ගුවන් තොටේදී අපරාධකරුවන් කොටු කරන නව මෙහෙයුම නවතී

ගුවන් තොටේදී අපරාධකරුවන් කොටු කරන නව මෙහෙයුම නවතී


ගුවන් තොටේදී අපරාධකරුවන් කොටු කරන නව මෙහෙයුම නවතී

(21.09.2023 – aruna.lk)

ගුවන්තොටුපොල හරහා රටින් පිටවන හා රටට ඇතුළු වන අපරාධකරුවන් කොටුකර ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් ආරම්භ කළ නව වැඩපිළිවෙළක් එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඉහළ නියෝගයකින් නතර කර දැමීමට සිදුවී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීන්දු කෙරිණි. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස් ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, මෙන්ම ආගමන විගමන පාලකවරයාත්, ගුවන්තොටුපොල සභාපතිවරයාත් එක්ව සිටියහ.

එහිදී බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අපරාධකරුවන් හා ජාවාරම් කරුවන් කටුනායක ගුවන්තොටුපොල ආගමන විගමන කවුළුවලින් රිංගා යන ආකාරය පිළිබඳ පුළුල්ව පෙන්වා දී ඇත.

මෙම කරුණු පෙන්වා දීමෙන් පසුව ආගමන විගමන කවුළු වෙත පුද්ගලයන් පැමිණෙන අනුපිළිවෙළ අනුව කවුළු වෙත යොමු කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මග පෙන්වන නිලධාරියෙකු කවුළුවලට ඉදිරියෙන් ස්ථානගත කර අනුපිළිවෙළ අනුව කවුළු වෙත යොමු කිරීමටද තීරණය කර ඇත.

එම තීරණය පෙරේදා (19 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය විය. මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයක් යාමේදී ඉහලින් ලැබුණු නියෝගයකට අනුව එය නතර කිරීමට සිදුව ඇතැයි අරුණ, ට අනාවරණය විය.

කටුනායක ගුවන් තොටුපොලේ ආගමන විගමන කවුළුවලට ගුවන් මගීන් කැමැති ආකාරයට යාමට ඉඩ සැලසීම නිසා ජාවාරම්කරුවන් සමග හිතවත් නිලධාරීන් සිටින අවස්ථාවල ජාවාරම්කරුවන් එම කවුළු තෝරා ගෙන රටින් පිට වීම හා ඇතුල්වීම සිදු කරන බවද මෙම සාකච්ඡාවේදී හෙළි වී ඇත.

පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී පාතාල නායක ‘ගනේමුල්ල සංජීව’ අහඹු ලෙස කොටුවූයේත් ආගමන විගමන නිලධාරියෙකු මාර්ගයෙන් රටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී විය හැකි බවත්, මෙදින රාජකාරියේ සිටි ආගමන විගමන නිලධාරියා නිසි ලෙස රාජකාරි කිරීම නිසා ‘ගනේමුල්ල සංජීව’ කොටු වූ බවට අනුමාන කරන බවත් පොලිස් ප්‍රධානීන් මෙහිදී පෙන්වා දී තිබේ ෴


හෙට (23) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

(22.09.2023 – 08:59 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 06 සිට ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් පැය 12 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටින්නේ ෴


පාසල්වලින් සැකකටයුතු ‘ඉන්හේලර්’ වර්ගයක් සොයා ගනියි

(22.09.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

සිසුන් කිහිප දෙනකුගේ පොත් බෑග තුළ තිබී සැක ද්‍රව්‍ය සහිත ‘ඉන්හේලර්’ කීපයක් ගොකරැල්ල පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ ‘ඉන්හේලර්’ වර්ගය අළෙවි කළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකාර ව්‍යාපාරිකයා ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන සහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන අයෙක් බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට මෙම ‘ඉන්හේලර්’ වර්ගය හමු වී ඇති අතර පසුව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ ෴


ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගත් බව කියන සුරාබද්දන් සම්බන්ධයෙන් විමර්ශන

(22.09.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

= ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගත් බව කියන සුරාබදු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන =

බීඩි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් බලෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් මත වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වලස්මුල්ල, රාජපුරගොඩ, මාරකැටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික බලපත්‍රය ජූනි මස 26 වැනි දින අවසන්ව තිබී ඇති අතර ඔහුගේ නිවෙසට පසුගිය 18 වැනිදා පැමිණි තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම නිවසේ තිබූ බීඩි කොළ ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

නීති මාර්ගයෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ 14 ක මුදලක් සුරාබදු නිලධාරීන් විසින් ඉල්ලා ඇති අතර පසුව එම ව්‍යාපාරිකයා ත්‍රීරෝද රථයක දමා ගෙන රැගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් බලෙන් ලබාගත් බවට ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබෙනවා.

මෙම සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව උසස් නිළධාරියෙකු අප කළ විමසුමකදී පැවසුවා ෴


පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග මුදල් වංචා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

(22.09.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග මුදල් සොරකම් කළ පොලිස් සැරයන්වරයෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාලන අංශයේ මුදල් ගෙවීම් කටයුතු භාරව සිටි නිලධාරියා ලෙස කටයුතු කල පොලිස් සැරයන්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

රුපියල් ලක්ෂ 7 කට අධික වටිනාකමින් යුතු ත්‍යාග මුදල් චෙක්පතක් මෙලෙස මුදල් කර සැකකාර පොලිස් සැරයන්වරයා වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම වංචාව හේතුවෙන් ඊයේ (21) දින සිට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා ෴


වෙඩික්කරුවන් ජීවිත 44 ක් බිලි අරගෙන

(22.09.2023 – 08:03 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය ෴


රටක් කැළඹු ‘සොනික් සොනික්’ ගැන තොරතුරු එළියට

(22.09.2023 – 23:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ කාල වකවානුවේදී මෙන්ම පසුගිය දා බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශනය වු වීඩියෝව නිසා යළිත් කරළියට පැමිණි මාතෘකාවක් වන්නේ ‘සොනික් සොනික්’ යන යෙදුමයි.

විවිධ පාර්ෂවයන් විසින් මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ යෙදුම නිතර ව්‍යවහාර වීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා.

පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ආරක්ෂක අංශ නිළධාරීන්ද ‘සොනික් සොනික්’ යන වදන පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ අදහස් දැක්වීම් වලදි ප්‍රකාශකරනවා.

සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනාගේ කුතුහලය දනවන මේ යෙදුම සම්බන්ධයෙන් විස්තරාත්මක විග්‍රහයක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් සිදුකරනු ලැබුවා.

‘සොනික් සොනික්’ යන්න අන්වර්ථ නාමයක් බවත් ‘සොනික් සොනික්’ යනු රාජ්‍ය බුද්ධි අංශ නිළධාරියෙකු වන අතර ඔහු අන්තවාදී කණ්ඩායමක ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිමින් අප බුද්ධි අංශ වලට අන්තවාදීන් ගැන නිරන්තර තොරතුරු සැපයූ නිලධාරියෙකු බව ප්‍රකාශ කළා.

එසේම ‘අබුහින්ද්’ යන නාමයද විදේශීය බුද්ධි අංශ විසින් අන්තර්ජාල මෘදුකාංග ඔස්සේ අන්තවාදි කණ්ඩායම් හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමට භාවිතාකළ අන්වර්ථ නාමයක් බවත් සඳහන්කළා.

තමා අකමැත්තෙන් වුවත් මෙලෙස බුද්ධි අංශ තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වගකීම් විරහිත ප්‍රකාශයන් හා ක්‍රියාවන් නිසා බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


‘හරක් කටා’ට පලායාමට පිඹුරුපත් සැකසූ කොස්තාපල්වරයාට සහය දුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(22.09.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායකයෙකු වන ‘හරක් කටා’ට පලායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාට සහය දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා (2) සමඟ වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය 10 වැනිදා අත් විලංගු ලිහිල් කර ‘හරක් කටා’ නැමැත්තාට පලා යාමට ආධාර අනුබල දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළාගොස් තිබුණා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වන විට කණ්ඩායම් කිහිපයක් විමර්ශනවලට යොදවා තිබෙනවා ෴


මේ වසරේ (2023) ජලභීතිකාවෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට

(22.09.2023 – 22:27 +0530 – hirunews.lk/sinhala)

ජලභීතිකාව වැලඳීමෙන් මේ වසරේ (2023) මේ වන විට රෝගීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස ජලභීතිකාව වැලඳී 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑමෙන් බවයි වාර්තා වන්නේ.

මෙරට තුළ වර්ෂයකට ජලභීතිකාවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වී තිබුණ ද, අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් සුනඛයින් සපා කෑමෙන් පසු ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත නොයෑම නිසා මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය පවසනවා.

ජලභීතිකාව සඳහා වන එන්නත් නොගැනීමෙන් 100% ක් මාරාන්තික වන ජලභීතිකාව සියලු ක්ෂීරපායී සතුන්ගෙන් වැළඳිය හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මෙරට තුළ වර්ෂයකට 250,000 ත් – 300,000 ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සතුන්ගේ සපා කෑමට ලක් වන බවත් ඉන් 100,000 ක පමණ පිරිසකට විශාල පිරිවැයක් දරා ප්‍රතිකාර කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ ෴


බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය ගසාගෙන යයි

(22.09.2023 – 22:10 +0530 – hirunews.lk/sinhala)

අද (22) පස්වරුවේ වර්ෂාව සමඟ ඇති වූ තද සුළඟත් සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය කැඩී යාම හේතුවෙන් එහි සිටි මගීන් දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

මේ අතර, නානුඔය සහ ග්‍රෙට්වෙස්ටන් අතරදී බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *