ඖෂධ වර්ග 60 ක මිල අද (26) සිට 16% කින් පහළට

ඖෂධ වර්ග 60 ක මිල අද (26) සිට 16% කින් පහළට


ඖෂධ වර්ග 60 ක මිල අද (26) සිට 16% කින් පහළට

(26.06.2023 – 06:53 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද (26) සිට 16% කින් අඩු කිරීමට නියමිතයි.

පසුගිය 15 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනුයේ අද (26) සිටයි.

නව මිල සංශෝධනයට අනුව 16% ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් 3.49 ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10 යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270.02 ලෙසයි.

ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375 ක උපරිම සිල්ලර මිල රුපියල් 70.32 ක් ලෙස එහි දක්වා තිබෙනවා.

+


දරුවන් දෙදෙනෙකුට (2) මරු කැඳවූ දියේ ගිලීම

(26.06.2023 – 06:42 +0530 – hirunews.lk/sinhala)

පල්ලෙකැලේ – තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ ඥාතීන් සමග දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක් වූ දරුවන් දෙදෙනෙකු (2) දියේ ගිලී මහනුවර රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එක් දරුවෙකු පසුගිය 24 වැනි දා ජීවිතක්ෂයට පත් වූ අතර අනෙකුත් දරුවා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින මියගිය බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වූ පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුයි.

මෘත දේහය සම්බන්ධයෙන් මහනුවර රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණයට හේතුව දියේ ගිලී සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර තිබෙනවා.

එමෙන්ම ඊයේ (25) දිනයේදී ම උදෑසන වාලච්චේන, වඩමුණ වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුද දියේ ගිලී මියගොස් ඇති බවට පොලිසිය වාර්තා කරනවා.

මරණකරු වයස අවුරුදු 28 ක් වන බෝඅත්ත, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමඟ ඉහත වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

වාලච්චේන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි ෴


ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි

(26.06.2023 – 07:16 +0530 – hirunews.lk/sinhala)

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට (26) යෙදී තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට ජනතාව ශක්තිමත් කරමු යන්න මෙවර එහි තේමාවයි.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දත්තවලට අනුව දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයින් 100 ක් මිය යන අතර දුම්කොළ හා මධ්‍යසාර සමාගම් දිනකට රුපියල් කෝටි 100 ක මුදලක් උපයනවා.

+


නිවසක් සෝදිසියට ගිය පොලිසියට ගුටි බැට ප්‍රහාරයක්

(26.06.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියෙකු සහ පුතෙකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු (5) තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු රඳවා තබා ගෙන ඔහුට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත උයිලන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ සිටි පියෙකු සහ පුතෙකු ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් දිගට හරහට පහර දීම නිසා පොලිස් සැරයන්වරුන් දෙදෙනකු (2) සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු (3) තුවාල ලබා තිබෙනවා.

පොලිස් නිලධාරීන් පස් දෙනකුට (5) පහර දී තුවාල සිදු කර පළාගිය පිය පුතු දෙදෙනා (2) ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


සති අන්තයේ පාර්ලිමේන්තුව රැස් කිරීම ගැන කැබිනට්ටුවේ දී සාකච්ඡා

(26.06.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 01 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් අද (26) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කළේ ඉකුත් බ්‍රහස්පතින්දා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු විශේෂ රැස්වීමක් ඉදිරි සති අන්තයේ දින දෙකක (2) පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තාවී ඇතැයි සඳහන් කර තිබුණා.

එසේ පාර්ලිමේන්තුව රැස්වන්නේ නම් කළින් දැනුම් දිය යුතු බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් එහිදී අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබුණේ අද (26) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හෙට (27) පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන සදහා වන සැළැස්ම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විපක්ෂයේ සියළු පක්ෂ අද (26) රැස්වීමට නියමිතයි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර එළඹෙන ජුලි මස 01 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන සඳහා වන සැළැස්මට සමගි ජනබලවේගය සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

කිසිසේත්ම ණය කපාහැරීමක් සඳහා තමන් එකඟ නොවන බවයි ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

+


එළවළු මිල තවදුරටත් ඉහළ අගයක

(26.06.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය කාල සීමාවේදී මිල පහත වැටුණු පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත්, කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත්, වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළගොස් ඇති බවයි එළවළු වෙළඳුන් ප්‍රකාශ කළේ ෴


මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගණිඳු යොදාගත් ගිනි අවිය STF භාරයට

(26.06.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ඇඹිලිපිටියේදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ගණිඳු සඳුමිණ’ මිනුවන්ගොඩදී වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් T56 ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ – වෑගොව්ව – ගෝල්ඩන් සිටි වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නුරේෂ් සුපුන් දයාරත්න’ හෙවත් ‘හීනටියන මහේෂ්’ සහ ‘අවිශ්ක’ යන අයගේ සමීපතමයෙකු වෙනවා.

ඔහු සන්තකයේ තිබී ටී-56 ගිනි අවියක්, ඒ සඳහා යොදන උණ්ඩ 3 ක් සහිත පතොරම් ගැබක් පොලිස් භාරයට ගෙන තිබුණා.

පසුව අනාවරණ වූයේ මෙම ගිනි අවිය පසුගිය 17 වනදා මිනුවන්ගොඩ – බොරගොඩවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ගමන් ගත් දෙදෙනෙකුට (2) වෙඩි තැබීමට යොදාගෙන ඇති බවටයි.

සිද්ධියෙන් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් ‘නිහාල් හරිස්චන්ද්‍ර’ හෙවත් ‘බාප්පා’ සහ ‘විස්මින් මදූ’ හෙවත් ‘චප්පා’ නැමති දෙදෙනා (2) තුවාල ලැබූ අතර, පසුව ඔවුන්ගෙන් එක් (1) අයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වන ශ්‍රියන්ත සමන් කුමාර හෙවත් මාමා නැමැත්තා පසුගියදා පිස්තෝලයක් සහ හෙරොයින් සමඟ කුලියාපිටිය – ඇඹව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝල්ඩන් සිටි වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී සිය භාරයට ගත් ගිනි අවිය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවූ ඇතැම් වෙඩි තැබීම්වලට යොදාගෙන ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴


අපරාධකරුවන්ට රටින් පැන යාමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සැකසූ පිරිසක් අත්අඩංගුවට

(26.06.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සැකසූ බව කියන පුද්ගලයන් තිදෙනකු (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු මිලි ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ දි සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව ව්‍යාජ ගුවන් ටිකට් පත් සකස් කිරීමට අනුබල දුන් බව කියන තවත් අයෙකු හෝමාගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


ආනයනික බිත්තර පිටතට විකිණීම තහනම් කරයි

(26.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙනත් වෙළෙඳසල්වලට විකිණීම තහනම් බවත් එසේ පිටතට විකිණීම අනාවරණය වුවහොත් එළෙස විකුණන බේකරිවලට බිත්තර සැපයීම වහා නතර කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

පසුගිය දා බේකරි හිමියකුට සපයන ලද බිත්තර තොගයක් ඔහුගේ සහෝදරයකුගේ වෙළෙඳසලකට විකිණීම සඳහා ලබා දීම සම්බන්ධයෙන් එම බේකරි හිමියාට බිත්තර සැපයීම වහා නතර කළ බවත් ඔහු පවසා තිබෙනවා.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ තවත් හේතුවක් වන්නේ, දේශීය බිත්තර මිල අඩු කිරීම බවත්, ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නේ දේශීය බිත්තර හිඟය අවසන් වී මිල ස්ථාවර තත්ත්වයට පත් වන තුරු බවත් ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ දිනකට බිත්තර ලක්ෂ දහය (10) බැගින් අඛණ්ඩව ආනයනය කරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *