අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’

අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’


අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’

(16.09.2023 – facebook.com/UdayaGammanpilaFanPage)

නැගෙනෙහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරය ආසන්නයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් තමයි මුහුදු මහා විහාරය. ලක්දිව පැරණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වශයෙන් අභිසෙස් ලත් මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙනවා. කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වූ දේවි කුමරිය මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා සිය ජීවිතය මුහුදට බිලිදීම පිණිස යාත්‍රාවක නැගී ගමන් ගත්බව සඳහන්. එම දේවී කුමරිය ගොඩබට ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම ස්ථානයයි.

කලක පටන්ම මුස්ලිම් අන්තවාදයේ දැඩි බලපෑමට මෙම මුහුදු මහා විහාරය හා ඒ අවට වන රක්ෂිතය ලක් වෙලා. අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය, ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ ආශිර්වාදයෙන් සිදුවන බවට චෝදනා එල්ල වෙනවා. මෙහි ඇති ලෙනක භාවනායෝගීව සිටි හිමිනමකට පහදීමට අන්තවාදීන් මෑතකදී කටයුතු කර තිබුණා.

මුහුදු මහා විහාරයට එල්ලවන මේ අන්තවාදී බලපෑම් පිලිබදව සත්‍ය කතාව රටට හෙළි කිරීමේ අරමුණින් අපි පසුගිය බ්‍රහස්පතින්දා (2023.09.14) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුනා. එහිදී පොතුවිල් මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි හිමියන් සහ පූජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අපි මුහුදු මහා විහාරය පත්ව ඇති අවාසනාවන්ත ඉරණම සියැසින්ම දැක ගන්නට සමත් වුනා.

එහිදී පුරාවාද්‍ය රක්ෂිතයේ පුරාවස්තූන් පමණක් නොව මෙම රක්ෂිත සීමාවන් සලකුණු කිරීම සදහා යොදා තිබූ පුරාවිද්‍ය කණු පවා විනාශකර ඇති අන්දම දැකගන්නට ලැබුණා. එමෙන්ම මෙම ප්‍රදේශයේ පිහිටි සෙංගමුව වන රක්ෂිතය විනාශකරමින් ‘අල් මදීනා’ වැනි අනවසර ගම්මාන එකින් එක ඉදිවෙන ආකාරය අපට දක්නට ලැබුණා.

ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ්, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රහීම්, පමණක් නොව ප්‍රාදේශීය ලේකම්වරයාද මෙම පුරාවස්තු සහ වන සංහාරයටත් අනවසර ගම්මාන ඉදිකිරීමටත් මූලිකත්වය ගෙන ඇති බවට තොරතුරු රැසක් අපට ලැබුණා.

ඉන් අනතුරුව පානම ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයට පැමිණි අපි විහාරාධිපති පූජ්‍ය පානම චන්දරතනාභිදාන හිමියන් බැහැදැක පානම ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කලා.

උපන් බිමේ සරණක් නොමැතිව අසරනව සිටින, අන්තවාදයේ ගොදුරු බවට පත්ව සිටින මේ සිංහල වැසියන් වෙනුවෙන්, අපගේ ඓතිහාසික උරුමය රැකගැනීම වෙනුවෙන්, වන සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ගැටළුවලට දිගින් දිගටම මැදිහත්වීමට මමත් මෙම ගමනට එක්වූ පක්ෂයේ මධ්‍යම කාරකසභිකයනුත් තිරව අදිටන් කරගත්තා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් පූජ්‍ය යාගොඩ සීවලී හිමි සහ පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමි සමග ධම්මික රත්මලේ, නාලක පෙරේරා, අංජන උදාර, අරවින්ද අතුකෝරළ, ප්‍රසන්න අමරතුංග, ශිරන්ත ලියනගේ, දයා තෙන්නකෝන්, චරිත් රණතුංග යන මහත්වරුන් එක්වූහ.

+


තිලීපන් සැමරීමේ රිය පෙරහර බෙදුම්වාදයට සහාය දීමක්

(19.09.2023 – mawbima.lk)

තහනම් කරන ලද සංවිධානයක නායකයකු සමරමින් දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනතේ 3 වැනි වගන්තිය උල්ලංඝනය කළ මන්ත්‍රි සෙල්වරාජ් ගජේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන නඩු පවරන්නැයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවැසීය. තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ නායකයකු වන අමිර්තලිංගම් තිලීපන් සමරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තිය මෙන්ම 2007 අංක 56 දරන දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනතේ 3 වැනි වගන්තිය උල්ලංඝනය කළ ඔහු අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස තමන් ආණ්ඩුවට බලකරන බවද හෙතෙම කීය.

පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (18 දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය :

“සෙල්වරාජ් ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් කොටි සංවිධානයේ අමිර්තලිංගම් තිලීපන් සැමරීමේ රිය පෙරහරක් නැඟෙනහිර සිට උතුරු පළාත බලා යෑමේදී ත්‍රිකුණාමලයේදී ගැටුමක් ඇති වී තිබෙනවා. තිලීපන් කියන්නේ කොටි නායකයෙක්. ඔහු ජීවිතය බිලි දුන්නේ කොටි සංවිධානය වෙනුවෙන්. කොටි සංවිධානය කියන්නේ මේ රටේ තහනම් සංවිධානයක්.

තහනම් කරන ලද කොටි සංවිධානයේ කහ සහ රතු පාට ධජවලින් සරසාගත් වාහනයක තිලීපන්ගේ දැවැන්ත ඡායාරූපයක් ඇටවූ වාහනයක් නැඟෙනහිර පළාතේ සිට උතුරු පළාතට ගෙන යෑමට අවසර දුන්නේ කවුද? එයට ඉඩ දුන්නේ ඒ පළාතේ ඉහළ නිලධාරීන් නම් ඔවුන් වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි. ඒ සඳහා නිලධාරීන්ට දේශපාලකයන්ගෙන් උපදෙස් ලැබුණා නම් ඒ දේශපාලකයන්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තියට අනුව බෙදුම්වාදය ප්‍රවර්ධනයට සහාය දීමෙන් ඒ අය කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක්. දේපළ රාජ සන්තක වන වරදක්.

කොටි සංවිධානය සාමාන්‍ය ජනතාව විශේෂයෙන්, සිංහල ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කළ සංවිධානයක්. කොටි ප්‍රහාර නිසා තමන්ට මිත්‍රයකු හෝ ඥාතියකු අහිමි නොවුණු අයෙක් සිංහල සමාජයේ නැති තරම්. ඒ නිසා සිංහල සමාජයේ කොටි සංවිධානය පිළිබඳ තිබෙන්නේ දැඩි තරහක්. එවැනි පසුබිමක තිලීපන් සැමරුම් රථ පෙළපාළියක් කොටි සංවිධානයේ සැහැසිකම්වලින් දශක තුනක් (3) පුරාවට බැට කෑ නැඟෙනහිර සිංහල ජනතාව ජීවත්වන ප්‍රදේශ හරහා යනවා කියන්නේ ජාතිවාදය සහ ද්වේෂය අවුස්සමින් ජනතාව කුපිත කිරීමක්. 2007 අංක 56 දරන දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනතේ 3 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ඇත්තෙන්ම ඒක මහෙස්ත්‍රාත්වරයකුට ඇප ලබාදිය නොහැකි වරදක්. ඒ නිසා සෙල්වරාජ් ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තිය සහ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනතේ 3 වන වගන්තිය යටතේ නඩු පවරන්න කියා අපි ආණ්ඩුවට බල කරනවා. ආණ්ඩුව කියනවාලු අපිට තාම පැමිණිල්ලක් ලැබී නෑ කියලා. ප්‍රශ්නය ඒක නම් අපි හෙටම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා.

නීතිය අතට අරන් ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාට පහරදුන් කුපිත වුණු ජනතාව වරදක් කරලා තිබෙනවා. නමුත් ජාතිවාදය සහ බෙදුම්වාදය ඇවිස්සෙන අයුරින් කටයුතු කිරීම හරහා ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයා ඊට වඩා ලොකු වරදක් කරලා තිබෙනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුත්තේ ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාගෙන්. දෙමළ බෙදුම්වාදීන් ලෝකයේ වෙනත් කිසිම රටක ත්‍රස්තවාදීන් හැසිරිලා නැති ආකාරයක මේ රටේ නටන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා. ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් බිමට සමතලා වුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තිබුණු තැන හඳුන්වන්නේ ‘ග්‍රවුන්ඩ් සීරෝ’ නමින්. පුළුවන් නම් එතැන අල් ඛයිඩා සමරුවක් කරලා පෙන්නන්කෝ. සමරුවට යන අයට ගුටි කාලා නොවේ වෙඩි කාලා එන්න වෙන්නේ. ඒ වගේම 2015 පැරිස් බෝම්බ ප්‍රහාරය එල්ල කළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමරන රිය පෙරහරක් පැරිස් නගරය හරහා ගමන් කරන්න පුළුවන්ද? මේවා කරන්න හිතන්නේවත් නැති දේවල්. නමුත් කොටි ත්‍රස්තවාදීන්ගේ ඉතුරු-බිතුරු ටික මෙහෙම නටන්නේ ‘මේ රටේ කොන්ද පණ ඇති ආණ්ඩුවක් නැහැ’ කියන එක ඒ අය හොඳින්ම දන්න නිසා. අපේ උපේක්ෂාව, සහනශීලිත්වය, දුර්වලකමක් ලෙස සලකන්න එපා කියා අපි බෙදුම්වාදීන්ට අනතුරු අඟවනවා.

තිලීපන් මියගියේ 1987 තරම් ඈතක. උත්සවාකාරයෙන් තිලීපන් සැමරුමක් පිළිබඳ කොටි පරාජයෙන් පස්සේ අපිට අහන්න ලැබුණේ මේ අවුරුද්දේ, රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වුණාම. බෙදුම්වාදීන් සහ අන්තවාදීන් සක්‍රිය වෙන්නේ වැස්සක් වැටුණාම කූඩැල්ලන් නළියන විධියටමයි. රනිල්ගේ භයානකකම තේරුම් අරන් ජනතාව ඔහුව අඩුම ගණනේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුවත් නොකර ගෙදර තියන්න තීරණය කළා. එහෙව් රනිල්ව හොර පාරෙන් පාර්ලිමේන්තු ගෙනැවිත් මේ රටේ ජනතාව කවදාවත් නොදුන්නු ජනපති පුටුවේ වාඩි කරවීමේ වගකීම රාජපක්ෂලා භාර ගන්න ඕනේ. රාජපක්ෂලා කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමට දායක වෙලා යම් පිනක් රැස්කර ගත්තා නම් රනිල්ට ජනපතිකම දීලා ඒ පින සම්පූර්ණයෙන්ම අහෝසි කර ගත්තා කියා රාජපක්ෂලාට සිහිපත් කරන්න කැමැතියි.”

ප්‍රශ්න සහ පිළිතුරු :

ඇයි මේකට වාරණ නියෝගයක් රජයේ පාර්ශ්වයෙන් නොගත්තේ ?

“ශිෂ්‍යයෝ, වෘත්තීය සමිති, සිසුන් උද්ඝෝෂණය කරද්දී ගන්න ‘වාරණ නියෝගය’ ඇයි බෙදුම්වාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරමින් නැඟෙනහිර සිට උතුරට රිය පෙරහරක් යද්දී ගත්තේ නැත්තේ කියන එක අපිත් ප්‍රශ්න කරනවා. එහෙම බලද්දී නම් බෙදුම්වාදයට, ජාතිවාදයට, ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා කියන සාධාරණ නිගමනයට අපිට එළැඹෙන්න පුළුවන්.”

මේ වන විට අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයන් ගොඩක් ඉන්නවා නේද?

“ජනාධිපතිවරණයට මාස හයකට (6) පෙර සිට අපි ඒ ගැන කතා කරමු. ‘ජනාධිපතිවරණ පුරාණය’ අපිට කියලා දෙන්නේ ජනාධිපතිවරණයට වසරකට පෙරාතුව එන අපේක්ෂකයන් බොහෝ විට අපේක්ෂකයන් නොවන බවයි.”

සවනි ශේශාධි

+++++++++++

+

+

+


තමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගෙන් ප්‍රකාශයක්

(19.09.2023 – 10:08 +0530 – sinhala.adaderana.lk)

රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

(Photo from themoviedb.org)

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :

“17 වෙනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ඒ වෙලාවේ මට කතා කරපු මගේ ගැන හොයලා බලපු සියලුදෙනාටම ගොඩක් ස්තූතියි.

මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, දේශපාලනයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා.

අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ, දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට, දියුණු මිනිස්සු ඉන්න රටක් බවට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා.

ඒ දේශපාලන, සමාජ පරිවර්ථනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම කියන්නේ ඒ වෙනස මේ රටට ‘ඇප්ලයි’ කරන්න. ඒ නිසානම් අපිට තර්ජන එල්ල වෙන්නේ. හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. වෙනස හොයාගෙන දෙගොල්ලෝම වැඩකරමු. අපි තරුණ මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන් ඉදිරියටත් වැඩකරනවා.”

++++++++

+


ATM යන්ත්‍රය කඩා මුදල් සොරාගත් කණ්ඩායම සොයා විමර්ශන

(19.09.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් සොරකම් කළ කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒටීඑම් යන්ත්‍රය තුළ තිබූ රුපියල් 7,851,000 මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධව නිට්ටඹුව පොලිසියෙන් විමසු අවස්ථාවේදී ප්‍රකාශ කළේ කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *