මහනුවර පවුල් 800 කට පානීය ජලය නොලැබීමේ ගැටලුවක්

මහනුවර පවුල් 800 කට පානීය ජලය නොලැබීමේ ගැටලුවක්


මහනුවර පවුල් 800 කට පානීය ජලය නොලැබීමේ ගැටලුවක්

(26.06.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මහනුවර උඩුනුවර ඇල්පිටිකන්ද ග්‍රාම සේවා වසමේ ගම්මාන පහක පවුල් 800 කට අයත් ගම්වාසීන් 4,000 කට මූලික මිනිස් අවශ්‍යතාවයක් වන පානීය ජලය නොලැබීමේ ගැටලුවක් උද්ගතව තිබෙනවා.

ඊට බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් එම ගම්වාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ මහනුවර ප්‍රජා ජල සැපයුම් සංවිධානය එක්ව දියත ප්‍රජාමූල සංවිධානය හරහා පවුල් 374 ක් සඳහා මීට පෙර ජලය ලබා දී තිබුණද එම සංවිධානය විදුලි බිල්පත් සහ ජල බිල්පත් නොගෙවීමෙන් දැනට මාස පහකට (5) පෙර මෙම ගම්මාන 05 ට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ මේ හේතුවෙන් ජලය ලබා ගැනීමට කිලෝමීටර 03 කට ආසන්න දුරක් යා යුතු බවයි.

ගම්වාසීන් චෝදනා කරන්නේ ජලසම්පාදන මණ්ඩලයෙන් සෘජුව මෙම ගම්මානවලට ජල සැපයුම ලබා නොදී ප්‍රජා මූල සංවිධානයක් හරහා ලබාදීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවයි.

+


දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග ගිහින් අයෙක් මරුට

(26.06.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

හුංගම, ගොඩකදුරු යාය වැව අසල වීල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (25) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පහර කෑමට ලක් වූ පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ පට්ටියපොළ, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ගොවීන්ට පොහොර මිල දී ගැනීම ගැන නිවේදනයක්

(26.06.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය වසර (2023) අවසානය දක්වා දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වසරේ (2023) දෙසැම්බර් මාසය තෙක් ගොවීන්ට පොහොර මිල දී ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ෴


ශ්‍රී ලංකන් ප්‍රමාදයෙන් රැකියා අවදානමට ලක්වූ ලාංකිකයන් පනස් දෙදෙනා (52) දකුණු කොරියාවට

(26.06.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිවූ රැකියාලාභීන් පනස් දෙදෙනා (52) ඊයේ (25) එරට බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය 20 වැනිදා දකුණු කොරියාව බලා යාමට සුදානමින් සිටි මෙම පිරිසට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් ආපසු හැරී යාමට සිදුවුණා.

එම තත්ත්වය හමුවේ ඔවුන්ට හිමිව තිබූ රැකියා අවස්ථා ද නොලැබී යාමේ අවදානමක් පැවති අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා සිදුකර අදාළ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් යළි දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ෴


කැබ් යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(26.06.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මල්ලාවි, මාන්කුලම් වෙල්ලන්කුලම් මාර්ගයේ මල්ලාවි නගරයේ ඊයේ (25) කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ තුනුක්කායි දෙස සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපදියක හා ගැටීමෙන්.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වූ තේක්කවත්ත, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසු කැබ් රථයේ රියැදුරා රථය දමා පැන ගොස් තිබෙනවා. කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර මල්ලාවි පොලිසිය රියැදුරු සොයා විමර්ශන සිදු කරනු ලබනවා ෴


‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

(26.06.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපනයන සඳහා ‘ජී.එස්.පී ප්ලස්’ තීරුබදු සහනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බව රුමේනියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී සහතික වී තිබෙනවා.

ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම රුමේනියාවේ අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන්ද රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී ශ්‍රී ලංකාවට ස්තූතිය පළකර තිබෙනවා.

පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴


ගාලු මුවදොර යාචකයින් රිදියගමට

(26.06.2023 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර මැඩලීම සඳහා කොළඹ වරාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

දැනට ගාලුමුවදොර පිටියෙහි යාචකයින් 150 ක පමණ පිරිසක් සිඟමන් යැදීම හේතුවෙන් එහි පැමිණෙන ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

ඊට පිළියමක් ලෙස එම යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇති බවයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළේ.

ඔවුන් ස්ථානගත කිරීමේදී අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාරපාන සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකරනු ලබනවා ෴


රිලව් චීනයට අපනයනය නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්

(26.06.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිලව් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන පුද්ගලයින්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

මෙහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසයි.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකඟතාවය පළ කළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වී ඇති බවත් එහි මුල් පියවර ලෙස රිලවුන් දස දහසක් අපනයනය කිරීමට නියමිත බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

මෙම ක්‍රියාව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සත්ව හිංසා වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව තුළින් මෙරට පරිසරයේ ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් සඳහන් කර තිබෙනවා.

මෙම රිලවුන් අපනයනය කෙරෙන්නේ කුමන අරමුණක් සඳහා දැයි අපැහැදිලි බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ ෴


‘බෙලා’ ඔබට නිවන් සුව

(26.06.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි 1332 ‘බෙලා’ නැමැති සුනඛයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.

වසර හතරකට (4) අධික කාලයක් පොලිස් නිල සුනඛ අංශයට අනුයුක්තව සේවය කර ඇති මෙම බෙලා අපරාධ පරීක්ෂණ සඳහා සහභාගිත්වය ලබාදී තිබේ.

දඹුල්ල හබරණ මඩු වැනි ප්‍රදේශ රැසක අපරාධ රැසක් විසඳීමට සහාය ලබා දී ඇති බව පොලීසිය පවසයි ෴


ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය පහළට

(26.06.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ ෴


ඉතිහාසයේ පළමු වරට වෙඩිතැබීමේ පුහුණු කඳවුරක්

(26.06.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)

11 වැනි ආසියානු යොවුන් වෙඩිතැබීමේ පුහුණු කඳවුර සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් ඉතිහාසයේ පළමු වරට පසුගියදා මෙරටදී ආරම්භ වුණා.

දින 7 ක් පුරා පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සදහා ශ්‍රී ලංකාව – ඉන්දියාව -බංග්ලාදේශය – කුවේට් – තජිකිස්ථානය – මැලේසියාව සහ පාකිස්ථානය ඇතුළු රටවල් 11 ක යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් එක්ව සිටිනවා.

මෙම පුහුණු කඳවුර ඉන්දීය ජාතික ප්‍රවීණ පුහුණුකරුවෙකු වන දීපාක් කුමාර් ඩුබේ විසින් මෙහෙයවනු ඇති.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුණේ ආසියානු වෙඩි තැබිමේ සභාපති කුවේට් රජ පවුලේ සමාජික ෂෙයික් සල්මාන් අල් සභා මහතායි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *