සිපෙට්කෝ, සිනොපෙක් සහ IOC ඉන්ධන මිල ඉහළට
(01.10.2023 – 22:36 +0530 – hirunews.lk/sinhala)
සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 361 ක් වන අතර, නව මිල රුපියල් 365 ක්.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් ඉහළ දමා තිබෙනවා. - ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 417 ක් වන අතර, නව මිල රුපියල් 420 ක්.
ඒ අනුව ඔක්ටේන් 52 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා තිබෙනවා. - ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 341 ක් වන අතර, නව මිල රුපියල් 351 ක්.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. - සුපර් ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 359 ක් වන අතර, නව මිල රුපියල් 421 ක්.
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 62 කින් ඉහළ දමා තිබෙනවා. - භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 231 ක් වන අතර, නව මිල රුපියල් 242 ක්.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම අද (01) සවස 06:00 සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
- ඒ රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින්,
- රුපියල් 414 ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක් ලෙස රුපියල් 06 කින්,
- රුපියල් 338 ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද මිල ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත් සිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදුකර නැහැ.
වීඩියෝව :
+
එප්පාවල ගමක මරණාධාර සමිතියකින් ලක්ෂ 450 ක් අතුරුදහන්
(01.10.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර එප්පාවල කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අවමංගල්‍යාධාර සමිතියකින් රුපියල් ලක්ෂ 450 ක මුදලක් වංචා කළ එහි නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (01) විරෝධතාවක නිරත වුණා.
ඒ එම මුදල් චංචා කළ බවට පැවසෙන නිලධාරීන්ගේ නිවෙස් ඉදිරිපිටයි.
විරෝධතාව සඳහා 500 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
+
ඔන්ලයින් ක්ෂණික ණය ගන්න එපා – අගතියට පත්වූවන්ගේ සංගමය ඉල්ලයි
(01.10.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍ය ජාලා හා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධික පොලී අනුපාතයන් යටතේ කිසිදු නීතිමය රාමුවකින් තොරව මුදල් ලබා දෙන ආයතන හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ‘ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය’ චෝදනා කරනවා.
මේ වන විට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්ෂණිකව ණය මුදල් ලබා දෙන පුද්ගලයින් සහ ආයතන පිළිබඳ කතා බහට ලක් වනවා.
එවැනි ආයතන වලින් ක්ෂණික ණය ලබා ගත් ඇතැම් පුද්ගලයින් මේ වන විටත් තමන් මුහුණ පෑ ඇති අපහසුතාව පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි පවා ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
එවන් පසුබිමකයි සමාජ මාධ්‍ය ජාලා හා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබා ගෙන අපහසුතාවයට පත් වූ පිරිසක් ‘ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය’ යනුවෙන් සංගමයක් පිහිටුවා කොළඹදී අද (01) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ෴
පාසල් ළමුන්ට මත්පෙති අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
(01.10.2023 – 22:14 +0530 – sinhala.adaderana.lk)
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව අද (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවසේ සඟවා තිබූ මත්පෙති 1,080 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴
අංගම්පිටිය ග්‍රාමීය බැංකුව කඩා – රුපියල් කෝටි 6 ක උකස් බඩු සොරාගෙන
(02.10.2023 – dinamina.lk)
වෙන්නප්පුව අංගම්පිටියේ පිහිටි ග්‍රාමීය බැංකුවට හොරු පැන සේප්පුව කපා රුපියල් කෝටි 6 කට අධික වටිනාකමක් ඇති උකස් ලෙස ලබාගත් රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇත. මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා සවස 01:45 ට බැංකුව වසා දැමීමෙන් පසුව බවත් බැංකුවට හොරු පැන ඇති බව අනාවරණය වී ඇත්තේ පෙරේදා (30) උදෑසන 08:30 ට නැවත විවෘත කිරීමේදී බවත් එහි කළමනාකාරිණිය විසින් වෙන්නප්පුව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.
මෙම ග්‍රාමීය බැංකුව පිහිටා ඇත්තේ නගරයෙන් ඈත ගම්මානය තුළ බව පොලිසිය කියයි. මෙහි සේවයේ නිරතව සිටින්නේද කළමනාකාරිණිය ඇතුළු සේවිකාවන් තිදෙනෙකු (3) පමණක් බව පොලිසියට නිරීක්ෂණය වී ඇත.
දීර්ඝ සති අන්ත නිවාඩුව ඉලක්කරගෙන මෙම සොරකම සැළසුම්කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ග්‍රාමීය බැංකුව පිහිටි ගොඩනැඟිල්ලෙහි කුඩා ජනේලයක පියන විවෘතකර එහි යකඩ ග්‍රිල් එක ග්රයින්ඩරයකින් කපා ග්‍රාමීය බැංකුවට සොරා හෝ සොරුන් ඇතුළු වී ඇති බව පොලිසිය කියයි. පොලිසිය විශ්වාස කරනු ලබන්නේ බොහෝ විට මෙම සොරකම තනි පුද්ගලයකුගේ වැඩක් විය හැකි බවය.
සේප්පුව කපා ඇත්තේද ග්රයින්ඩරයකිනි. ගෙවුණු තල 08 ක්ද බිම තිබී හමුවී ඇත. බොහෝ විට සොරා විසින් භාවිත කරනු ලබන්නේ නැවත ආරෝපනය කළ හැකි බැටරි භාවිත කරනු ලබන ග්‍රයින්ඩරයක් විය හැකි බව පොලිසිය විශ්වාස කරයි. පසුගිය වසරේ සිට දිගින් දිගටම රටපුරා තැපැල් කාර්යාල රැසක් ද සේප්පු කපා මුදල් හා මුද්දර සොරාගෙන ගොස් තිබුණේ ද මේ ආකාරයටය.
මෙම ග්‍රාමීය බැංකුවේ ඇති සේප්පුවේ කුටීර 26 ක් ඇති බවත් එයින් කුටීර 07 ක්ම කපා ඇති බවත් පොලිසිය කියයි. රුපියල් කෝටි 06 කට අධික රන් භාණ්ඩ තිබී ඇත්තේ එම කුටීරවලය. සෙසු කුටීරද කපා එහි ඇති රන් භාණ්ඩද සොරාගත්තේ නම් සොරාගත් රන් භාණ්ඩවල ප්‍රමාණය දෙතුන් ගුනයකින් ඉහළ යාමට ඉඩ තිබී ඇත.
මෙම සොරකම සිදුකර රන් භාණ්ඩ රැගෙන සොරා හෝ සොරුන් පළාගොස් ඇත්තේ ග්‍රාමීය බැංකුවේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත පටිගත යන්ත්‍රය ද රැගෙන බව පොලීසිය කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ
හිස, දෑත් වෙන් කළ කතගේ මරණයේ සුල මුල එළියට – ධනවත් ව්‍යාපාරිකයාගෙන් පමණ ඉක්මවා ප්‍රයෝජන ගත්තාදැයි සැක
(02.10.2023 – dinamina.lk)
- සියඹලාපේ නිවෙසකින් ලේ පැල්ලම් කාන්තා කෙස් කොටස්
- සැකකාර සුධීරගේ මෝටර් රථය නුවරඑළියෙන් සොයාගනී
- පදිංචිය මුල්ලේරියාවේ – සිරුර සපුගස්කන්දේ
ඇය ප්‍රදීපා සිල්වාය. පදිංචිව සිටියේ මුල්ලේරියාව තෝමස් චොන්ගමය. අවුරුදු 52 ක් වයස ඉක්මවා සිටියත් ඇය එතරම් වයසැති කතක්දැයි කියන්නට බැරි තරමට ඇගේ තරුණ පෙනුම රැකගෙන සිටියාය. අංගොඩ පැත්තේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඇය විවාහක තැතැත්තියක් වූවාය. ඇගේ සැමියා වැදගත් රැකියාවක නිරත වූ විශ්රාමිකයෙකි. ඔවුන්ට දාව දියණියෝ තිදෙනෙක් (3) සිටිති. ඉන් දෙදෙනකුම (2) සිටින්නේ විදෙස්ගතවය. මේ දිනවල සැමියාද සිටින්නේ වැඩිමහල් දියණිය ළඟ ඔස්ට්‍රේලියාවේය. කෙසේ වෙතත් මේ යුවළ බොහෝ කලක සිට වෙසෙන්නේ වෙන් වෙන්වය.
ප්‍රදීපාට අංගොඩ හා ඒ අවට ප්‍රදේශවල ගේදොර හා නිවාස කිහිපයකි. ඒවා මිල අධික දේපොළය. එම නිවාස කුලියට දීම ඇගේ ආදායම් මාර්ගයකි. ඇයට පොලිසියේද මිතුරන් නැත්තේම නැත. ඒ අතර තරු පටි පැලඳි අය බොහෝය. ඒ නිසාම ඇය සිවිල් බලයක්ද ඒ මඟින් ගොඩනගාගෙන සිටියාය. එහෙත් එසේය කියා කිසිවිටකත් ඇය ඒ බලයෙන් හිස උදුම්වාගෙන කිසිවකුටත් වචනයකින් හෝ හිරිහැර කිරීමට හෝ හිංසා කිරීමට ගියේ නැත. සිදු වූයේ ඇයට ඇති සම්බන්ධය දැන සිටි අය ඇයට බය පක්ෂපාතකම් පෑමය.
මේ කාන්තාව තෝමස් චොන්ගම පිහිටි නිවෙසේ ඒ වන විට ජීවත්වෙමින් සිටියේ තනිවමය. ඇය පසුගිය 27 දා උදෑසනම හැඳ පැලඳගෙන සිය නිවෙසින් එළියට බසින්නේ ලොකු ගමනක් යෑමේ සූදානමක් ඇතිවය. ඇය බොහෝ විට අංගොඩ හන්දියට හෝ ඒ අවට කඩ මංඩියකට යන්නේ නම් ඒ යන්නේ පාගමනින්ය. ත්‍රිරෝද රථයකට ගොඩ වන්නේ නම් ඒ දුර ගමනක් යන විට පමණි. මෙදින උදෑසන ඇය කිට්ටුව පාත හිතවතියකගේ නිවෙසකට ගොඩවන්නේ ඇයත් සමඟ යම් කතාබහක් කරන්න තිබුණු බැවිනි. ඇය එහි යන විට දන්නා කියන හිතවතියක්ද එහි පැමිණ සිටියාය. ඇය ආයුර්වේද වෛද්‍යවරියකි. මඳ වේලාවක් ඒ හිතවතියගේ නිවෙසේ ගත කළ ප්‍රදීපා ඒ නිවෙසින් එළියට බසින්නේ ආයුර්වේද වෛද්‍යවරියත් සමඟිනි. හිතවතියගේ නිවෙස අසලින් ඇය ආයුර්වේද වෛද්‍යවරියත් සමඟ ත්‍රිරෝද රථයකට ගොඩ වන්නේ කොටිකාවත්තේ පදිංචි සිය සහෝදරියකගේ නිවෙසට යන බව පවසමිනි. ඒ යන අතරතුර මීගමුවේ පදිංචි ඇයගේ බාල දියණියගෙන්ද උදෑසන 08:50 ට පමණ දුරකතන ඇමතුමක් ආවේය : “මම කොටිකාවත්තේ ලොකු අම්මලාගේ ගෙදර යනවා” ඇය එහිදී දියණියටද එසේ පැවසුවාය.
මෙදින රාත්‍රී 11:30 ට පමණ මුල්ලේරියාව පොලිස් ස්ථානයට කලබලයෙන් දිව එන්නේ ප්රදීපාගේ බාල දියණියයි. ඒ එන්නේ මීගමුවේ සිටය. ඒ එදින උදෑසන 09:20 න් පසු තම මවගේ දුරකතනය ක්‍රියා විරහිතව ඇති බව සඳහන් කරමිනි. මොන දේ වුවත් ඇය කිසි දින දුරකතනය ක්‍රියා විරහිත නොකරන බැවින් දියණියට ඒ ගැන ගෙන දුන්නේ දැඩි සැකයකි. ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට එන්නේ එබැවිනි. ඒ වන විට බොහෝ රෑ බෝ වී තිබීම නිසා පොලිසියට ක්ෂණිව කරන්නට කිසිවක් ඉතිරිව නොතිබිණි. එබැවින් පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඒ.ජී.එස්. සුසන්ත තීරණය කරන්නේ පසුදින උදෑසනම ඇය සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නටය. ඒ ඇය උදෑසන නැවත නිවෙසට නොපැමිණිය හොත්ය.
28 දා උදෑසනම දියණිය නැවතත් පොලිසියට එන්නේ මව ගැන කිසිදු තොරතුරක් නැති බව කියාගෙනය. ඒ වන විට මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති සුසන්ත මහතාද වැඩ පටන්ගෙන සිටියේ ඇය සොයා මෙහෙයුමක් සැලසුම් කරමිනි. ඒ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) සොයිසා ඇතුළු කණ්ඩායමක් සමඟ එක්වය. ඒ වන විටත් සොයාගෙන තිබුණු තොරතුරුවලට අනුව ඇය සමඟ ත්‍රිරෝද රථයේ නැඟී ගමන් කළ ආයුර්වේද වෛද්‍යවරිය අංගොඩ හන්දියෙන් බැස ඇත. ප්‍රදීපා ඇයටත් පවසා ඇත්තේ තමා කොටිකාවත්ත බලා යන බවයි. එහෙත් ඇය කොටිකාවත්තට ගොස් නැති බව ඒ වන විටත් විමර්ශනවලින් අනාවරණය වී තිබිණි. මෙහිදී ඇගේ ජංගම දුරකතනයේ ඇති මෘදුකාංගයක් ඔස්සේ ඇගේ දියණියගේ සහාය ඇතිව විද්‍යාත්මක විමර්ශනයක් කළ පොලිස් විර්ශකයෝ ඇය අතුරුදන් වූ දින ගමන් කර ඇත්තේ කොටිකාවත්ත දෙසට නොව, කඩුවෙල දෙසට බව අනාවරණය කරගත්හ.
ඒ සියුම් විමර්ශනයේදී හෙළි වන්නේ ඇය ඒ අතරමඟ ඇති මෙරට ප්‍රසිද්ධ කෙටි ආහාර අලෙවි ස්ථානයකටද ගොඩවැදී ඇති බවයි. ඒ ස්ථනය පැහැදිලිවම අනාවරණය කරගත් මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් එම කෙටි ආහාර අලෙවි ස්ථානයේ ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද කර ඇත්තේ සැබෑ ලෙසම ඇය එම ස්ථානයට පැමිණියේද ඇය සමඟ තවත් කවුරුන් හෝ පැමිණ තිබේද යන්න සනාථ කරගන්නය. ඇය පාගමනින් ඒ කෙටි ආහාර අලෙවි ස්ථානයට ගොඩවදින අයුරු කැමරා කාචයේ පැහැදිලිවම සටහන්ව ඇති ආකාරය මෙන්ම එහි රථ ගාලේ නවතා ඇති වාහනයකට ඇය තට්ටුවක් දමමින් පැමිණෙන ආකාරය පවා එහි විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වන්නේ එහිදීය. එම තට්ටුවෙන් පසු මෝටර් රථයේ රියැදුරු අසුනේ රැඳී සිටි පුද්ගලයාද ඉන් බැස කෙටි ආහාර අලෙවි ස්ථානයට ඇතුළු වන බවද කැමරා දර්ශනවල පැහැදිලිවම සටහන්ව තිබෙනු විමර්ශන නිලධාරීහු දුටහ. මඳ වේලාවක් එහි රැඳී සිටිමින් කෙටි ආහාර මිල දී ගෙන ඒවා භුක්ති විදින ඔවුන් එම ස්ථානයෙන් පිටව යන්නේ මෝටර් රථයේ නැඟීය. ආහාර මිල දී ගැනීම සඳහා ගෙවීම් කරනු ලබන්නේද ඇය විසිනි.
මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ගේ අවධානයට මෙහිදී යොමු වන්නේ ඔවුන් කෑ-බී දේවල් නොව, ඇය ගොඩ වී ගමන් කළ මෝටර් රථය ගැනය. එහි අංකය සටහන් කරගත් පොලිස් නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් එහි හිමිකරු ගැන තොරතුරු සොයා බැලූහ. එහිදී තොරතුරු ලැබෙන්නේ ඒ මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු සියඹලාපේ අයකු බවටය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සියඹලාපේ බලා යන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලද ලිපිනය සඳහන් නිවෙස සොයාය. ඒ වන විට ඒ නිවෙසේ පදිංචිව සිටින්නේ වෙනත් පිරිසකි. නිවෙසේ හිමිකරු ඊට පෙර දින නිවෙසේ තිබුණු බඩු මුට්ටු අස්පස් කරගෙන නිවෙස වෙනත් අයෙකුට කුලීයට දී පිටත්ව ගොස් ඇත්තේ 27 දාය. අලුත් අය ඒ නිවෙසේ පදිංචියට පැමිණ ඇත්තේ 28 දාය. මේ නිවෙසේ හිමිකරු ඒ කිට්ටුවපාත නිවෙසක පදිංචිව සිටින බවට තොරතුරක්ද මෙහිදී පොලිස් නිලධාරීන්ට අලුත පදිංචි අයගෙන් ලැබෙන්නේ දීර්ඝ ලෙස ඒ අයගෙන් තොරතුරු විමසීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ඒ තැන පිහිටා තිබුණේ කිලෝ මීටරයක් පමණ දුරක් ගිය තැනය. එය වසා දැමුණු සුවිසල් නිවෙසකි. එහි කිසිවෙකුත් ඒ වන විට වාසය නොකරන බව බැලූ බැල්මටම පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. ඒ නිසාම එම නිවෙස පිහිටි ගෙවත්තට ඇතුළු වීමට නිලධාරීන්ට සිදු වන්නේ තාප්පයෙන් පැනය. ඒ ගිය ඔවුන් ගෙවත්තේ හැම තැනක්ම සියුම් ලෙස පරීක්ෂා කරන්න වූයේ සැකකටයුතු කිසිවක් එහි තිබේදැයි සොයාය. තැන තැන භූමිතෙල් දමා පිරිසිදු කර ඇති බවක් පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එහිදීය. නිවෙසේ පෝටිකෝව තිබුණේ භූමිතෙල් දමා සෝදාය. අඩවල් කර තිබුණු දොරකින් මෙහිදී පොලිස් නිලධාරීන් නිවෙස තුළට රිංගා පරීක්ෂා කරන්න වූයේ යම් අපරාධයක සේයාවක් මෙහි පෙනෙන්න වූ බැවිනි. පොලිස් නිලධාරීන්ගේ නාස්පුඩුවලට වැගිරුණු රුධිරයක කුණු ගඳක් දැනෙන්න ගන්නේත් බාගෙට සේදුණු ලේ පැල්ලම් නිවෙසේ ස්ථාන කිහිපයක තිබෙනු නිරීක්ෂණය වන්නේත් එහිදීය. මේ දෙමහල් සුවිසල් නිවෙස ඇතුළත මෙන්ම පිටතත් පරීක්ෂා කළ පොලිස් විමර්ශකයන්ට කාන්තාවකගේ යැයි සැක කළ හැකි කෙස්ගස් සමඟ තවත් සැකකටයුතු යමක් හමු වන්නේ නිවසේ පිටුපස කසළ ගොඩක තිබියදීය. ඒ අනුව පැහැදිලි වන්නේ මේ නිවෙස තුළදී ප්‍රදීපා යම් අනතුරකට ලක්ව ඇති බවයි.
ඒ වන විටත් පොලිසිය මේ නිවෙසේ හිමිකරු ගැන බොහෝ දේ අනාවරණය කරගෙන තිබිණි. නිවෙස් හිමිකරු සුධීර ය. ඔහු ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 57 ක් පමණ වන ඔහු සහ ප්‍රදීපා අතර වයසර 20 ක පමණ කාලයක් තිස්සේ ඉතා සමීප සම්බන්ධයක් තිබී ඇත. සුධීරත් විවාහකයෙකි. ඔහුටද දරුවන් දෙදෙනකු (2) සිටින බවත්, ප්‍රදීපාට සුධීර මිල මුදල් ගේදොර ඉඩකඩම් පවා දී ඇති බවත් කියැවිණි. සුධීර සිට ඇතැයි පැවසෙන්නේ ප්‍රදීපාගෙන් ගැලවෙන්නට විදිහක් නැතිව බවට වූ සැකයක්ද මේ වන විට මතු වෙමින් ඇත. එදා ඔහුව සොයා ඇය ගොස් ඇත්තේද කීයත් හරි ඉල්ලා ගන්න විය හැකි යැයි සැකයක්ද මේ වන විට මතුව ඇත. ඇය අතුරුදන් වන්නේ ඒත් එක්කමය.
ඇගේ අතුරුදන් වීම, සියඹලාපේ නිවෙසේ ලේ පැල්ලම් හමු වීම අපරාධයක සලකුණක් වූ බැවින් මේ ගැන මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති සුසන්ත සිය උසස් නිලධාරීන්ටද පවසා දැනුවත් කරනු ලබන්නේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාවය. ඒ අපරාධයක සලකුණු ඇත්තේ සපුගස්කන්ද පොලිස් වසමේ වූ බැවිනි. ඒ වන විටත් ප්රදීපාගේ අතුරුදන් වීම පොලිස්පොතේ සටහන්ව පැය 24 ක කාලයක්වත් ගෙවී ගොස් තිබුණේ නැත. සපුගස්කන්ද පොලිසියට මේ ගැන දැනුවත් කිරීමත් සමඟ මුල්ලේරියාව පොලිසියට පෙරළා දැනගන්න ලැබෙන්නේ සපුගස්කන්ද පොලිස් වසමේ, කොට්ටුන්න ඔයේ ගස් අතර සිර වී ඇති නිරුවත් කාන්තා සිරුරක් හමු වීමක් ගැනය. ඒ සිරුරේ හිස නැත; අත්පා කොටස්ද නැත. ඒ සියල්ලක්ම කපා ඉවත් කරදමාය. ඒ සිරුර කාන්තා සිරුරක් බව හඳුනාගන්න ඇත්තේ ඇගේ නාරි ලක්ෂණවලින් පමණි. එම සිරුර වෙන කාගේවත් නොව, ප්රදීපාගේ බව මේ වන විටත් ඇගේ පවුලේ උදවිය හඳුනාගෙන හමාරය. මේ දිනවල අධික වර්ෂාව හේතුවෙන් ගංගා ඇළ දොළවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් සිරුරේ කොටස් ජලයට වෙන වෙනම දමා ඇති බවත්, ඒවා ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය මේ වන විට සැක කරයි. ඇය මෙසේ අමානුෂික ලෙස මරාදැමුවේ ඇයිදැයි කියා දැනගැනීමට හැකිවන්නේ සුධීර කොටු කරගැනීමෙන් පමණි. ඊයේ (01) වන විටත් සුධීර සිටියේ පොලිසියට කට්ටි පනිමිනි. සුධීරගේ වාහනය පවා පොලිසිය ඊයේ (01) සොයාගත්තේ නුවරඑළියේ දමාගොස් තිබියදීය. ඒ වාහනය රැගෙන එන්නට මහාබාගේ පොලිසියේ කණ්ඩායමක්ද නුවරඑළියට ගොස් තිබිණි. ඒ කණ්ඩායම සුධීර කොටු කරගැනීමේ උත්සාහයකද ඊයේ (01) වන විට නිරතව සිටියේය.
මේ වන විට ඇයගේ දේහය රාගම මහරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහර වැඩ බලන මහේස්ත්‍රාත් සමන් විදානපතිරණ මහතා විසින් ඉකුත් සිකුරාදා (29) දහවල් අදාළ නිවෙස හා මළ සිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කරන ලදි. ඒ මළ සිරුරේ හිස හා අත්පා සොයාගැනීම සදහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන හෙයින් ඇයගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට තව දින කීපයක් ගත වන බව පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ, මල්වාන සමූහ – මහානාම විතානගේ, මුල්ලේරියාව – එස්. ගමගේ
++++++++++
++++++++++
කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ සැකකරු භාරවෙයි
(02.10.2023 – 14:43 +0530 – sinhala.adaderana.lk)
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය වෙත භාරවී තිබේ.
ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී ඇත.
මෙහිදී ඝාතනයේ ප්‍රධාන සැකකරු සඳහා සහාය වූ බවට පැවසෙන අයෙකුද පොලීසිය වෙත භාරවී ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු සියඔලාපෙ දකුණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන අයෙකි.
කපුමහතෙකු වන සිද්ධියේ දෙවන සැකකරු 53 හැවිරිදි වියේ පසුවන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා එම සැකකරු ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවටය.
මේ අතර සැකකරුවන් පොලීසිය වෙත භාරවන අවස්ථාවේ කාන්තා මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද පොලීසිය වෙත රැගෙනවිත් ඇත.
මේ වනවිට සැකකරුවන්ගෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටී ෴
++++++++++++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴