර, අවදානමට ලක්ව ඇති මෙම ගුවන් පාලම යළි ඉදිකිරීම සදහා ඉදිරි සතියේ පුවත්පත් මගින් ටෙන්ඩර් කැදවන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

අදාළ මගී පාලම අබලන් වී ඇති බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඊයේ (07) අනාවරණය කරනු ලැබුවා ෴


අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් හයකට (6) අඩු කරයි

(08.10.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5 ක් හෝ 6 ක් දක්වා අඩු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඉදිරි වසරවලදී මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් සිදු කෙරෙනු ඇති.

පාසල් සිසුන්ට විභාගවල ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි මෙම වෙනස සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

මේ අනුව, සාමාන්‍ය පෙළ විෂයයන් 9 ය විෂය‍යන් 5 ක් හෝ 6 ක් දක්වා අඩු කිරීමට නියමිත බවත්, අනිවාර්ය නොවන කාණ්ඩ විෂයයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කෙරෙන බවත්, මෙහි නියමු ව්‍යාපෘතියක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනවා.

මීට අමතරව, උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8 ක් හෝ 9 ක් දක්වා වැඩි කිරීමට ද තීන්දු කර තිබෙනවා. දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12 වන ශ්‍රේණිය දක්වා අඩු කෙරෙනු ඇති ෴


අවාරයේ ශ්‍රි පාද සංචාරය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය

(08.10.2023 – 15:40 +0530 – hirunews.lk/sinhala)

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව (08) දින නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණා.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.

එම ගැසට් පත්‍රය අනුව නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල වනජිවි කාර්යාල වලින් අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන විදෙස් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක්, සාර්ක් කලාපිය රටවල් වලින් පැමිණෙන සංචාරකයන් සදහා ඩොලර් 4 ක මුදලක්ද , දේශිය සංචාරකයන්ගෙන් රු. 40 මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර, එම ප්‍රවේශපත්‍ර නොමැතිව කිසිදු සංචාරකයෙකුට අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට තහනම් කරයි තිබෙන්නේ.

ඒ අනුව ඉකුත් (04) දින සිට එම කාර්යාල දෙකෙන්ම (2) දෙස් විදෙස් සංචාරකයන් සදහා මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝ රත්නය , නල්ලතන්නිය ප්‍රදේශවාසින් සහ ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි විදේශිය සංචාරකයින් පිරිසක් එක්ව (08) දින විරෝධතාවයේ නියැලි සිටියා.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය , ත්‍රිරෝද රථ සහ වෑන් රථ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

එම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රි පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත හේවිසි වාදන මැද්දේ පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධය දක්වා එම කාර්යාලයේ සේවයේ යෙදි සිටින වනජිවි නිලධාරින් වෙත වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සදහා විරෝධය පාමින් සංදේශයක්ද භාරදුන්නා.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථාන මාර්ගය වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් හරහා ස්ථාපනය කර තිබුණද එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ එම මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන්, සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මැදිහත් විමෙන් බවයි.

ඒ සදහා වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබානොදෙන බවද උන් වහන්ගේ පැවසුවා.

නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්. ශාන්ත කුමාර මහතා කියා සිටියේ අවාරයේදි ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා දෙස් විදෙස් සංචාරකයන් ඉතා සිමිත ප්‍රමාණයක් ඉර සේවය නැරඹිම සදහා පැමිණෙන බවත්, එම සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම තුලින් අවාරයේ එම පිරිස ශ්‍රි පාදස්ථානයේ සංචාරය කිරිමෙන් වැලකි සිටිමේ අවධානමක් පවතින බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටද නල්ලතන්නිය ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය දක්වන ලිපි යොමු කිරිමට පියවර ගෙන ඇති බව ද පැවසුවා.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය අනුව ශ්‍රි පාදස්ථානයට රක්ෂිතය හරහා පිවිසෙන සංවර්ධනය නොකළ මාර්ග වල පැමිණෙන සංචාරකයන්ගෙන් පමණක් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට ගැසට් පත්‍රයේ සදහන් කර තිබියදි නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන මාර්ගයේ සහ රත්නපුර ශ්‍රි පාදස්ථාන මාර්ගය ස්වාභාවික මාර්ග නොවන බවත්, එය ඉදිකල මාර්ගයක් නිසා එම මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *