වැරදි නම් නීතිමය පියවර ගන්න – මහබැංකු අධිපති

වැරදි නම් නීතිමය පියවර ගන්න – මහබැංකු අධිපති


වැරදි නම් නීතිමය පියවර ගන්න – මහබැංකු අධිපති

(25.09.2023 – 22:09 +0530 – sinhala.adaderana.lk)

රට බංකොළොත් වී ඇති බවට සිදුකළ ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටී.

මහබැංකු අධිපතිවරයා එම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (25) පැවති උත්සවයකට එක්වෙමිනි.

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ආර්ථික ඝාතනය කෘතිය ජනගත කිරීම අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා :

+


ගනේමුල්ල සංජීව ගැන පුවතක්

(25.09.2023 – 22:31 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් පිළිබඳව රටවල් අතර දැනුවත්භාවයක් ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ වෙත කරුණු වාර්තා කෙරෙනවා.

නමුත් එසේ තිබියදීත් නේපාලයේ ආරක්ෂක අංශ සහ කත්මණ්ඩු ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් ගනේමුල්ල සංජීව පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීමත් සිදුනොවුණු බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය පෙන්වා දී ඇත්තේ.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙරටට පැමිණි ගණේමුල්ලේ සංජීව පසුගිය 15 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අතර, මේ වනවිට දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා ෴

+


කාන්තාවන් දෙදෙනෙකු (2) තවත් කාන්තාවක් පැහැරගනී

(25.09.2023 – 22:48 +0530 – hirunews.lk/sinhala)

මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රීතිකා චාන්දනී නමැති කාන්තාවක් පසුගිය දිනක රාත්‍රියේ පැහැරගෙන ගොස් තිබුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2) විසින්.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තමන් විසින් මුදල් ලබා ගත් කාන්තාවන් දෙදෙනෙකු (2) තමාව පැහැරගෙන ගොස් ඇති බවටයි.

ඒ අනුව තමාව නිදහස් කිරීමට නම් පැහැරගත් අය තමන්ගෙන් එම මුදල ඉල්ලා සිටින බැවින් එම මුදලද රැගෙන තමන්ව බේරා ගැනීමට පැමිණෙන ලෙස පැහැරගැනීමට ලක්වූ කාන්තාව සිය සැමියාට පවසා තිබෙනවා.

ඒ අනුව සැමියා විසින් මාරවිල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ අනුව මාරවිල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාව සොයා විශේෂ මෙහෙයුමක් සිදු කළා.

ඒ අනුව කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි අදාළ කාන්තාව පොලිසිය විසින් සොයාගත් අතර කාන්තාව පැහැරගෙන ආ සැකකාරියන් දෙදෙනා ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සහ 42 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව විදෙස් රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12 ක මුදලක් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් ලබා ගෙන තිබූ අතර එම මුදල යළි ලබා ගැනීමේ අරමුණින් කාන්තාව පැහැරගත් බවයි අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඇයව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මෙම පැහැරගැනීමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


අවිස්සාවේල්ලේ වෙඩිතැබීමේ සිද්ධියට මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

(25.09.2023 – 22:56 +0530 – sinhala.adaderana.lk)

සැප්තැම්බර් 20 වැනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි මේ දක්වා සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් අනාවරණය වී ඇත්තේ එම මාධ්‍යවේදියා වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ ඩුබායි හී සිටින මන්නා රමේෂ් නමැති අපරාධකරුට රහසිගතව තොරතුරු ලබා දී ඇති බවටය.

ඊයේ (24) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මීගොඩ ප්‍රදේශයේදී අදාළ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කළ අවස්ථාවේ ආසන්න දින කිහිපයේම ඔහු ‘මන්නා රමේෂ්’ නැමැත්තාට දුරකතන ඇමතුම් 18 ක් ලබා ගෙන ඇතැයි අනාවරණ වී තිබේ.

මෙම මාධ්‍යවේදියාගේ බැංකු ගිණුමට ‘මන්නා රමේෂ්’ අවස්ථා කිහිපයකදී මුදල් බැර කර ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

මෙහි වෙඩික්කරුට නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් සැපයූ තවත් තිදෙනෙකු (3) සමඟ අදාළ මාධ්‍යවේදියාව අද (25) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී එම මාධ්‍යවේදියා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා ගත් අතර අනෙක් සැකකරුවන් තිදෙනා (3) දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදුනි ෴


ආණ්ඩුව ඉටු කරන්න බ​ය 40 වන IMF කොන්දේසි​ය… – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

(26.09.2023 – 15:00 +0530 – lankacnews.com)

ආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් ආරම්භ කරණ බවට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙක වත් ඉටු නොකරන පොරොන්දුවක් බවට පත්වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු කඩ කරලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (26) ජනාධිපතිතුමන් හමුවෙන්න නියමිතයි. ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක් ණයට ගන්න පොරොන්දු සීයක් (100) දුන්නා. මේ වන විට ඒවායින් 57 ක් ඉටු කර තිබිය යුතුයි. නමුත් ඇත්තටම ඉටු කරලා තිබෙන්නේ 38 යි.

ඉටු නොකරපු පොරොන්දු අතර මොනවාද තිබෙන්නේ? ආණ්ඩුවේ බදු ආදායම මාර්තු 31 වන දා වන විට බිලියන 650 ක් දක්වාත් ජූනි 30 වන විට බිලියන 1,300 දක්වාත් වැඩි කර ගත යුතුයි කියන කොන්දේසි දෙකම (2) ආණ්ඩුවට ඉටු කර ගන්න බැරි වුණා. ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ඇමති මණ්ඩලය විසින් ජූනි 30 ට කලින් සම්මත කරන්න ඕනේ කියලා කොන්දේසියක් තිබුණා. ඒකත් ඉටු කර ගන්න බැරි වුණා. තමන්ගේ විගණනය කරන ලද ගිණුම් සමග වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නැති රාජ්‍ය ආයතන 52 ක් තමන්ගේ 2022 වාර්ෂික වාර්තා ජූනි 30 ට පෙර ප්‍රසිද්ධ කළ යුතුයි කියා කොන්දේසියක් තිබෙනවා. ජූනි 30 නොවේ අද වන තුරුත් ඒක ඉටු කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම 2024 සඳහා ආණ්ඩුව ආදායම් උපයන ආකාරය සකස් කර ගෙන ජූලි 31 වන විට ඇමති මණ්ඩල අනුමැතිය ගන්න ඕනේ කියලා කොන්දේසියක් තිබෙනවා. ඒකත් ඉටු කරලා නෑ. මේ වගේ කොන්දේසි 19 ක් එක්කෝ ඉටු කරලා නෑ. නැතිනම් කළ බව ප්‍රසිද්ධ කර නෑ.

ආණ්ඩුව ඉටු කළ යුතු කොන්දේසි 57 කින් 38 ක් පමණක් ඉටු කරලා තිබෙන නිසා දෙවන (2) වාරිකය නොලැබීමේ අවදානමක් තිබෙන බවට සමහර දේශපාලකයින් කියනවා. මම නම් හිතන්නේ මේ දෙවන (2) වාරිකය නිසා පොඩි තරවටුවක් කරලා වාරිකය ලබා දෙයි. තුන්වන (3) වාරිකය වෙන විටත් මේවා ඉටු කරලා නැතිනම් ඒවා ඉටු කරන තුරු වාරිකය නැවැත්වීමේ අවදානමක් තිබෙනවා. අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය 17 වෙනි වතාව. පසුගිය 16 වතාවම සිදු වුනේ කොන්දේසි ඉටු නොකිරීම නිසා අතර මගින් මේ වැඩසටහන අත්හැර දමන්න.

ආණ්ඩුව ඉටු කරන්න බය මූල්‍ය අරමුදලේ කොන්දේසිය

ඔය මොන කොන්දේසිය පමා වෙලා හරි ඉටු කළත් ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන කොන්දේසියක් තිබෙවා. ඒ තමයි 40 වන කොන්දේසිය. ඒකෙන් කියන්නේ ආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් පටන් ගන්න. ඒ වෙබ් අඩවියේ ප්‍රධාන වශයෙන් කාරණා තුනක් (3) ප්‍රසිද්ධ කරන්න ඕනෑ. 1) ආණ්ඩුව මිල දී ගැනීම් සම්බන්ධයෙන් එළැඹිණු සියළුම ගිවිසුම්. 2) ආයෝජන මණ්ඩලය විසින් ඒ ඒ ආයෝජකයාට ලබා දුන් බදු සහන. 3) වාහන ආනයනයේ දී බදු සහන ලබන පුද්ගලයින්ගේ නම්.

මේ පිළිබඳ සමහර තොරතුරු විවිධ ආයතන වල වෙබ් අඩවි වල ප්‍රසිද්ධ කර තිබෙනවා. නමුත් මේ තොරතුරු ප්‍රසිද්ධ කරන පොදු වෙබ් අඩවියක් නිර්මාණය වෙලා නෑ. මේ වැඩේ හරියට කලොත් ලංකාවේ මහ පරිමාණ දූෂණ 50% කින් අඩු කරන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. ඇත්තටම මූල්‍ය අරමුදලෙත් කනෙන් රිංගලා ආණ්ඩුව විසින් වැදගත්ම හෙලිදරව්වක් වහගෙන තිබෙනවා. ඒ තමයි ඇමති මණ්ඩලය විසින් ‘උපාය මාර්ගික ව්‍යවසාය පනත’ යටතේ ලබා දෙන බදු සහන. එතැන තමයි ලොකුම ‘ඩීල්’ ටික යන්නේ. නමුත් ඒවා හෙලිදරව් කළ යුතු බවට කොන්දේසියක් ‘අයිඑම්එෆ්’ ගිවිසුමේ නෑ. ආණ්ඩුවට ‘අයිඑම්එෆ්’ ණය නොලැබුණත් ඒක නම් කරන එකක් නෑ කියලයි මම හිතන්නේ.

= ප්‍රශ්න සහ පිළිතුරු =

ප්‍රශ්නය :
සමාජ මාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ දිනවල කතාබහ වෙනවා. ඔබතුමා මේ ගැන මොකද හිතන්නේ ?

පිළිතුර :
සමාජ මාධ්‍ය සඳහා නියාමනයක් තිබිය යුතුයි. නමුත් සමාජමාධ්‍ය නියාමනය කරන මුවාවෙන් ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමේ ජනතාවගේ අයිතිය ඔවුන්ගෙන් උදුරා ගැනීමට දෙන්න බැහැ. පෙම්වතිය එම සම්බන්ධතාවය බිඳ දැමුවා කියලා ඇගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට, අනිකුත් සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා අපි දැකලා තියෙනවා. පදනමක් නැතුව අපහාසාත්මක ප්‍රකාශ බුරුතු පිටින් මුදාහරිනවා සමාජ මාධ්‍ය වලට. මේවා නියාමනය විය යුතුයි. මේවා නියාමනය කරන මුවාවෙන් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන ජනතාවට අත තියන්න දෙන්න බැහැ. මේ පනත අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. ආණ්ඩුවේ වැරදි සොයන ජනතාව මර්ධනය කිරීමේ වගන්ති මේ පනතේ ඇති නම් ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් කොළාන්නාව ආසන සංවිධායක අමිල මනතුංග යන මහත්වරුන්ද සහභාගී විය.

+

+


ව්‍යාපාරියෙකු පැහැරගෙන කප්පම් ගත් සුරාබදු නිලධාරින් තිදෙනකු සහ හමුදා සැරයන්වරයකු අල්ලයි

(26.09.2023 – 09:26 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු‍ නිලධාරින් තිදෙනකු (3) සහ යුද හමුදා සැරයන්වරයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ බීඩී නිෂ්පාදකයකුගේ බලපත්‍රය ජූනි මස 26 වනදායින් අවසන් වීම හේතුවෙන් එම මස 18 වනදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ නඩු පවරන බවට මොහුට පවසා තිබෙනවා.

පසුව එය නඩු මඟට නොයා විසඳා ගැනීමට නම් රුපියල් ලක්ෂ 14 ක මුදලක් බීඩි නිෂ්පාදකයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු ඊට විරුද්ධ වී තිබුණා.

එම සිද්ධියෙන් පසු මෙම ව්‍යාපාරිකයා ත්‍රි රෝද රථයකින් පැහැරගෙන ගොස් පහරදී රුපියල් ලක්ෂ 10 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වලස්මුල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

+


බුත්තල භූ චලනයක්

(26.09.2023 – 06:23 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල – බුත්තල ප්‍රදේශයට රික්ටර් මාපාංකයේ ඒකක 2.4 ක භූචලනයක් සිදුව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 11:20 ට පමණ සිදුව ඇති මෙම භූචලනය මෙරට ස්ථාපිත කර ඇති භූකම්පන මාන හතරෙහිම (4) සටහන්ව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළේ.

මීට පෙරද අවස්ථා අවස්ථා කිහිපයකදී බුත්තල ප්‍රදේශයෙන් සුළු භූචලන වාර්තා වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *