2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ


2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

(04.09.2023 – 16:54 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200 කදී පැවැත් වූවා.

ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් (2,78,196) ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් (53,513) ද සහභාගී වී තිබෙනවා.

මෙවර විභාගයට මුහුණ දුන් අපේක්ෂකයින්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය හරහා ද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

අයදුම්කරුවන් 263,933 ක් අතරින් 166,938 ක් (63.3% )ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් සපුරා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිඵල දැන ගැනීමට :

UPDATE : ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම (1) ස්ථානය හිමි කර ගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂානි මුණසිංහට හැකියාව ලැබී තිබෙනවා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනී දිල්සරණි තරුෂිකා වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු (1) ස්ථානය ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බානුල පෙරේරා භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා (1) වී තිබෙනවා ෴


අයථා ලෙස උපයාගත් මුදල් විදේශයේ තැම්පත් කර ඇත්නම් කඩිනමින් නැවත අය කර ගැනේ

(04.09.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව අධිකරණ, බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහිදී අයථා අන්දමින් මුදල් උපයා විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව වෙනුවෙන් මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය කටයුතු කරන බවත්, නව දූෂණ විරෝධී පනත මෙම මස 15 වැනි දින සිට බලාත්මක වීමත් සමඟ එවැනි පුද්ගලයින් පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සහ මත් ද්‍රව්‍ය අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන STAR ක්‍රමවේදය මෙහිදී යොදා ගැනීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් ෴


ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම : විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

(04.09.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ හා ශ්‍රි ලංකාවේ සිටින ඇතැම් වංචාකරුවන් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අයකරන බවත්, විදේශ රැකියා ඇමතිගේ නෑදෑයෙකු, හිතමිත්‍රයෙකු යැයි කියාගනිමින් මෙම වංචාවන් සිදුකරන බැවින් කිසිඳු පුද්ගලයෙකුට ඊශ්‍රායල් රැකියා සඳහා මුදල් ලබානොදෙන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලබා ඊශ්‍රායල් දත්ත පද්ධතියේ රැදි සිටින අයදුම්කරුවන් 590 දෙනෙකු 2023.09.01 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදීයි අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා මූලික සුදුසුකම් ලැබූ අයගේ තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් ලබාගෙන රැකියා ලබාගැනීමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් මුදල් ලබාදෙන ලෙස ප්‍රකාශ කරන බවත්, ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස අමාත්‍යවරයා රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවේදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යන ශ්‍රි ලාංකිකයින් 27 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද සිදු කර තිබෙනවා.

ඉන් රැකියා ලාභීන් 11 දෙනෙකු සැප්තැම්බර් මස 03 දින පිටත්ව ගිය අතර, තවත් 16 දෙනෙකු සැප්තැම්බර් 05 යන දිනයන්හි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි ෴


ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(04.09.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145 න් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 3127 ක්.

එමෙන් ම 5 kg ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1256 කි.

2.3 kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 26 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වන්නේ රුපියල් 587 ක් ලෙසයි.

ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගනන් ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

+++++

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

(04.09.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි LAUFGS ගෑස් සමාගමද සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,835 ක් ලෙස රුපියල් 145 කින් වැඩි වී තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 1535 ක් වන අතර එහි මිල රුපියල් 59 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල සංශෝධනයක් සිදු වී නැහැ ෴


විදෙස් රැකියා සඳහා පිටත් වූ පුද්ගලයින් ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවයි

(04.09.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ විදෙස් රැකියා සඳහා පිටත් වූ පුද්ගලයින් ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවන බව විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඉන් පිරිමි ශ්‍රමික ප්‍රමාණය 113,635 ක් වන අතර කාන්තාවන් ප්‍රමාණය 86,752 වන බවයි එම කාර්යාශය අනාවරණය කරන්නේ.

මෙලෙස පිටත් වූ විදෙස් ශ්‍රමිකයින්ගෙන් බහුතරයක් එනම් 44,827 ක ප්‍රමාණයක් විදෙස් ගත වී ඇත්තේ සෞදි අරාබියට වන අතර දෙවනුව කුවෙට් රාජ්‍ය සඳහා වන බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 22,801 ක් විදෙස් ගත්ව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 20,957 යි, මහනුවර දිස්ත්‍රික්කයෙන් 19,222 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 17,777 ක් සහ මඩකලපුවෙන් 11,831 ක ප්‍රමාණයක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන්.

2022 වසරේ විදෙස් රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය 310,967 ක් වන බවද එහි වැඩිදුරටත් වාර්තා වනවා ෴


උණට බෙහෙත් ගන්න ගිය අවුරුදු 8 ක් වයසැති දැරියට අත අහිමිවෙයි

(04.09.2023 – 22:53 +0530 – sinhala.adaderana.lk)

රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් අද (04) වාර්තාවුණි.

යාපනය මල්ලාගම් හි අවුරුදු 8 ක් වයසැති දැරියක් උණ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදාය.

ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙයි.

එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් බව හේතුවෙන් දැරියට අත අහිමි වූ බවය.

+


‘විහඟනා ආරියසිංහ’ දැරියගේ උසස්පෙළ ප්‍රතිඵලය මෙන්න

(04.09.2023 – 21:41 +0530 – sinhala.adaderana.lk)

මොළය මියගිය දැරියකගේ සිරුරේ අවයව කොටස් කිහිපයක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් ‘අද දෙරණ’ හරහා අප පසුගිය මාර්තු මස අප වාර්තා කළේය.

මෙලෙස මොළය මියයාම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි ‘විහඟනා ආරියසිංහ’ දැරියයි.

අද (04) සියලු හදවත් සංවේදී කරවමින් අසන්නට ලැබුණු තවත් පුවතක් මෙලෙස වාර්තා විය.

ඒ විහඟනා මෙවර උසස්පෙළ විභාගය ඉහළින් ම සමත්ව ඇති බව සඳහන් පුවතයි.

වාණිජ අංශයෙන් 2022 (2023) උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් (3) ලබාගනිමින් එම කඩඉම ඉහළින්ම ජයගෙන ඇත.

එහෙත් එම සතුට සමරන්න සැවොම බලා සිටියද විහඟනා නැවත එන්නේ නැත.

ඇය දන්දුන් ශරීර අවයව සමග ජීවත් වන යළි ජීවිතය ලබාගත් පුද්ගලයින් සමග ඇයගේ මතකය සදාතනිකව සැම හදවත් තුළ රැඳෙනු ඇත.

‘විහඟනා ආරියසිංහ’ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලක බාලම දරුවාය.

ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටී.

විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වන අතර ඇයගේ සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.

අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වුණි.

ඒ අනුව මාර්තු 17 වනදා විහඟනාව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව ඇයගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසේ.

කෙසේවෙතත් සියලුදෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගීව දිගු කලක් ජීවිත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත්වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලයකි.

නමුත් මේ කතාව විශේෂ වන්නේ එක් පුද්ගලයෙකුගෙන් ලබාගත් හදවතක් සහ පෙනහළු දෙකක් (2) එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම නිසාවෙනි.

මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් (2) අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගියෙකුට බද්ධ කර නැවත ජීවිතය ලබාදුන් එම සුවිශේෂී සැත්කම කොළඹ ජාතික රෝහලේ දී සිදුකෙරිණි.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි ‘විහඟනා ආරියසිංහ’ දැරියගේ හදවත සහ පෙනහළු එලෙස බද්ද කෙරුණි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කෙරුණු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ‘නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට’ වීම තවත් විශේෂත්වයක් වේ.

විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පැය භාගයක (½) පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණි.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙක (2) ද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට (2) සාර්ථකව බද්ධ කර තිබේ.

ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව අනාවරණය වුණි.

මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට (3) නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5 ක් පුද්ගලයින් 7 දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවේ.

++++++++

විහඟනා ආරියසිංහ දැරියගේ ඇත්ත වෛද්‍යවරයෙක් හෙළිකරයි (27.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *