දීර්ඝ බැංකු නිවාඩුව බැංකු ගණුදෙනුවලට බලපෑමක් නැහැ – මහ බැංකු අධිපති

දීර්ඝ බැංකු නිවාඩුව බැංකු ගණුදෙනුවලට බලපෑමක් නැහැ – මහ බැංකු අධිපති


දීර්ඝ බැංකු නිවාඩුව බැංකු ගණුදෙනුවලට බලපෑමක් නැහැ – මහ බැංකු අධිපති

(25.06.2023 – 20:44 +0530 – hirunews.lk/sinhala)

රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි 29 සිට ජූලි 03 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කරනවා.

ඔහු පවසන්නේ එම කාලසීමාව තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකර බැංකු කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවයි.

එමෙන්ම දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කර ඇති බවත් පොලීවලටද බලපෑමක් ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා ෴

+++++++++++

+


රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩ සොරකම් කල ගෝල හිමි නම

(25.06.2023 – 21:46 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුවසාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15 කට අධික භාණ්ඩ තොගයක් සොරකම් කළ බව කියන එම පන්සලේම ගෝල හිමි නමක කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිවෙන් විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍යහමන්ගොඩ සුමංගල හිමියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව අදාල ගෝල හිමිනම අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී එම භාණ්ඩ වලින් කොටසක් කටුගස්තොට පාරේ පූජා භාණ්ඩ අලෙවි සැලකට අලවි කොට තිබියදී සොයාගෙන ඇති අතර තවත් කොටසක් එම ගෝල හිමි නමගේ ඥාති නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් සොයා ගත් භාණ්ඩ අතර සුදු යකඩ පාත්තර 50 ක්, පිත්තල පහන්, පිත්තල බන්දේසි, සිවුරු තොගයක්, පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා බෆල් 24 ක්, ශබ්ද පරිපාලන උපකරණ 5 ක්, මීටර 200 වයර් රෝල් හතරක් (4), පිත්තල බුලත් තට්ටු ඇතුළු භාණ්ඩ තොගයක් මෙලෙස සොයා ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලිසිය වැඩි දුර පරික්ෂ පවත්වනු ලබනවා ෴


ගුවන් නියමුවන්ගේ හිඟය හමුවේ හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් අනුයුක්ත කිරීම අසීරු තත්ත්වයක

(25.06.2023 – 21:47 +0530 – hirunews.lk/sinhala)

පවතින ගුවන් නියමුවන්ගේ හිඟය හමුවේ හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් අනුයුක්ත කිරීම අසීරු වී ඇතැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගුවන් සේවය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා ගුවන් නියමුවන් 330 දෙනෙකු අවශ්‍ය වුවද පසුගිය වසරේ ඉන් ගුවන් නියමුවන් 70 කට වැඩි පිරිසක් සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 470 දරන ගුවන් යානය පැය 12 ක පමණ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය 20 වනදා දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් කණ්ඩායම දැඩි අසීරුතාවකට මුහුණ පෑවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අතර එහිදී වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන් යානයේ ප්‍රමාදයට බලපෑ හේතුව පැහැදිළි කිරීමක් සිදු කරනු ලැබුවා.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හා පාර්ලිමේන්තුවේදී ගුවන් නියමුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගුවන් සේවය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා ගුවන් නියමුවන් 330 දෙනෙකු අවශ්‍ය වුවද පසුගිය වසරේ (2022) ඉන් ගුවන් නියමුවන් 70 කට වැඩි පිරිසක් සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

එමෙන්ම මුහුණ පෑමට සිදුවන ගැටලු හේතුවෙන් තවත් ගුවන් නියමුවන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද එහි සඳහන්.

පවතින ගුවන් නියමුවන්ගේ හිඟය හමුවේ හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් අනුයුක්ත කිරීම අසීරු වී ඇතැයිද එම නිවේදනයේ දැක්වෙනවා.

නියමුවන් 330 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නියමුවන් 250 දෙනෙකු බවද එහි සඳහන්.

ගුවන් ක්ෂේත්‍රයේ නියමිත ප්‍රමිතීන්ට අනුව වැටුප් ගෙවීම සිදුනොවන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලින් විසඳුම් ලැබී නැතැයිද එම සංගමය පෙන්වා දෙනවා.

මගීන් මෙන්ම ගුවන් සමාගම සහ මුළු රටම බරපතළ අපහසුතාවට ලක්කරන සිදුවීම් සිදුව ඇත්තේ ගුවන් සේවයේ කළමනාකාරිත්වය විසින් තවදුරටත් විසඳා නොගත් තීරණාත්මක එවැනි ගැටලු හේතුවෙන් බවයි ගුවන් නියමු සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර, මත්තල ගුවන්තොටුපල මෙහෙයුම් සහ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා ආයෝජකයින් 19 දෙනෙකු තෝරාගෙන ඇති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා.

සභාපතිවරයා සඳහන් කළේ කැබිනට් තීරණයකට අනුව ප්‍රසිද්ධ කළ ටෙන්ඩර් පත්‍රිකාවකට ලැබුණු ඉල්ලීම් අතරින් මෙම ආයෝජකයින් තෝරාගෙන ඇති බවයි.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම්, ගුවන් යානා අලුත්වැඩියාව, භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු සේවාවන් රැසක් විදේශීය සමාගම් වෙත ඉදිරියේදි ලබාදීමට නියමිතයි.

+


කැබ් රථයකට යට වී යතුරු පැදිකරු එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට

(25.06.2023 – 23:33 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මල්ලාවි ප්‍රදේශයේදී කැබ් රථයකට යතුරු පැදියක් යටවීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම අද (25) මියගොස් තිබෙනවා.

මෙම අනතුරත් සමගම යතුරු පැදිය හා කැබ් රථය ගිනි ගෙන ඇති අතර එම ගින්නෙන් වාහන දෙකටම දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර යතුරු පැදිය සම්පූර්ණයෙන්ම දැවී අගුරු බවට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර එළියට ගෙන ඇත්තේ කැබ් රථයේ පසුපස කොටසේ සිර වී තිබියදී බව අප වාර්තාකරු පවසනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එස්. කුමාර් නැමති 39 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ මෘත දේහය මල්ලාවී රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මල්ලාවී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි ෴


කොළඹට මදි නොවෙන්න කසිප්පු කුලියාපිටියෙන්

(25.06.2023 – 23:53 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය – කිතලව, උණලීය ප්‍රදේශයේ බරිගොඩ රක්‍ෂිතයට යාව පිහිටි නිවසක මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි කතක් හා තවත් සැකකරුවෙකු ගෝඩා පිරවූ බැරල 50 ක්, නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් දහසක් හා පෙරුම් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු පවසනවා.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජාඇල ප්‍රදේශයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වූ අතර බුලත් ගොවිතැන් කිරීමට බැව් පවසමින් කුලී පදනම මත අදාළ නිවස කුලියට ගෙන භූගත අන්දමින් ගෝඩා බැරල වළදමා කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබූ බවයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කර කොළඹ ආදී තදාසන්න ප්‍රදේශවල අළෙවිය සඳහා බෙදාහරින බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටර් රථයක් යොදාගෙන අදාළ බැරල් හා පෙරුම් උපකරණ තොගය පොලිස් ට්‍රක්රථයට පටවා පොලිස් ස්ථානයට රැගෙන ආ අතර අදාළ යුවල හා පෙරුම් උපකරණ හා නිෂ්පාදිත කසිප්පු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය ෴


පසුගිය දින 55 ට මිනී මැරුම් 09 යි | මේක කතා කරන ආරක්ෂාවක් නැති මාවත් හෙට මරයි | 24-06-2023

+


‘අස්වැසුම’ ජංජාලයක් කර ඇත්තේ පරිගණක මෘදුකාංගයක්… – උදය ගම්මන්පිල

(26.06.2023 – 16:40 +0530 – lankacnews.com)

‘අස්වැසුම’ සහනාධාරය අවුල් කර ඇත්තේ පරිගණක මෘදුකාංගයක් විසින් යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“අස්වැසුම සහනාධාරය ලබා දීම සඳහා කරපු සමීක්ෂණය හේතුවෙන් අවුල් ජාලයක් ඇති වෙලා තිබෙනවා. මම කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලපලුවාව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පුළුල් සමීක්ෂණයක් කළා. ඒ කොට්ඨාශයේ සමෘද්ධිලාභින් සහ පොරොත්තු ලේඛණගත අය 66 ක් සිටියා. දැන් අස්වැසුම ලබන්න සුදුසුකම් ලබලා තිබෙන්නේ 21 යි. ඒ අතර විශ්‍රාම වැටුප් ලබන අයෙක් තට්ටු තුනක නිවාසයක් තිබෙන අයෙක් වගේම පොලී මුදලාලි කෙනෙකුත් ඉන්නවා.

ඒ අතරේ දරුවන් පස්දෙනෙකු (5), ආබාධිත තාත්තා කෙනෙකු සහ ආදායමක් නැති අම්මා කෙනෙකු සිටින පවුලකට සමෘද්ධිය අහිමි කරලා. පිලිකා රෝගි මවක් සහ වැඩිහිටි දියණියක් පමණක් ඉන්න පවුලකටත් රැකියා විරහිත මවක් සහ පාසල් යන දියණියක් ඉන්න පවුලකටත් සමෘද්ධිය අහිමි කරලා. අරුම පුදුම වැඩේ කියන්නේ අස්වැසුම අයදුම් නොකල කෙනෙකුටත් රු. 15,000 ක මාසික දීමනාවක් අනුමත කරලා.

නිලධාරින් පිස්සු නැටුවත් දේශපාලකයින් පිස්සු නැටුවත් මෙහෙම පිස්සුවක් වෙන්න බෑනෙ. ඒ නිසා සමීක්ෂණ නිලධාරියෙකුගේ සහයෙන් මම දත්ත බැංකුවට ඇතුළු වෙලා බැලුවා. ඒක ‘පිස්සිගේ පලා මල්ල’ වගේ. මාසික වියදම රු. 45,000 කියා දත්ත ඇතුළු කළ කෙනෙකුගේ මාසික වියදම ලෙස දත්ත බැංකුවේ තිබෙන්නේ රු.111,200 ක්. අත්දැකීමක් නැති නිසි පුහුණුවක් නැති සමීක්ෂණ නිලධාරින් අතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමාණයට වැරදි වෙන්න බෑ. ඒ නිසා මේක මෘදුකාංගයේ දෝෂයක් ලෙසයි අපි හදුනා ගන්නේ.

ප්‍රතිලාභි පවුල්වල සාමාජිකයින් වර්ග කරන විට වයස් කාණ්ඩ තුනයි. 14 අඩු, 14-65 සහ 65 ට වැඩි. එතකොට පාසලේ සාමාන්‍ය පෙල කරන දරුවන් උසස් පෙල කරන දරුවන් සරසවි දරුවන් යැපෙන්නන් විධියට මේ දත්ත බැංකුවේ සලකලා නෑ. ඒ වගේ මූලධාර්මික වැරදිත් මේ දත්ත යෙදවුමේ තිබෙනවා.

දැන් මේ වැරැද්ද නිවැරදි කරන්න අභියාචනා කරන්න අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. නමුත් ඒ දත්තත් ඇතුළු කරන්නේ අර දෝෂ සහගත දත්ත බැංකුවටම තමා. ඒ නිසා මේ අභියාචනා අවස්ථාවෙන් ප්‍රශ්නය විසඳේවි කියා බලාපොරොත්තු වෙන්න බෑ. නියදි දත්තයන් භාවිතාකරමින් පරීක්ෂා කරලා මේ මෘදුකාංගයේ දෝෂ හදුනාගැනීම කළ යුතුයි. සමීක්ෂණ නිලධාරින් නිසි ලෙස පුහුණු කර අයදුම්පතක් ලබා දී ඒවා නිවාස හරහා පුරවලා ඒ තොරතුරු දත්ත බැංකුවට ඇතුළු කරලා තවත් නිලධාරියෙකු ලවා දත්ත නිවැරදි ලෙස ඇතුළු කරලා ද කියන එක පරික්ෂා කළ යුතුයි කියා අපි යෝජනා කරනවා. එමගින් මෘදුකාංග දෝෂයක් ඇත්තනම් සොයාගන්න පුළුවන්. එහෙම නොකළොත් මේ අවුල්ජාලය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට පත්විය හැකියි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරණවා”.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *