මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩිතැබීමේ සිද්ධියේ තවත් තොරතුරු

මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩිතැබීමේ සිද්ධියේ තවත් තොරතුරු


මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩිතැබීමේ සිද්ධියේ තවත් තොරතුරු

(18.09.2023 – 07:35 +0530 – sinhala.adaderana.lk)

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ.

ඊයේ (17) රාත්‍රී 10:35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙහිදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්න්ධයෙන් අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර නිවසට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යොදා ඇති බව සඳහන්ය.

++++++++++

මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන විමර්ශන සී.අයි.ඩී.යට

(18.09.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට එල්ලවූ වෙඩි ප්‍රහාරයට අදාල විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අනුරාධපුරයේ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රථයට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන් තොටුපල පාරේ පිහිටි ඔහුගේ නිවස අසළදී වෙඩි තබා තිබුණා.

ඒ, ඊයේ (17) රාත්‍රී 10:45 ට පමණයි.

මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුටත් අනතුරක් සිදුව තිබුණේ නැහැ.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ මන්ත්‍රීවරයා නිවසට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට වෙඩි කිහිපයක් තබා පලාගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

කෙසේ වෙත් පසුව පොලිස්පතිවරයා පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කළේ ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි.

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපස පිහිටි සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කර ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ ඒවා අක්‍රිය වී තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට නිවසට පැමිණි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අප උත්සහ කළද එය ව්‍යර්ථ වූයේ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටීම හේතුවෙන්.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා.

ඔහු විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු වූ අතර, මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

+


මාතර පාසලක සිවිලිමේ පුපුරන ද්‍රව්‍ය

(18.09.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

පාසලක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ එම පාසලේ ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබීයදීයි.

එහි තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සොයාගෙන ඇති අතර වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවයි.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20 ක්, මිමී. 3.2 උණ්ඩ 24 ක්, මිමී. 9 උණ්ඩ 107 ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් (1) සොයාගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වූයේ ෴

+++++++

+


විපක්‍ෂයේ අය ඇමතිකම් තෝරනවා.. – ඩලස් අලහප්පෙරුම

(18.09.2023 – 15:50 +0530 – lankacnews.com)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ අනාගතය උගසට තබා , ලෝබ නැතුව ඉතාමත් ලාබෙට හීන විකුණමින් සිටින බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

‘නිදහස ජනතා සභාවේ’ ආසන සම්මේලන මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසන සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .

මෙහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා :

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන වචන කිසි පදනමක් නෑ. ඔහේ හිතුමතේ තමන්ගෙ හිතට එන එක කියනවා. ඔහු ලෝබ නැතිව ලාබෙට හීන විකුණ මින් ඉන්නවා. මම ඔබට එක උදාහරණයක් පෙන්වන්නම්. මේ මගේ අතේ තියෙන්නෙ 2015 සැප්තැම්බර් 28 වැනිදා දිවයින පත්‍තරය.

මේකෙ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ‘අනාගත පරපුරට ණය ගෙවන්න වන්නේ නැහැ. 2020 දී රට ණය බරින් නිදහස්’ කවුද මේ කතාව කියන්නේ ? එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ 70 හැත්තෑ වන සංවත්සරය අමතමින්.

මෙහෙම කියපු රනිල් වික්‍රමසිංහ මේ ඊයේ පෙරේදා ආයි කියනවා ‘2048 රට සංවර්ධිත රාජ්‍යයක් ණය ගෙවලා ඉවර කරපු ස්වර්ග රාජ්‍යයක් බවට පත් කරනවා’ කියලා.

එදිනෙදා තමන්ගේ දේශපාලන වේල පිරිමහ ගන්න මේ වගේ කතා කරමින් ඉදිරියට යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. කිසි වැඩපිළිවෙළක් නැහැ. රටේ තියන ප්‍රශ්නය අඳුන ගෙනත් නෑ. මේ රටේ රොග මූලය, මව් ප්‍රශ්නය අද වෙනකන් රනිල් වික්‍රමසිංහ අදුනගෙන නෑ. ඔහේ කියවමින් හීන විකුණමින් සිටිනවා. රෝග මුල් හොයාගන්න උත්සාහයක් නෑ.

විපක්ෂයත් එහෙමයි. සන්ධාන දේශපාලනයේ හැමදාම කතාව වුණේ ‘කවුද අගමැති – කවුද අධ්‍යාපන ඇමති – කවුද ආරක්ෂක ඇමති’ ඒවගේ දේවල්. ඒවා කතා කරන වෙලාවක් නෙමෙයි මේක. මේ රටට බලපාපු හැබෑ ප්‍රශ්න අඳුනගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන එකඟතාවක් ඇති කර ගන්න විපක්ෂය කටයුතු කරන්න ඕන. ඒකට ප්‍රායෝගික උදාහරණයක් ඉන්දීය විපක්ෂය පසුගිය සති දෙක ඇතුලේ පෙන්නුවා.

සුන්දර වචන දාපු ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ජනතාවගේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඉතිහාසයේ හැමදාම මේක කලා. අලුත්ම කතාව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් ඔහුගේ මාමා වන ජේ.ආර්. ගේ රෝග ටික වැළඳිලා. අද සැප්තැම්බර් 17 ජේ.ආර්. ගේ උපන්දිනය දවස. මේ කතාව කියන්න වීමත් කණගාටුවක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට මැතිවරණ භීතිකාව තිබුණා. අධිකරණයත් එක්ක ගැටුම් ඇති කිරීමේ රෝග තිබ්බා. ජේ.ආර්. ට තිබුන මේ වගේ විවිධ රෝග ජේ.ආර්. ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් බෝ වෙලා. රනිල් වික්‍රමසිංහත් මැතිවරණ වලට බයයි. Election phobia එක රනිල් ට වැළඳිලා තියෙන්නේ. මෙහෙම ගියොත් මේ රටට අනාගතයක් නෑ.

ඊටත් වඩා බය හිතෙන – හිතට දැනෙන කතාවක් මං මේ කියන්නෙ. අද මේ රටේ ආරක්ෂාවක් නෑ. මර බිය සමාජගත වෙලා ඉවරයි. ඒකට හොඳම සංඛ්‍යාලේඛන ටිකක් මං ඉදිරිපත් කරන්නම්. පැය දාහතරකට (14) වරක් එක්කෙනෙක් වෙඩි තියලා මරනවා. මං මේ කතා කරන අවස්ථාවේ අලුත් කඩේ දැරියකට වෙඩි තියලා මරලා.

පැය තුනකට (3) වරක් එක් (1) පුද්ගලයෙක් බැගින් සියදිවි නසාගන්නවා. දවසකට උගත් තරුණ තරුණියො 300 ක් රට දාලා යනවා. මේ තත්ත්වය ඇති කළේ කවුද? මේ සංඛ්‍යාලේඛන ටික එක දිගට ලියල බලන්න. මේකෙන් හිතට දැනෙන්නෙ මොකක්ද ? මහා භයානක තත්ත්වයක් නේද ඉදිරියේදී මැවෙන්නේ ?

රෝ බිය තියන රටක, මර බිය තියෙන රටක, කන්න නැතුව මිනිස්සු ඉන්න රටක අනාගතය ගමන් කරන්නේ මොන දිශාවටද කියලා හොඳට හදුනාගන්න පුළුවන් මේකෙන්.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *