විදේශගත වන දරුවෝ නිසා වැඩිහිටි පරපුර අනතුරේ

විදේශගත වන දරුවෝ නිසා වැඩිහිටි පරපුර අනතුරේ


විදේශගත වන දරුවෝ නිසා වැඩිහිටි පරපුර අනතුරේ

(17.09.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණයන්ගෙන් සියයට 80 ක් සහ අවුරුදු 25 ත් 36 ත් අතර තරුණයන්ගෙන් සියයට 70 ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබීම නිසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනි ගමගේ ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන් 2946 ක් සහ මේ වන විට විදේශගත වී ඇති 665 දෙනෙකු සහභාගි කරවා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පිරිස අතරින් සියයට 58 ක් සහ සියයට 42 ක් කාන්තාවන් මේ සඳහා සහභාගි කරවා ගත් බව ත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 26 ත් 35 ත් අතරේ පසුවන්නන් වූ අතර සමීක්ෂණයට බඳුන් වූ සමස්ත පිරිසෙන් සියයට 57 ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් අනාවරණය වී තිබෙනවා.

එමෙන් ම මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට (1000) අධික පිරිසක් වන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ.

මේ වන විට පන්දහසකට (5000) වැඩි පිරිසක් මෙරටින් විදේශගත වී සිටින අතර කොරෝනාවලින් පසු මෙරටින් විදේශගත වන ප්‍රමාණය වැඩි වූ බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී මෙවැනි තත්ත්වයන් උද්ගත වීම සඳහා හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහොමයක් විදේශ රටවල වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බවයි වාර්තා වුයේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කරන බවයි ෴


‘තිලීපන්’ සැමරුමේ දී මන්ත්‍රීවරයෙක්ට අමානුෂික පහරදීමක්

(17.09.2023 – 20:51 +0530 – sinhala.adaderana.lk)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වන ‘තිලීපන්’ නොහොත් ‘රාසයියා ප්‍රතීපන්’ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි කජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් එය සංවිධාන කර තිබූ බවය.

එම පෙළපාලිය අද (17) පස්වරුවේ ත්‍රිකුණාමලය හරහා ගමන් කරමින් තිබියදී ත්‍රිකුණාමලය සර්ධාපුර 6 කණුව අසල රැඳී සිටි පිරිසකගෙන් ඊට විරෝධයක් එල්ල විය.

තිලීපන්ගේ රුව රැගත් කැබ්රථය, එල්ලවූ විරෝධය හමුවේ ආපසු හරවාගෙන යාමට සිදුවිය.

මෙම රථ පෙළපාලියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ද එක්ව සිටි අතර ඔහු ද එම විරෝධයට මැදිවිය.

එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම කජේන්ද්‍රන් මන්ත්‍රීවරයාට පහරදී තිබුණි.

ඒ අතර එහි සිටි තවත් පිරිසක් මන්ත්‍රිවරයා යතුරුපැදියකින් එම ස්ථානයෙන් පිටත් කරවීමට කටයුතු කළේය.

එහිදීද යළිත් වරක් තවත් පුද්ගලයෙක් මන්ත්‍රීවරයාට පහර දුන්නේය.

සිද්ධියෙන් පසු එම ස්ථානය අවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

සිද්ධිය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

+


ගණේමුල්ල සංජීව ලංකාවට ආපු හේතුව හෙළිවෙයි (17.09.2023 – 19:52)

+


මාළිගාකන්දේ දී වෙඩි වැදුනු දරුවා ජීවිතක්ෂයට

(17.09.2023 – 17:53 +0530 – sinhala.adaderana.lk)

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ, මියගිය දරුවාගේ පියා වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බවය.

අද (17) පස්වරු 03:30 ත් – 04:00 ත් අතර වෙඩිතැබීමක් සිදුව තිබුණි.

වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව තිබුණේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙකි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) අධිකරණය අසලදී ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06 ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.

+


කාදිනල් හිමිගෙන් ජනපතිට චෝදනාවක්

(17.09.2023 – 21:45 +0530 – sinhala.adaderana.lk)

චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ කමිටු සේම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි අගරදගුරු හිමියන් ප්‍රශ්න කළේය.

අගරදගුරු හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

“එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. අපේ රටේ නායකයා එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරා.

ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම් – නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.”

කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125 වන ජුබිලි සැමරුම අද පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගුරු හිමිපාණන් විසිනී.

+


මාලිගාකන්දේදී වෙඩි වැදුණු පුද්ගලයාට ඝාතන චෝදනා

(18.09.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මරදාන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ඊයේ (17) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාට එරෙහිව ඝාතන චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 36 ක පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ වයස අවුරුදු 6 ක දියණිය ජීවිතක්ෂයට පත් වු අතර ඔවුන් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා නඩු කටයුත්තක් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ යළි පිටව යන අවස්ථාවේදයි මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි ෴


හරක් කටාට සහය දැක්වූ කොස්තාපල්ගේ මව සහ ඥාතියකු අත්අඩංගුවට

(18.09.2023 – 8:12 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ට සහය පළ කළ දැනට පළාගොස් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක ඔහු විදේශ රටකට පලා ගොස් ඇති බවට වාර්තා පළවුවද එය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘හරක් කටා’ මෙම කොස්තාපල්වරයාට අවස්ථා කිහිපයකදී මුදල් ලබා දී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් මෑත කාලයේදී රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනා කුඹුරු ඉඩමක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර ඔහුගේ දෙමාපියන්ට සහ පවුලේ ඥාතීන්ට තවත් මුදල් ලබාදී ඇති බවයි ෴


එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවූ සංකූලතා මත තරුණයෙක් මියයයි

(17.09.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

එන්නතක් ආසාත්මික වීමෙන් තම දරුවා ජීවිතක්ෂයට පත් වූ බවට ඔහුගේ දෙමාපියන් ඇතුලු ඥාතීන් චෝදනා කරනවා.

ගාල්ල – තවලම, හල්විටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි කසුන් දිලාර නමැති ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා ද ප්‍රතිකාර සදහා ඔහු අපේක්ෂා රෝහල වෙත සිය ප්‍රතිකාර සදහා තනිවම ගොස් ඇති අතර එහිදී ඔහුට එන්නතක් ලබාදී ඇති බවටයි ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කළේ.

එම එන්නත ලබාගැනීමෙන් විනාඩි 10 ක පමණ කාලයක් තුළ මතු වූ සංකූලතා හේතුවෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහරගම අපේක්ෂා රෝහලේන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ මෙවැනි සිද්ධියක් වාර්තා වී නොමැති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *