‘ෆුල්ෆේස්’ හෙල්මට් පැලඳ මන්නයක් පෙන්වා මහ දවාලේ කොල්ලකෑම් හයක් (6) කරලා

‘ෆුල්ෆේස්’ හෙල්මට් පැලඳ මන්නයක් පෙන්වා මහ දවාලේ කොල්ලකෑම් හයක් (6) කරලා


‘ෆුල්ෆේස්’ හෙල්මට් පැලඳ මන්නයක් පෙන්වා මහ දවාලේ කොල්ලකෑම් හයක් (6) කරලා

(27.09.2023 – dinamina.lk)

පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලඳ මන්නයක් රැගෙන පින්වත්ත ගාලු පාරේ සුපිරි වෙළෙඳ සැලකට මහ දවාලේ ඇතුළු වී රුපියල් පනස්එක්දහසක් (51,000) සහ එහි පැමිණ සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු (2) මාදුපිටිය ප්‍රදේශයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකුගේ (2) ගෙල බැඳි රන්මාලයක්, ජංගම දුරකතනයක් සහ අත්බෑගය ද කොල්ලකා පලා ගොස් ඇති බවට ලද පැමිණිලි මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එක් පුද්ගලයකු යතුරුපැදිය පණගන්වාගෙන සිටියදී අනෙක් සැකකරු මන්නයක් රැගෙන සුපිරි වෙළෙඳ සැලට ඇතුළුව මුදල් අයකැමි බියගන්වා ලාච්චුවේ තිබූ රුපියල් 51,000 ක් පමණ කොල්ලකා, එහි භාණ්ඩ මිල දී ගැනීමට පැමිණ සිටි කාන්තාවක ද බියගන්වා ඇයගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් පාණදුර මාදුපිටිය ප්‍රදේශය ඔස්සේ පලායමින් සිටියදී මහමඟ ගමන්ගත් කතුන් දෙදෙනෙකු (2) ද බියගන්වා එක් තරුණියකගේ ගෙල බැඳි රන්මාලයක් කඩාගෙන, අනෙක් තරුණියගේ ජංගම දුරකතනය සහ අත්බෑගය කොල්ලකා ඇති බවටද හෙලිව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එදිනම බණ්ඩාරගම සහ අළුබෝමුල්ල ප්‍රදේශවලද රන්මාල කොල්ලකෑම් දෙකක් (2) වාර්තාවන බවත් එකී සොරකම්ද සැකකරුවන් විසින්ම සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.

වෙළෙඳ සැලේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර සැකකරුවන් හඳුනාගත් බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් පාණදුර උසස් පොලිස් නිධාරීයෙක් පැවසීය ෴


ආරක්ෂක නිලධාරිනියගේ ගෙල බැඳි රන් මාලය පිහියක් පෙන්නා කොල්ලකාලා

(27.09.2023 – dinamina.lk)

හොරණ වවුලුගල මාර්ගයේ පාගමනින් යමින් සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරිනියකගේ ගෙල බැඳි රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ දෙකක (2) පමණ දේපොළ යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු (2) පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

සොරාගෙන ගිය දේපොළ අතර, පවුමක් බර රන් මාලයක්, ජංගම දුරකතනය, රුපියල් 2000 ක් තිබූ අත් බෑගය ද කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

කොල්ලකරුවෙකුගේ අතේ තිබූ පිහිය වැදීමෙන් ආරක්ෂක නිලධාරිනියගේ වම් අතේ මැණික් කටුව අසල තුවාල සිදුවී ඇති අතර, ඇය එම අවස්ථාවේ බිම වැටීම හේතුවෙන් වම් පාදයේ දණහිසට පහළින් ද තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි. කිරිඇල්ල ඉඩංගොඩ ප්‍රදේශයේ පදිංචි ඇය සුපුරුදු ලෙස බස් රථයෙන් පැමිණ හොරණ බස් ඩිපෝව අසලින් බැස වවුලුගල මාර්ගයේ රැකියාව කරන ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත පාගමනින් යමින් සිටියදී ඇය ඉදිරිපිටට පැමිණ තිබූ දෙදෙනෙකු (2) රැගත් යතුරුපැදිය ඇය අසල නවතා අයකු බැස ඇය අසලට පැමිණ මෙම කොල්ලය සිදු කර ඇති බව පොලිසිය පවසයි ෴


රුපියල් කෝටි 12 ක රත්‍රං තොගයක් කටුනායක දී රේගු භාරයට

(27.09.2023 – dinamina.lk)

රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් (12,30,00,000) වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු (4) සහ එක් (1) පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් (2) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මින් පළමු ගුවන් යානය 09/27 දින අලුයම 01:10 ට ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයේ FZ-569 දරන ගුවන් යානයෙන් කාන්තාවන් තිදෙනකු (3) සහ පිරිමි පුද්ගලයා (1) ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව ඩුබායි සිට 09/27 දින අලුයම 05.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් තවත් එක් (1) කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසකි.

ඔවුන් සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 06 ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම පිරිස අත් අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

+


අන්තර්ජාලය ඔස්සේ නිරුවත ප්‍රදර්ශනය කර මුදල් ඉපයූ කාන්තාවක් අත්අඩංගුවට

(27.09.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

මුදල් අයකරමින් සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඊයේ (26) ඇය ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනුයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ.

සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරනු ලැබුවා.

අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ගිණුමට මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට ඇය සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර ඒ සඳහා ඇය විනාඩියකට රුපියල් 1000 ක් බැගින් අයකරගෙන ඇති බවත් වෙන්කර ගන්නා කාලයන් අනුව රුපියල් 2000, 5000, 10,000 වශයෙන් මුදල් ලබාගෙන ඇති බවටත් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම ක්‍රියාවේ නිරතවන කාන්තාවන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළේ ඇයට සහය දැක්වූ සැමියා බවට හඳුන්වන පුද්ගලයකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවයි ෴


ලෝකයේ සුපිරිම වාහන මම ගේනවා – ගෙවුණු මාස 10 දි ලංකාවට වැඩිම ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නුවෙ මම – දහම් පෙරේරා (22.09.2023)

+


බිලිඳෙකුට ජීවිත‍ය දී අවසන් ගමන් ගිය දොස්තර ෆාහිමාගේ ස්වාමියා හඬා වැළපෙයි

(27.09.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් ඉතා අවාසනාවන්ත අන්දමින් මිය ගිය පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා. ඒ ඇය දේව කාරියක් සේ සලකා රාජකාරිය කිරීමට කැපවීම නිසාවෙන්.

ඇය ෆාහිමා සහබ්ඩීන්. 53 හැවිරිදි මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

එදා ඇය සිටියේ අසනීප තත්ත්වයෙන්. රුධිර පීඩනය වැඩි වීම නිසා ඇයට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණේ නිවෙසේ විවේකීව ඉන්න. එහෙත් ඇය සේවය කරන මහනුවර රෝහලේ 4 වන වාට්ටුවෙන් ඇයට දුරකථන ඇමතුමක් ආවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවකුට හදිසියේ අසාධ්‍ය බව පවසමින්.

ක්ෂණයකින් ෆාහිමා වෛද්‍යවරියට ඇයගේ රෝගී තත්ත්වය අමතක වුණා. ඇය ලහි ලහියේ සූදානම් වුණේ රෝහලට යන්න. ඒත් ඇගේ සැමියා මහා­චාර්ය එම්. එස්. එම්. අස්ලම් ඊට වහා විරුද්ධ වුණා. “ඔයාට සනීප නැහැ නේද අද ඔයාට නොයා ඉන්න බැරිද?”

එහෙත් ඇය එය ගණන් ගත් බවක් පෙනෙන්න තිබුණේ නැහැ. වහාම තම කාර් රථයට නැඟුන ඇය සුක්කානම අතට ගත්තා. මෙදෙස බලා සිරිය නොහැකි සැමියා ඇයගෙන් රථයේ සුක්කානම ඉල්ලා ගත්තා. ඔහු ඇයව රෝහලට රැගෙන ගිහින් බස්සවා පැවසුවේ, “ඔයා හොස්පිට්ල් එකට ගිය ගමන් ප්‍රෙෂර් චෙක් කර ගන්න” කියලා.

එදා වුණු සිද්ධිය ගැන ෆාහිමා වෛද්‍යවරියගේ සැමියා කඳුළු පිරි දෙනෙතින් අපට පැවසුවේ මෙහෙම කථාවක් :

“මගේ නෝනා නිත­රම කිවුවේ එයාට ලැබුණු වෛද්‍ය වෘත්තිය දෙවි­යන් වහන්සේ දුන් වර­මක් බවට විශ්වාස කරනවා. ඒ නිසා පැව­රෙන රාජ­කා­රිය අකු­ර­ටම ඉටු කර­නවා කියලා. ඉගෙන ගත්තේ මහ­ජන මුද­ල්ව­ලින්. අපට වැටුප් ලැබෙ­න්නෙත් මහ­ජන මුද­ල්ව­ලින්. ඒ නිසා මම කිසිම දව­සක ප්‍රයි­වෙට් ප්‍රැක්ටිස් කරන්නේ නෑ කිය­ලත් එයා කිවුවා. නෝනා බොහෝම චාම් ජීවි­ත­යක් ගත කළේ. රෝහලේ ගත කරන ජීවි­තය ගැන අපි එක්ක කිසිම දෙයක් කියන්නේ නෑ. රාජ­කා­රිය දේව කාරි­යක් සේ සැලකූ එයා මමත් දරු දෙදෙනා ගැනත් නිත­රම හොයා බැලුවා. ඒත් දෙවි­යන් වහ­න්සේගේ කැමැත්ත අනුව එයා අපව දාලා ගියා.” කියායි.

ඇය ජාතියෙන් මුස්ලිම් වුණාට ඉගෙන ගෙන තිබුණේ සිංහල පාසලක. ඇය බේරා ගත් දරුවාත් සිංහල දරුවෙක්. ඇයගේ කථාව අහන හැමෝගෙම හෘදස්පන්දනය මොහොතක් නතර කරනවා. හැමදේටම ගහ මරා ගන්නා රටක ෆාහිමා දොස්තර නෝනාගේ අති උතුම් ක්‍රියාව ඇය නැතත් අගය කළ යුත්තක්.

“මගේ නෝනා මුස්ලිම් වුණාට එයා ඉගෙන ගෙන තිබුණේ මහ­නු­වර උසස් බාලි­කාවේ සිංහල මාධ්‍ය­යෙන්. එයා කිසිම දව­සක ජාති­යක්, ආග­මක් ගැන කතා කළේ නෑ. රාජ­කා­රි­යට තමයි මුල්තැන දුන්නේ. එයා අව­සාන වරට රාජ­කාරි කළේ මහ­නු­වර ජාතික රෝහලේ ඊ.එන්.ටී. අංශයේ. මේ දව­ස්වල ඒ අංශයේ හිටියේ වෛද්‍ය­ව­රුන් තුන්දෙ­නයි. වාට්ටුවේ වැඩ වැඩියි කියලා අපට තේරුණා. ඒත් නෝනා ඒවා ගැන අපි එක්ක මොන­වත් කියන්නේ නෑ. පහු­ගිය 09 වෙනිදා නෝනා දවල් ගෙදර හිටියේ. එදා එයාගේ ඔන් කෝල් දවස. 09 වෙනිදා හවස නෝනගේ ඉරි­ය­ව්ව­ලින් මට පෙනුණා, ඇය තර­මක අස­නීප ගති­ය­කින් ඉන්නවා කියලා. මීට පෙර මම එහෙම ඉන්නවා දැකලා නෑ. පස්සේ මම නෝනාට කිවුවා, මහන්සි නම් ටිකක් නිදා ගන්න කියලා. නෝනා ටිකක් හාන්සි වෙලා හිටියා. ඒ අතරේ නෝනට වාට්ටු­වෙන් කෝල් එකක් ආවා. අසාධ්‍ය තත්ත්ව­යෙන් පසු­වෙන කුඩා දරු­වෙක් වාට්ටු­වට ඇතුළු කළා කියලා. පස්සේ නෝනා වාහ­නේට නැගලා ඩ්‍රයි­වින් කර­ගෙන තනි­වම යන්න හැදුවා.

නෝනට වාහනේ ඩ්‍රයිව් කරන්න නොදී මම වාහනේ ගත්තා. නෝනා රෝහ­ලට ගිහින් බස්ස­වලා මම කිවුවා, ඇතු­ළට ගිය ගමන් ප්‍රෙෂර් චෙක් කර ගන්න කියලා. ඒත් නෝනා කෙළින්ම ගිහින් තියෙන්නේ එයාගේ වාට්ටු­වට. එහෙම ගිහින් අර කුඩා දරු­වට අවශ්‍ය සිය­ලුම ප්‍රති­කාර කරලා තියෙ­නවා. ඒවා අව­සන් කරලා තමයි එයා ප්‍රෙෂර් චෙක් කරලා තියෙන්නේ. එයාගේ ප්‍රෙෂර් චෙක් කළ වෛද්‍ය­ව­රුන් ඒ ගමන්ම නෝනා හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතුළු කරලා. ඒ වෙලාවේ නෝනා මට ලිස්ට් එකක් දීලා කිවුවා, මට මේක දෙන්න අම­තක වුණා. මේක වාට්ටු­වට දෙන්න කියලා. ඒ ලැයි­ස්තුවේ තිබුණේ නෝනා වැඩ කරන වාට්ටු­වෙන් පසු­දි­නට ශල්‍ය­ක­ර්ම­ව­ලට යවන රෝගීන්ගේ නම් ටික.

අයි. සී. යූ. එකේ ප්‍රති­කාර කරලා පස්සේ නෝනා සාමාන්‍ය වාට්ටු­ව­කට ඇතුළු කළා. ඒකේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී එයාගේ අස­නීප තත්ත්වය තර­මක් වැඩි වෙලා තියෙ­නවා. පස්සේ එයා ශල්‍ය­ක­ර්ම­ය­කට පවා භාජ­නය කර තියෙ­නවා. නෝනා දැඩි සත්කාර ඒක­කයේ දින කිහි­ප­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පහු­ගිය 19 වෙනිදා තමයි මිය ගියේ. හිසේ නහ­ර­යක් පුපු­රලා මොළේට ලේ වාහ­නය වෙලා තමයි මිය ගිහින් තියෙන්නේ.

මගේ නෝනගේ ජීවි­තය බේරා ගන්න මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය­ව­රුන්, හෙද කාර්ය මණ්ඩ­ලය, සුව සේව­ක­යන් දැඩි කැප­වී­ම­කින් කට­යුතු කළා. ඒත් දෙවි­යන්ගේ කැමැත්ත අනුව ඇය අප දාලා ගියා. මගේ නෝනා මහ­නු­වර ජාතික රෝහලේ කට­යුතු කළ ආකා­රය මම හොඳින් වටහා ගත්තේ එයා මිය ගියාට පස්සේ. එයාට සිදු වු මේ අවා­ස­නා­වන්ත ඉර­ණම ගැන මුළු රෝහ­ලම කම්පා­වට පත් වුණා.”

වෛද්‍ය ෆාතිමා සහ­බ්දීන්ගේ සැමියා වන මහා­චාර්ය අස්ලම් සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ රාජ­කාරි කරන අතර, ඔහුගේ දිය­ණිය මේ වන විට මොර­ටුව වෛද්‍ය පීඨයේ පළමු වන වසරේ ඉගෙ­නුම ලබ­මින් සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *