‘අස්වැසුම’ට අභියාචනා ලක්ෂයක් – විරෝධතාවක ගිය පොහොට්ටුවේ මන්ත්‍රීට දිඹුලාගලදී විරෝධය

‘අස්වැසුම’ට අභියාචනා ලක්ෂයක් – විරෝධතාවක ගිය පොහොට්ටුවේ මන්ත්‍රීට දිඹුලාගලදී විරෝධය


‘අස්වැසුම’ට අභියාචනා ලක්ෂයක් – විරෝධතාවක ගිය පොහොට්ටුවේ මන්ත්‍රීට දිඹුලාගලදී විරෝධය

(26.06.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණවල නොයෙදී අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සුබසාධක ප්‍රතිලාභි මණ්ඩලයේ සභාපති බි. විජයරත්න ඉල්ලීමක් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවසන් ප්‍රතිලාභි නාම ලේඛනය සකස් කිරීමට එය ඉවහල් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, අස්වැසුම වැඩසටහන හරහා සහන ලැබිය යුතු එහෙත් ලැයිස්තුවට නම ඇතුළත් නොවු බොහෝ පිරිසක් අද (26) අභියාචනා ඉදිරිපත් කිරිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ විරෝධතාවල නිරත වුනා.

දිළිදු පවුල් සදහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් අස්වැසුම සුභ සාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජය විසින් ආරම්භ කළ අතර සංක්‍රාන්තික, අවදානමකට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිදු යන කාණ්ඩ 04 ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙනවා.

අබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන්ද ඊට ඇතුළත්. ඒ පිළිබද තොරතුරු දිර්ඝ කාලයක් තිස්සේ එක්රැස් කිරීමෙන් අනතුරුවයි ප්‍රතිලාභි නාමලේඛන පසුගියදා ප්‍රසිද්ධ කෙරුණේ.

එහෙත් එම නාමලේඛනවල සහන ලැබිය යුතු පුද්ගලයින් ඇතුලත් නොකර සහන ලැබිමට නුසුදුසු පුද්ගලයින් ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වුනා.

කෙසේ වෙතත්, දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ලබන මස 10 වනදා දක්වා අභියචනා ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව, අභියාචනා සහ විරෝධතා ගොනු කිරිමට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඔවුන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අද (26) පැමිණ සිටියා. දෘශ්‍යාබාධිත පිරිසක් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අභියචනා ඉදිරිපත් කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ඇතැම් ප්‍රදේශවල අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමට පැමිණී පිරිස අතර උණුසුම්කාරි තත්ත්වයන්ද හටගත් අතර බොහෝ ප්‍රදේශවල දැඩි තදබදයන්ද දක්නට ලැබුනා.

අස්වැසුම ප්‍රතිලාභ නාම ලේඛනය තුළින් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් පිරිසක් අද (26) විරෝධතාවක නිරත වුනා.

මෙම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම අදහස් දැක්වීමත් සමග විරෝධතාවයේ නිරතව සිටි පිරිසගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.

පසුව ඔහු විශේෂ ආරක්ෂාවක් යටතේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කළා.

එමෙන්ම, අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවයේ නිරත වුයේ සිය නම ප්‍රතිලාභි ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව පවසමින්.

එහිදි මාර්ගයේ රථ වාහන ගමනා ගමනට දැඩි බාධා එල්ලවුනා. එහිදි මාර්ගයේ ගමන් ගත් රථවහන රියදුරන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ නොලැබුන බව පවසමින් කාන්තාවන් පිරිසක් බලන්ගොඩ – ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසලට පැමිණ හඬා වැටුණා.

මේ අතර, අස්වැසුම් ප්‍රතිලාභ නොලැබුන බව පවසමින් මීගමුවේදි ධීවර කර්මාන්තයේ නිරත කාන්තාවක්ද අද (26) විරෝධතා පාගමනක නිරත වුණා.

අස්වැසුම් ප්‍රතිලාභ නොලද වතුකරයේ සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම්ලාභි පවුල් විශාල පිරිසක් ද ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යාලය වෙත පැමිණි අභියාචනා භාරදෙනු ලැබුවා.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවේදී සුබසාධක ප්‍රතිලාභි අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කමල් පද්මසිරි කියා සිටියේ මේ වන විට ප්‍රතිලාභි නාමලේඛන සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂයක් පමණ ලැබී ඇති බවයි ෴

+


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

(26.06.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළ යෝජනාව අනිද්දා (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු සති අන්තයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් නාළිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (26) පැවසුවේ ඉදිරි දින 5 තුළ එම කටයුතු අවසන් කරන බවයි.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වලින් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කෙරුණා.

ලබන ජුනි 30 වනදා බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොල විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ එමගින් අන්තර්ජාල බැංකු කටයුතු සහ ATM, CDM ගනුදෙනුවලට බලපෑමක් සිදු නොවන බවයි.

ශ්‍රී ලංකාව විදේශීය සහ දේශීය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 83 ක් ලබා ගෙන ඇති අතර ඉන් ඩොලර් බිලියන 41 විදේශීය ණයයි.

අමෙරිකානු ඩොලර් බිලියන 42 ක් දේශීය ණය ලෙස යොදාගෙන තිබෙනවා.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වලට බලපෑමක් නොවන අයුරින් කටයුතු කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ යුරෝපා සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව වාර්තා වනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව එළැඹෙන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වලින් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු හය (6) දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළා ෴


මවුපියන්ගේ දෑතේ වාරුවෙන් දිස්ත්‍රික් ප්‍රථමයා බුහුමන් ලබයි

(26.06.2023 – 19:33+0530 – hirunews.lk/sinhala)

මෙවර විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අගය කිරීමේ උත්සවයක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වා තිබෙනවා.

එහිදී ජීව විද්‍යා අංශයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වූ අශාධී සහස්ශ්‍රීකා දිසානායක දියණිය පැමිණි සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මෙහි විශේෂත්වය වන්නේ ඇය දෙපා වාරු නැති සිසුවියක් වීමයි.

ඇය තම ත්‍යාගය ලබා ගැනීමට පැමිණ සිටියේ තම මවුපියන්ගේ දෑතේ වාරුවෙන්.

කෙසේ වෙතත් පැමිණ සිටි සියල්ලන්ගේම ඇස්වලට කඳුලක් එක්කරමින් ප්‍රේක්ෂකාගාරයේ අත්පොළසන් නද මැදින් ඇය ගරු බුහුමන් ලබා ගත්තා.

+


බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සුළු පියාට වසර 30 ක සිරදඬුවම්

(26.06.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට තිබෙනවා.

මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේදී ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මරණ බවට තර්ජනය කොට ඇය කෙලෙසා ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට වසර 08 කට පෙර අවස්ථා කිහිපයකදීම මරණ බවට තර්ජනය කොට බාලවයස්කාර දියණිය කෙළසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළී වී ඇත්තේ දැරිය ගැබිනියක් වීම නිසා බව නඩු විභාගයේදී හෙළී වී තිබුණු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟින් සැකකරුවෙක් අත්අඩංගුවට

(26.06.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

යාපනය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 ක් සමග සැකකරුවකු 25 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 31 වෙනි වියේ පසුවන නාච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වෙන්නේ.

යාපනය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුව පරීක්ෂා කිරීමේ දී අලෙවි කිරීම සදා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය පොලීසියට හමු වී තිබෙනවා.

සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ගැහැණු ළමයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අත්අඩංගුවට

(26.06.2023 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ගැහැණු ළමයින් රවටා ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා facebook හරහා තරුණියන් හඳුනා ගනිමින් ඔවුන් සමඟ ප්‍රේම සබඳතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසා සිටියේ අදාළ පුද්ගලයා එවැනි තරුණියන් රවටා හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබා ගන්නා බවයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනය ද තම භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අදාළ ජංගම දුරකථනයේ තිබී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගනීමට ද පොලිසියට හැකි වී තිබෙනවා.

මෙම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


පෙම්වතිය මියගිය වේදනාවට පෙම්වතාද සියදිවි නසා ගනී

(26.06.2023 – 21:13 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතිය මිය ගොස් දින කිහිපයකට පසු ඇය නොමැතිව ජීවත් වෙන්නට නොහැකි බව පවසා දිවි නසා ගත් තරුණයකු සම්බන්ධ පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වෙන්නේ.

පවුලේ ඇති ප්‍රශ්න නිසා මෙම තරුණයාගේ පෙම්වතිය මීට දින කිහිපයකට ඉහතදී සියදිවි නසා ගෙන ඇති අතර එදා සිට මෙම තරුනයා මහත් දුක සේ කාලය ගතකොට තිබෙනවා.

පසුව සිය පෙම්වතිය නොමැතිව සිටිය නොහැකි බව පවසමින් මෙම තරුණයා ගෙල වැළලාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

මිය යාමට පෙර ඔහුගේ පෙම්වතිය ගැන ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *