‘හරක් කටා’ පන්නන්න හැදූ පීසීගේ සහ රියැදුරුගේ දුරකතන කඩවත හෝටලයක් ළඟදී පුච්චලා

‘හරක් කටා’ පන්නන්න හැදූ පීසීගේ සහ රියැදුරුගේ දුරකතන කඩවත හෝටලයක් ළඟදී පුච්චලා


‘හරක් කටා’ පන්නන්න හැදූ පීසීගේ සහ රියැදුරුගේ දුරකතන කඩවත හෝටලයක් ළඟදී පුච්චලා

(30.09.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක් කටා’ට පැන යෑමට සැලසුම් කර තිබූ අසාර්ථක මෙහෙයුමේදී කොස්තාපල්වරයා සහ ‘හරක් කටා’ කැටුව යෑමට සූදානම් කර තිබූ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකතන දෙකක් කඩවත ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුලුස්සා තිබියදී ඊයේ (29) සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙම සැකකාර කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ඉකුත් 10 දා රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සහ මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග කලවම් කර සාදන ලද කිරිටොෆි දී මත් කර, හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට තැත් කර, එය අසාර්ථක වීමෙන් අනතුරුව පලා ගොස් අදට (30) දින 20 ක් ගත වී තිබෙනවා.

‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ඒමෙන් අනතුරුව ඔහු රැගෙන යෑමට ඉකුත් 10 දින සූදානම් කර තිබූ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ සහායකයා වැලිගම මුහුදු පාරේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට දුවගෙන පැමිණෙන අවස්ථාවේ සිට මෝටර් රථයෙන් කඩවතට යන අවස්ථාව දක්වා ‘මිදිගම රුවන්’ නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය මෙන්ම රියැදුරු වන සැකකරු ‘මිදිගම රුවන්’ නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය කඩවත අධිවේගී මාර්ගයට පිවිසුම ආසන්නයේ ශ්‍රමදාන මාවතේ හෝටලයක් අසල කසළ ගොඩකට දමා ගිනි තැබූ බව අනාවරණය වීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අඩක් පිලිස්සී තිබූ දුරකතන දෙක සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය පැවසුවේ එම ජංගම දුරකතන දෙකෙහි (2) ඉතා කුඩා කොටසක් පමණක් පිලිස්සී තිබූ බැවින් විමර්ශන සඳහා යොදාගෙන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව පවතින බවයි ෴

+++++++++

‘හරක් කටා’ගේ පලායාම සැලසුම් කිරීමට සහය දුන් තවත් කොස්තාපලයෙකු අත්අඩංගුවට

(30.09.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

‘හරක් කටා’ගේ පලායාම සැලසුම් කිරීමට සහය දුන් සිද්ධියට අදාලව තවත් පොලිස් කොස්තාපලයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි.

එසේම ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමට තැත් කිරීමට අදාළ ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙනවා ෴


හිමිනමක් ඝාතනය වෙයි

(30.09.2023 – 20:29 +0530 – sinhala.adaderana.lk)

පොතුහැර, ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන්ව තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (29) රාත්‍රීයේ එම ඝාතනය සිදුකර ඇති බව පොතුහැර පොලීසිය පවසයි.

64 හැවිරිදි සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී එසේ ඝාතනයට ලක්වී ඇත.

මෙම හිමියන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.

මිය ගිය දින රාත්‍රී කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවළටද නිවසින් පිටව යන ලෙස පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.

එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවද හිමිනම සමඟ සිටි පුද්ගලයා එම ඝාතනයට සම්බන්ධ බවටද පොලීසිය සැක කරයි.

සැකකරුවන් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ප්ලාස්ටික් තහනම අද (01) සිට තදින්ම

(01.10.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ප්‍රදර්ශනය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ඉහත සඳහන් කාණ්ඩයේ ප්ලාස්ටික් භාණ්ඩ තහනම අද (01) සිට නීතියට ක්‍රියාත්මක කරන බවයි ෴


අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 03 ක ජනතාවට පීඩා

(01.10.2023 – 07:59 +0530 – sinhala.adaderana.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 03 ක පන්දහසකට (5000) අධික පිරිසක් පීඩාවට පත් ව සිටිති.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 1275 කට අයත් පුද්ගලයන් 5051 දෙනෙකු මෙලෙස පීඩාවට පත් ව සිටින බවයි.

රත්නපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්වලට, පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළුගඟ, ගිංගඟ සහ නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, වර්ෂාපතන තත්ත්වය තවදුරටත් පවතින බැවින් දිවයිනේ දිස්ත්‍රික් 08 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

මේ අතර, අද (01) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවති‍යි.

+

+


මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට

(01.10.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ඔස්සේ පිටරට රැකියාවලට යවන බව පවසමින් දිවයින පුරා මහා පරිමාණයෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පසුගිය 28 වන දා නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 වයසැති ‘සිරිමල් ප්‍රියන්ත’ නමැති පුද්ගලයෙක්.

සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් වංචනික ලෙස රුපියල් එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් (රු. 1,37,000) ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිණීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් තෙරුවන් සරණ පතා දුරකතන ඇමතුම ආරම්භ කර කථා කර තිබෙනවා.

තමන් මල්වත්තේ මහ නායක ස්වාමින් වහන්සේ බවත් තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත්, තම මිතුරකු ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයකු ලෙස පවසා මුලින්ම තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවෙසක් මිල දී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩනඟා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බවට පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි නුවරඑළිය පොලිසිය පවසන්නේ.

ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ තිස් දාහක (රු. 1,37,000) මුදලක් පමණක් ගෙවිය යුතු බව සඳහන් කරමින් එම මුදල් ඔහු සතු බැංකු ගිණුම්වලට ගෙන්වා ගෙන මහා පරිමාණයේ මුදල් වංචාවන් රාශියක් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා දීමට ද මෙම පුද්ගලයාම කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කර ගැනීමේදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වාගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබා දී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100 ත් 120 ත් අතර ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී දුරකථන 11 ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම් උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට් පත් විශාල ප්‍රමාණයක්, විවිධ නම්වලින් සකස් කරන ලද නිල මුද්‍රා තොගයක්, දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක්, විවිධ පුද්ගලයන්ගේ නම්වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වි තිබෙනවා.

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15 කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් විවාහයන් කිහිපයක් ද සිදු කර ඇති බවත්, එම විවාහයන්ගෙන් දරුවන් ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් බහු විවාහයන් සිදුකර ගත් කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට තොරතුරු තහවුරු ව් ඇති බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙම පුද්ගලයාට විරුද්ධව ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්වල නම්ගම්වලට අනුව මතුගම, මහර, පන්නිල, කොළඹ කොටුව, කෑගල්ල, දඹුල්ල , නුවරඑළිය, ගාල්ල බලපිටිය, අනුරාධපුරය, නුගේගොඩ, කළුතර, අලුත්කඩේ යන අධිකරණවල මුදල් වංචා කිරීම්, අධිකරණය නොමග යැවීම, බහු විවාහයක් සිදු කිරීම, වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූඨ ලේඛන සැකසීම ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව නඩු විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මනගේ හා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා ෴


මෙවර උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සිසුන්ට වෘත්තීය පුහුණුව

(01.10.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීමෙන් පසු මෙම වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50% කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි පවසා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගින්තොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙයට අදාළ කැබිනට් පත්‍රීකාව සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් පසු පාසල් පොකුරු සංකල්පය ද භාවිත කරමින් ආරම්භ කරන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව පැවැත්වීම වැනි මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිතභාවය අවම කර නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එය රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික සමාජ අභියෝගයන් ජයගැනීමට පිටුබලයක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කොට සිටියා.

එසේ ම එය අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයේ එක් සංධිස්ථානයක් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *