කොළඹ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් අවදානමක

කොළඹ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් අවදානමක


කොළඹ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් අවදානමක

(25.06.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජනයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා.

එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනය පවසන්නේ.

වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිට නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, බී36 මාලිගාවත්ත නිවාස ක්‍රමය, එම නිවාස සංකීර්ණයේ ජී. එච්. ජේ. කේ. එම්. සහ එන්. යන නිවාස සහ මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස සංකීර්ණ අට (8) මෙම අවදානම් තත්වයට පත්ව ඇති බවත් එම නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට නිවාස අමාත්‍යංශයට යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


විදුලි ගාස්තු සංශෝදනයට අදහස් විමසීමට විශේෂ මහජන උපදේශන සැසියක්

(25.06.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.

එම සැසිය ලබන අඟහරුවාදා (27) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව සඳහන්.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන සිය නිර්දේශය සිකුරාදා එනම් 30 ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි වාර්තා වෙන්නේ.

අඟහරුවාදා (27) පැවැත්වෙන මෙම මහජන අදහස් විමසීම් වටය අවසානයේ කොමිසමට අලුතින් පත් වූ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ තීරණය දැනුම් දීමට නියමිතයි ෴


පානදුර බොල්ගොඩ ගඟේ Jet Ski Boat පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු අතුරුදන්

(25.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පානදුර දිග්ගල ශ්‍රියා මාවතේ පදිංචි පුද්ගලයකු අද (25) උදෑසන 11 ට පමණ Jet Ski Boat පදිමින් සිටියදී එම ප්‍රදේශයේ දූපතක සිටින පුද්ගලයින් සඳහා ගමන් කිරීමට යොදවා ඇති පාලම් පාරුවේ කඹේ පැටලී මෙම පුද්ගලයා බෝට්ටුවෙන් විසිවී දියේ ගිළී අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 42 ක් වන අවිවාහක පුද්ගලයෙක් බව සඳහන්.

මෙම පුද්ගලයාගේ ඥාති පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු විනෝදාංශය වශයෙන් බෝට්ටු පැදීමට ප්‍රියමනාප පුද්ගලයකු බවයි වාර්තා වෙන්නේ.

තනිව වාසය කර ඇති මෙම ව්‍යාපාරිකයා සෑම දිනකම පාහේ බෝට්ටු පැදීම සිදුකරන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පානදුර උතුර පොලිසිය මගින් සිදුකරනු ලබනවා ෴


අපරාධයකට ගිය අයෙකු කඩු දෙකක් (2) සමග අත්අඩංගුවට

(25.06.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා කඩු දෙකක් (2) රැගෙන යමින් සිටි පුද්ගලයෙකු යාපනය මනිපායී පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය නාවලී ප්‍රදේශයේදීයි.

පොලීසිය විසින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් හා වාහන පරීක්ෂා කරමින් සිටියදී අලුයම් කාලයේ බෑගයක දමාගෙන කඩු දෙක (2) රැගෙන යමින් සිටි පුද්ගලයාව පොලීසියට කොටු වී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම කඩු දෙක (2) එම පුද්ගලයාට වෙනත් අයෙකු විසින් ලබා දුන් බව ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇතත් එම පුද්ගලයා පිළිබදව විස්තර හෙළි කිරීමට සැකකරු අපොහොසත් වී තිබෙන බවයි වාර්තා වෙන්නේ ෴


කහතුඩුව ත්‍රිරෝද රථ සංගමය සල්පිලෙන් උපයාගත් මුදලින් නව බස් නැවතුම්පොළක් ඉදිකරයි

(25.06.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සංගමය පැවැත් වූ සල්පිලකින් උපයාගත් මුදලින් එම ප්‍රදේශයේ නව බස් නැවතුම්පොළක් ඉදිකර තිබෙනවා.

එය විවෘත කිරීම පාසල් සිසුවියක් විසින් සිදු කළ අතර නව බස්නැවතුම්පොළට සූර්ය විදුලි බල පද්ධතියක් ස්ථාපිත කිරීමට ත්‍රිරෝද රථ සංගමය පියවර ගෙන තිබුණා.

කහතුඩුව ත්‍රිරෝද රථ සංගමය ඉදිකළ බස් නැවතුම්පොළ ත්‍රිරෝද රථ සංගමය පැවැත්වූ සල්පිලකින් උපයාගත් මුදලින් නව බස් නැවතුම්පොළ ඉදිකරයි ෴


කන්තලේ ගොවීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

(25.06.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)

වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 130 ක සහතික මිලක් ලබා දීමට රජය කටයුතු නොකළ හොත් වගා කටයුතුවලින් ඉවත් වන බවට කන්තලේ ගොවි සංවිධාන එකමුතුව අනතුරු අඟවනවා.

රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති පසුබිමක රජය විසින් වී සඳහා රුපියල් 70 ක සහතික මිලක් නියම කිරීම පිළිබඳවත් ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය පතොක්වැව ගොවි ජනතාව තමන්ට ලැබුණු පොහොර තබා ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතාවයට පත්ව සිටිනවා.

ගොවීන් පවසන්නේ ඔවුන්ට මෙම පොහොර ලැබී ඇත්තේ නිසි කාලයේදී නොවන නිසා මීළඟ කන්නය තෙක් මෙම පොහොර ගොඩගසා තැබීමට සිදුවන බවයි ෴


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු වෙස්වලාගෙන පළා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට

(25.06.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය සදහා රදවා සිටි සිරකරුවෙකු අද (25) පෙ.ව. 09:30 ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සඟවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියෙකුගේ නිළ ඇදුමට සමාන නිළ ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද ගොස් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටි මොහු බන්ධනාගාර නිලධාරියාට සමාන නිළ ඇදුමින්ම නැවත අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇතැයි බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මොහු ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිනීමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් වන අතර, වයස අවුරුදු 42 ක් පමණ වන මොහු වැවේකෙටුව, 02 නිවස, ඉහලකොටුවැල්ල, පන්නල ලිපිනයේ පදිංචි අයෙක්.

මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා යටතේ විමර්ෂණයක් සිදු කරන අතර, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය මගින්ද මේ සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදන‍යේ වැඩිදුරටත් සදහන් ෴


කෘෂි රසායන භාවිතයෙන් ගොවීන් අවදානමේ

(25.06.2023 – 15:58 +0530 – hirunews.lk/sinhala)

කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් වැඩිම අවදානමට ලක් වන පිරිස වන්නේ ගොවීන්.

එයිනුත් රජරට ගොවීන් වැඩි වශයෙන් වකුගඩු රෝගවලට ගොදුරු වෙනවා.

දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදි කළ එහෙත් වසර ගණනක් නිසි ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති ගොඩනැඟිල්ලක් ඇතුළු වටිනා යන්ත්‍ර කිහිපයක් ගිරාඳුරුකෝට්ටේ රෝහලේ පවතින බව වාර්තා වෙනවා.

කෘෂි කර්මාන්තයේ නිරත ගොවි ජනතාව මුහුණපාන ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව ඇත්තේ වකුගඩු රෝගී තත්ත්වයයි.

ගොවිබිම්වලට අධික ලෙස රසායන ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් දිනෙන් දින රජරට ප්‍රදේශ ආශ්‍රිතව සහ නැගෙනහිර පළාතේ ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳීම උත්සන්න වී තිබෙනවා.

මේ වන විට මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ, බතලයාය, තිස්සපුර, කෙසෙල්පොත, රිදීමාලියද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව අධික ලෙස වකුගඩු රෝගයට ගොදුරු වී අවසන්.

කෘමිනාශක සහ රසායනික පොහොර භාවිතය හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පමණක් වකුගඩු රෝගීන් 2000 ක් පමණ වාර්තා වෙනවා.

එම රෝගීන්ගෙන් 200 ක් පමණ ජීවිතයේ සැඳෑ සමය ගත කරන පිරිස බවයි ගිරාඳුරුකෝට්ටේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

කෙසේ වෙතත් දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගීන් වෙනුවෙන් ගිරාඳුරුකෝට්ටේ රෝහල තුළ කෝටි ගණනක් වැය කරමින් ගොඩනැඟිලි දෙකක් (2) ඉදි කර තිබුණ ද වසර 05 ක් තිස්සේ එම ගොඩනැඟිලි රෝගින්ගේ ප්‍රයෝජනයට නොගෙන වසා දමා තිබීම කනගාටුවට කරුණක්.

එම භූමියේ ඉදි කළ රුධිරය පිරිසුදු කිරීමේ ඒකකය සහ රෝගී නේවාසිකාගාරය ඇතුළු ගොඩනැඟිලි සඳහා අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ නොමැති වීමෙන් වකුගඩු ඒකකය මෙලෙස වසා දැමීමට සිදුව ඇති බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ ෴


ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ එලවළු මිල ඉහලට

(25.06.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)

දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එලවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පවසනවා.

ඒ අනුව අමු මිරිස් කිලෝවක් රු. 1000 , මාලු මිරිස් රු. 580 , බෝංචි රු. 600 , කැරට් රු. 530 , බණ්ඩක්කා රු. 320 , බටු රු. 320 , කරවිල රු. 600 , බිට්රුට් රු. 480 , තක්කාලි රු. 240 , පතෝල රු. 400 , මඤ්ඤොක්කා රු. 250 , වැටකොළු රු. 500 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරෙනවා.

එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියේ ෴


යාපනයේ බාලිකා පාසල් සඳහා ‘වට්ස්ඇප් සමූහ’ නිර්මාණය කිරීමට දැනුම් දෙයි

(25.06.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ බාලිකා විද්‍යාල සියල්ලකම ශිෂ්‍යාවන්ගේ හා දෙමව්පියන්ගේ දුරකතන අංක ලබා ගෙන වහාම එම පාසල් සදහා වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් සියළුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීම යාපනයේ අධ්‍යාපන බලධාරීන් වෙතද විදුහල්පතිවරුන් වෙතද මේ වන විට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම වට්ස් ඇප් සමූහයන් පන්තිබාර ගුරුවරු ලවා මෙහෙයවිය යුතු බවත් ඒ ඒ බාලිකා පාසල් අයත් පොලිස් ස්ථාන මගින් නිරන්තරයෙන් එම පාසල් හා වට්ස්ඇප් සමූහ සමග සම්බන්ධකම් පවත්වා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කල යුතු බව නියෝජ්‍ය පොලිස්පත්වරයා දැනුම් දී තිබෙනවා.

යාපනයේ බාලිකා පාසල් කීපයකම ශිෂ්‍යාවන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුව ඇති අසාධාරණකම් හා අකටයුතු සිදුවීම් රැසකින් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදයට අනුවම යාපනයේ බාලිකා පාසල් වල ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන ආකාරය ගැන අවධානය යොමු කොට එම ශිෂ්‍යාවන් රැගෙන එන රියදුරන්ගේ විස්තරද සටහන් කර ගන්නා ලෙස සියළුම පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන බව සඳහන්.

ශිෂ්‍යාවන් පාසලට නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳවද පාසල නිමවී නිවසට යාමට ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳවද තොරතුරු සටහන් විය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ ෴


හෘදයාබාධයක් වැළැදුණු නාවික සෙබළෙකු නිදි යහනේදීම මියයයි

(25.06.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරම ඌරුමලෙයි නාවික හමුදා කදවුරේ නාවික සෙබළෙකු නිදි යහන මතදීම මියගොස් ඇත්තේ ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් බවට තලෙයිමන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කොට ඇති බව අප වාර්තාකරු පවසනවා.

කැළණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිනේෂ් මධුෂාන් ජයසේකර නැමති මෙම නාවික සෙබළා රාත්‍රියේ නින්දට ගොස් ඇතත් ඔහු යළි පසු දින සේවයට නොපැමිණි නිසා සෙසු සෙබළුන් ඔහු ගැන සොයා බලද්දී ඔහු නිදි යහනේම මියගොස් සිටි බව දැක තිබෙනවා.

අනතුරුව මේ පිළිබදව තලෙයිමන්නාරම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ ප්‍රකාශ සටහන් කොට ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා රෝහලට බාර දී තිබෙන අතර පරීක්ෂණ කටයුතු වලින් පසුව ඔහුගේ මළ සිරුර අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත බාර දී ඇතැයි වාර්තාකරු පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *