කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ වල්සාදු කොටුවෙයි

කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ වල්සාදු කොටුවෙයි


කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ වල්සාදු කොටුවෙයි

(19.09.2023 – 19:47 +0530 – sinhala.adaderana.lk)

= කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි =

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන බවය.

ඔහු ඒ සඳහා මුදල් ලබාගන්නේ ‘ක්‍රිප්ටෝ කරන්සි’ ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (18) දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙලිවී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවය.

අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු (වල්සාදුවෙකු) විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

මාස 7 සිට අදුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500 ක් පමණ සැකකරු භාවිත කරන පරිඝනයකයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඒ අතරින් සියයට 80 ක් පමණ වයස අවුරුදු 10 ට අඩු දැරියන්ගේ බව අනාවරණය වී තිබේ.

සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව සැකකාර චීවරධාරියා පිළිගෙන තිබේ.

සැකකාර චීවරධාරියා අදාළ වීඩියෝ පට අලෙවි කරන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරකරගෙන ඇති අතර, බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත්තේ තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රාෆික දර්ශන සකසා අලෙවි කරන මුදල් ඊට බැරවන බවය.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

+


තම පුතාට කළ වංචාවට ව්‍යාපාරික තාත්තා පළිගත් හැටි

(19.09.2023 – 19:42 +0530 – sinhala.adaderana.lk)

සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මල සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා (2) ඇතුළු 6 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24 ක මුදලක් ලබාගෙන ඇති බවය.

කෙසේවෙතත් ඔහු නැවත එම මුදල් ලබාදීමක් හෝ අදාළ පුත්‍රයා විදෙස්ගත කිරීමක් සිදුකර නොමැත.

පොලීසිය පැවසුවේ ඉන් උරණ වූ ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වූ පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී පැහැරගෙන කටානේ පිහිටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙනවිත් සිය පුතුන් දෙදෙනා (2) හා සේවකයන් තිදෙනෙකු (3) සමග එක්ව පහරදී ඇති බවය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ එහිදී ඝාතනයට ලක් වූ පුද්ගලයා පළායෑමට උත්සාහ කර ඇති අතර අනතුරුව ඔහුව අල්ලාගෙන විත් කටානේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් හෝටලයක පාලු කාමරයකට රැගෙන ගොස් යළිත් සිදුකළ පහරදීමේදී ඔහු මියගොස් ඇති බවය.

අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර ගමන් බෑගයකට දමා ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම කොටුගොඩ ප්‍රදේශයෙන් දඬුගං ඔයට දැමූ බවද සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

පොලීසිය පැවසුවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙරද විවිධ පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලීසිය විසින් සිදුකරයි.

+


පියා සමග පාසල් යමින් සිටි දියණිය ගැඹුරු වළකට වැටෙයි

(19.09.2023 – 09:27 +0530 – sinhala.adaderana.lk)

ගොතටුව IDH ජලාපවහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙකු සහ දියණියක අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙකු සහ දියණියක එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණි.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනෙනු ලැබ තිබේ.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=EEi16DX0gQs#t=5

+++++++++++

වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

(19.09.2023 – 21:54 +0530 – sinhala.adaderana.lk)

අද (19) පෙරවරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි.

ජලයෙන් පිරී තිබූ එම වළට වැටුණු ඔවුන්ව බේරාගනු ලැබුවේ අවට සිටි පිරිස් විසිනි.

අනතුර සිදුවූ එම ස්ථානය පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුකළ ස්ථානයකි.

එම වළ සැදී තිබුණේ ඊට අයත් නලයක් අද (19) අලුයම් කාලයේ පුපුරායාමෙනි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ‘පෝට් සිටි’ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නලයකි.

මීට මාසයකට පමණ ඉහතදී එම ව්‍යාපෘතිය සිදුකර තිබුණේ, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසිනි.

පියා සහ දියණිය අද (19) උදෑසන අනතුරට ලක්වීමට පෙර ලොරි රථයක්ද එම ස්ථානයේදී වළට වැටී ඇති අතර එය ගොඩට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

කෙසේ වෙතත් අද (19) උදෑසන වනතුරුම එම අනතුරුදායක ස්ථානය සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු පියවරක් ගෙන නොතිබුණි.

එම වළට සිසුවිය සහ පියා වැටී තිබුණේ ද එම ස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබූ පසුබිමකය.

සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළේය.

එම මණ්ඩලය පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඊට තම ආයතනය සම්බන්ධ නොවන බවත්ය.

ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරුගෙන් අප කළ විමසීමදී ඔහු සඳහන් කළේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය.

වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසද්දී ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද? යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයයි.

++++++++++

+


රට රැකියා සොයන කාන්තාවන්ව අලෙවි කළ ජාවාරමක් හසුවෙයි

(20.09.2023 – 13:48 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාමික යුද හමුදා සෙබළියක් සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කිරීමට උත්සාහ කළ ජාවාරම්කාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

අදාළ සෙබළිය අවස්ථා දෙකකදී (2) ගණිකා මඩම් වෙත යොමුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනුරාධපුරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළියක් පසුගිය වසරේ (2022) ජුනි මසයේදී තමන් සතු රත්‍රං භාණ්ඩ සහ ත්‍රීරෝද රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාදී ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණි.

ඒ, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා සංචාරක වීසා මතය.

ඒ අනුව, නීතිවිරෝධී අයුරින් විදෙස්ගතවූ අදාළ කාන්තාව ඩුබායි හී සිටින නියෝජිතයා විසින් අවස්ථා දෙකකදී (2) ගණිකා වෘත්තිය සඳහා යොමුකර තිබේ.

අනතුරුව ඉන් පළා ආ කාන්තාව විසින් ඩුබායිහි රැඳීසිටින අදාළ රැකියා නියෝජිතයාට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඔහු විසින් නැවත ඇයව මෙරටට එවීම සඳහා රුපියල් ලක්ෂ 4 ක මුදලක් ඉල්ලා තිබේ.

පසුව එම මුදල ලබාදීම නිසා ඇයව මෙරටට එවා තිබුණි.

ඒ අනුව, ඇය ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා හරහා පොලිස්පතිවරයාට දැනුම්දීමෙන් පසුව සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කෙරුණි.

ඒ ‘තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ’ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතා යටතේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ විශ්‍රාමික යුද හමුදා සෙබළිය ඩුබායි රාජ්‍ය වෙත යැවූ මෙරට නියෝජිතවරියව තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම මිනිස් ජාවාරමට සම්බන්ධ ඩුබායි හී රැඳීසිටින සැකකරු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය.

+


සමස්ථ පොලිසියේම සායම යන වීඩියෝ සාක්ෂියක් (20.09.2023)

(ඉස්සර කළේ බෝක්කුවට / පාලමට / තනිඉරට කලින්)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *