අමාත්‍යාංශයට කඩා වැදුන ‘සිංහල රාවය’ සංවිධානයේ නියෝජිතයින්ට අමාත්‍ය මනුෂගෙන් උණුසුම් ප්‍රතිචාරයක්

අමාත්‍යාංශයට කඩා වැදුන ‘සිංහල රාවය’ සංවිධානයේ නියෝජිතයින්ට අමාත්‍ය මනුෂගෙන් උණුසුම් ප්‍රතිචාරයක්


අමාත්‍යාංශයට කඩා වැදුන ‘සිංහල රාවය’ සංවිධානයේ නියෝජිතයින්ට අමාත්‍ය මනුෂගෙන් උණුසුම් ප්‍රතිචාරයක්

(26.06.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට ඉල්ලා සිටිමින් ‘සිංහල රාවය’ සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යාංශයට පැමිණ කළ ඉල්ලීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සුබවාදී ප්‍රතිචාරයක් ලබා දී තිබෙනවා.

‘සිංහල රාවය’ ජාතික සංවිධානයේ නියෝජිත කණ්ඩායම පෙර දැනුම්දීමකින් තොරව අමාත්‍යාංශයට පැමිණ තිබුණත් අමාත්‍යවරයා ඒ වන විට පැවති සාකච්ඡාවක් මදකට නතර කර එම නියෝජිත කණ්ඩායම හමු වුනා.

“රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මාර්ගය වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන එනු ලබන විදේශ ප්‍රේශණයි. විදේශ ගත ශ්‍රමිකයා විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණ දෙන විට ඒවා කළමනාකරණය කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසාම ශ්‍රමිකයින් විවිධ අවස්ථාවලදී නොයෙක් ගැටලුවලට මුහුණ දෙනවා. ඒකට තියෙන විසදුම තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම. විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කළොත් කිසියම් රටක ඉන්න ශ්‍රමිකයෙක් මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නොත් එක බොත්තමක් එබුවම අදාල සියලුම බලධාරීන්ට ඒවා බලාගන්න පුලුවන්. මේ වගේ විසදුමක් විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන්න”

අක්මීමන දයාරතන හිමියෝ මෙලෙස ඉල්ලා සිටියා.

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණයට ලක් කරන ලෙසද එවැනි පියවරක් ගතහොත් එය විශාල පිංකමක් බවද දයාරතන හිමියෝ පැවසුවා.

එයට සුභවාදී ප්‍රතිචාරයක් ලබාදුන් අමාත්‍යවරයා පැවසුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීරද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ඔහු පැවසුවේ :

“විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම මගින් මේ තියෙන ප්‍රශ්නවලින් සියයට 99 ක් විසදන්න පුලුවන්. විදේශ රැකියා ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් වන අනුමැතීන් ලබාගැනීම මාසයක් දෙකක් ඇතුළත අවසන් කිරීමට හැකියාව ලැබේවි. ලබන අවුරුද්දේ (2024) ජනවාරි මාසයේ ඉදලා මේ ඩිජිටල්කරණ ක්‍රියාදායම ක්‍රියාත්මක කරන්න පුලුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේක පුංචි ඩිජිටල්කරණයක් නෙමෙයි. කිසියම් රැකියා ඇනවුමක් ලැබුණ දිනයේ සිට ශ්‍රමිකයා රට ගිහින් එන තුරු සියලුම කටයුතු ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. මේවා ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා වන විශාල කටයුත්තක් කරන්න තියෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“සමහර රටවල කාන්තාවන්ට කරදරයක් වුනාම ජංගම දුරකතනය අරගෙන දුක් සහිත මුහුණ ලකුණු කරන්න තියෙනවා. එතකොට ඒ රටේ තානාපති කාර්යාලය, ඉදලා සියලුම තැන් දැනුවත් වෙනවා. තානාපති කාර්යාලය මැදිහත්වීම් නොකරන විට ඒවා අමාත්‍යාංශයට දැනගැනීමට හැකි ක්‍රමවේදයක් හදනවා. දැන් විදේශ රැකියාවලට ගිහින් නොයෙක් ගැටලුවලට මුහුණදෙන කාන්තාවන්ට හොරුන්ට අහුවෙලා ඉන්නේ. රවට්ටලා අරගෙන යන්නේ. පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය වාර්තා බොරු. ඩිජිටල්කරණය හරහා මේ සියල්ල වලක්වා ගන්න තමයි අපි උත්සාහ ගන්නේ. අපි මේ වගේ වැඩක් කරගෙන යන විට සමහර අමාත්‍යාංශවලින් අනුමැතීන් ගැනීම සදහා යම් යම් ප්‍රමාදයන් එනවා. හාමුදුරුවන් අපිට නිතරම මේවා කරලා මතක් කරන එක අපි අගය කරනවා.”


හිටපු පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භ කරයි

(26.06.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

තරුණයෙකුට පහර දී ඝාතනය කළ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ මන්ත්‍රී ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හගුරන්කෙත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 19 වැනිදා ඉඩම් ආරවුලක් හේතුවෙන් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් තරුණයකුට පොලුවලින් පහරදී තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර සිටියදී ඊයේ (25) මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙම සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු මන්ත්‍රීවරයා ඇතුළු අටදෙනකු (8) අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව පොලිසිය පවසයි ෴


දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව පෙත්සමක්

(26.06.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (EPF සහ ETF) ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අද (26) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු 6 දෙනෙකු විසිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ ෴


සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

(26.06.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට අදාළව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘පියත් නිකේෂල’ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


සිඟිත්තියට ආහාර ලබාදෙමින් සිටි මවට අපස්මාර රෝගය වැළදෙයි – සිඟිත්තිය ජිවිතක්ෂයට

(26.06.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

තම සිගිත්තියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවට ඇතිවූ අපස්මාර රෝගී තත්ත්වයත් සමඟ ආහාර කවමින් සිටි දියණියට ආහාර උගුරේ යෑම නිසා දියණිය ජීවිතක්ෂයට පත්වූ පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාවේ පදිංචි අරුමුගන් අගල්යා (අවු 1½)නැමති සිගිත්තියක් බව සඳහන්.

සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙල කර නිවස තුලදි සිගිත්තියට ආහාර ලබා දි ඇති බවත් , එම අවස්ථාවේ එකවරම මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය (25) දින රෝහල් ගත කළ අවස්ථාවේ සිගිත්තිය ජිවිතක්ෂයට පත් වි ඇති බවයි බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

ජිවිතක්ෂයට පත් සිගිත්තියගේ මව දිගු කාලයක් අපස්මාර රෝගයෙන් පෙලි ඇති බවත්, ඒ සඳහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මියගිය සිගිත්තියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරික්ෂණය පැවැත්විම සඳහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට

(26.06.2023 – 17:51 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු (3) සහ තරුණයන් තිදෙනකු (3) අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසු සිසුවියන් උපකාරක පංති යන බව නිවෙස්වලට පවසමින් මෙසේ පාළු නිවසකට වී මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් හදිසි ඇමතුම් සේවාවට ලද තොරතුරකට අනුව අම්පාර පොලිසිය විසින් සිදු කළ විශේෂ වැටලීමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසා සිටියේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරිමෙන් පසු බීමත්ව සිටි බවට තහවුරු වූ බවයි.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ අම්පාර පන්නල්ගම සහ බක්මිටියාව ගම්මානවල පදිංචි පිරිසක්.

අදාළ තරුණ තරුණියන් පාසල් ‍යන වයසේ පසුවන වයස අවුරුදු 18 ක් වූ පිරිසක් බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


වසර 09 කට පසු අලුත් වූ කතරගම බස් නැවතුම් පොල යළි ජනතා අයිතියට

(26.06.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ඊට විසඳුම් ලබාදීම සඳහා හිරු ප්‍රවෘත්ති සිදුකරන්නේ සක්‍රිය කාර්යභාරයක්.

එලෙස අප අවස්ථා කිහිපයකදී රටට පෙන්වා දුන් අබලන් වූ කතරගම ප්‍රධාන බස්නැවතුම්පොළේ ගැටලුවට මේ වනවිට විසඳුම් ලැබී තිබීම සම්බන්ධයෙන් අප ලබන්නේ නිහතමානී සතුටක්.

කතරගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ වසර 09 කට වැඩි කාලයක් අබලන්ව පැවතීමෙන් ජීවිත අවදානමක් පවා උද්ගතව තිබීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ කළා.

ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ අවධානය යොමුව තිබුණේ ඉන් පසුවයි.

වසර 09 කට අධික කාලයක් තිස්සේ යාචකයන්ගේ හා විවිධ අපරාධ සදහා යොදා ගන්නා ස්ථානයක්ව පැවති කතරගම බස් නැවතුම් පොල කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකර ජනතා අයිතියට පත් කිරිම පසුගිය දින (25) සිදුකෙරුණා.

වසර 09 කට අධික කාලයක් කතරගම නගරය මධ්‍යෙය් පිහිටි මෙම ප්‍රධාන බස් නැවතුම් පොල විදුලියද නොමැතිව පැවතියේ ජනතාවට එය පරිහරණය කිරිමට නොහැකි තරමටම අබලන්වයි.

කතරගමට යන එන මගීන්ට මෙම බස් නැවතුම් පොල පරිහරණය කිරිමට නොහැකි තරමටම මෙය අපිරිසිදු ස්ථානයක්ව පැවති අතර අවසානයේ මෙය යාචකයන්ගේ හා විවිධ අපචාර සිදුකරන්නන්ගේ නවාතැන්පොලක් පමණක් බවට පත්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා 29 වතාවක් වගකිවයුත් බළධාරීන් දැනුවත් කලද ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ සදහා මුදල් ප්‍රථිපාදන නොමැති බව පවසමින් මෙම බස් නැවතුම්පල ඉදිකිරිම් ප්‍රමාද කරමින් සිට තිබෙනවා.

මෙවන් තත්වයක් තුළ කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා කතරගම කිරවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හා කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස යන නා හිමිවරුන්ගේ අනුසානසා පරිදි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම දේවාලයේ පුද පඩුවරු වලින් රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න මුදලක් යොදවා මෙම බස් නැවතුම් පොල කෙටි කලක් තුළ ඉදිකර ජනතා අයිතියට පත් කර තිබෙනවා ෴

මීට සමගාමීව බස්නැවතුම්පොළ අවට මාර්ගයද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බස් රථ දෙකක් ද (2) මෙම නැවතුම්පොළේ සිට ධාවනයට එක් කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *