රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව මුද්‍රණයට අවශ්‍ය යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව මුද්‍රණයට අවශ්‍ය යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි


රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව මුද්‍රණයට අවශ්‍ය යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි

(25.06.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත්කිරීමේ ප්‍රමාදයට හේතුව එම කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

අවශ්‍ය කාඩ්පත් මුද්‍රණය සදහා නව යන්ත්‍ර 5 ක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව මේ වන විටත් මුද්‍රණ යන්ත්‍ර 5 ක් පවතිනව බවත් මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම සහ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ තාවකාලික රියදුරු බලපත්‍ර ලක්ෂ අටක් (8,00,000) පමණ නිකුත් කර ඇති බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

එම තාවකාලික බලපත්‍ර සඳහා නියමිත කාඩ්පත ලබාදීමට නම් දැනට දෛනිකව මුද්‍රණය කෙරෙන කාඩ්පත් 4,000 ක පමණ ප්‍රමාණයක් දෙගුණයකින්වත් (2) වැඩිවිය යුතු බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


නිවසේදී සිදුවන අනතුරු ඉහළට

(25.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

නිවසේදී සිදුවන අනතුරු ප්‍රමාණය මේ වනවිට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.

එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග ප්‍රාකාශ කළේ අනතුරු හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාවෙන් සියයට 50 ක්ම මෙලෙස නිවෙස් තුළ සිදුවන අනතුරු බවයි.

විශේෂයෙන්ම මෙම අනතුරුවලින් දරුවන් ආරක්ෂාකර ගැනීමට පියවර ගන්නා ලෙසද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


ඝාතනයකට සැක තිදෙනෙකු (3) අත්අඩංගුවට

(25.06.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

නාඋල, ලේනමීය ප්‍රාදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ පැමිණිල්ලට අදාළව නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනකු (3) ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 39 වයස්වල පසුවන නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් අද (25) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ගතවූ දින 9 ට ඔන්ලයින් ක්‍රමවේදයෙන් අයදුම්පත්‍ර 9158 ක්

(25.06.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 9 තුළ මාර්ග ගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම්පත්‍ර 9158 ක් ලැබී ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය ප්‍රකාශකර සිටියේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩ පිළිවෙල පසුගිය 15 වනදා ආරම්භ කෙරුණා.

ඒ යටතේ අයදුම් කර දින 14 කදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව පවතින අතර විශේෂ සේවය යටතේ අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර දින 3 ක් තුළ කුරියර් සේවාවක් මගින් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

එක් (1) දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී අය කළ රුපියල් 20,000 ක ගාස්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේදී රුපියල් 15,000 දක්වා අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා ෴


ඩෙංගු වසංගතය තවදුරටත්

(25.06.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් සක්‍රීයව පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකර සිටිනවා.

කීට විද්‍යා සමීක්ෂණ ඔස්සේ මේ බව අනාවරණ වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් පාසල් ළමයින් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වෙන්නේ ෴


කාන්තාවන්ට මත් පෙති දී රන් බඩු සොරකම්කරලා

(25.06.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමඟ සුහද වී මත් වීමට මත් පෙති ලබා දී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත් පෙති 4 ක්, රන් මාලයක්, රන්මුදු 3 ක් සහ රන් අත් පලඳනාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිහයි ෴


‘අස්වැසුම විරෝධතා සහ අභියාචනා කාලය දිගු කළ හැකියි’ – රංජිත් සියඹලාපිටිය

(25.06.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරාගැනීම සදහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය අවශ්‍ය නම් දීර්ඝ කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශකරනවා.

පසුගිය 20 වන දා අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ නාමලේඛණය මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලේඛන සැකසීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදී නොමැති බවට චෝදනා කරමින් විරෝධතා සංවිධාන කර තිබූ අතර පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වූ බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ලබන 30 වන දා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී තිබෙනවා. පවුල් ලක්ෂ 20 ක් සඳහා හඳුන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ලබන පළමුවනදා (01) සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

මාතර, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත ආදී ප්‍රදේශ රැසක ජනතාව පසුගිය දා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබුණේ තමන්ට මෙම සහනාධාරය අහිමිවී ඇති බවට චෝදනා කරමින්. ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී ද ඊයේ (25) විරෝධතාවක්ද සංවිධානය කර තිබුණා.

කෙසේ නමුදු දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිකම් නාමලේඛනය අදාළ ප්‍රතිලාභීන්ගේ අවසන් නාමලේඛනය නොවන බව අනුරාධපුරයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කර සිටියා ෴

අස්වැසුම වැඩසටහනට අදාලව අභියාචනා භාර ගැනීම ලබා දුන් කාල සීමාව දීර්ඝ කොට තිබෙනවා. ඒ අනුව ජූලි 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේ ෴

+++++++++

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගැන තොරතුරු දැනගැනීම සදහා හදිසි දුරකථන අංකයක්

(25.06.2023 – 18:30 +0530 – hirunews.lk/sinhala)

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිකම් පිළිබඳ අභියාචනා සහ විරෝධතා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව වුවද භාරදිය හැකි පරිදි නිලධාරීන් දැනුවත් කර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ නොහැකි පුද්ගලයන්ට ඒ අනුව පහසුකම් සැලසෙන බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 1924 හදිසි ඇමතුම් අංකයෙන් සදුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 ත් පස්වරු 5 ත් අතර කාලය තුළ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවයි.

මේ අතර අදාළ සුබසාධන ප්‍රතිලාභ හිමිකම් නොලැබුණු පවුල් සදහා ජුලි මස 10 වනදා දක්වා අභියාචනා ඉදිරිපත් කල හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අද (25) පැවති සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

මේ අතර අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (25) ආරච්චිකට්ටුව පොදු වෙළදපළ ඉදිරිපිටදී ද විරෝධතාවක් පැවැත්වුණා.

ග්‍රාමසේවා වසම් 11 ක සමෘද්ධිලාභීන් එම විරෝධතාවයට එක්ව සිටි අතර ඔවුන් චෝදනා කර සිටියේ තම සමෘද්ධි සහනය කප්පාදු කර ඇති බවටයි.

+


මේ වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 18 කින් අතිප්‍රමාණය වෙයි

(25.06.2023 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජුනි 23 වනදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.3 කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එමෙන්ම ගතවූ සතියේ රුපියලේ හැසිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 27.06 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 12.01 කින් අතිප්‍රමාණ වී තිබුණා.

එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 15.02 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 17.01 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ෴


හෙරොයින් සමඟ ඇල්ලූ සැකකරු ළඟ ‘ඇපල් ෆෝන්’

(25.06.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

අලවතුගොඩ, දුනුවිල ප්‍රදේශයේදී ඊයේ (24) කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 70 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඇපල් වර්ගයේ දුරකතන 09 ක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 11 ක්, කුඩා ජංගම දුරකතන 09 ක්, කඩුවක්, තහනම් පිහි 07 ක්, දුරදක්න 02 ක්, යුද හමුදා ජැකට් 01 ක්, ටී 56 පතරොම් 11 ක්, මුදල් රුපියල් 17,040 ක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීමට උපයෝගී කර ගන්නා ලද කුඩා හැඳි, කුඩා කන් හැඳි සහ ඉටි කවර කිහිපයක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


විදේශීය දුම්වැටි සමඟ විදේශිකයකු දැලේ

(25.06.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 800 ක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 32 හැවිරිදි චීන ජාතිකයෙක්.

සැකකරු අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අද (25) මැදියමේ සිට පොලිස්පති පුටුව හිස්

(25.06.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අද (25) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පළමු සේවා දිගුව අවසන් වන බව වාර්තා වෙනවා.

මේ නිසා හෙට (26) සිට ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයෙක් නැති රටක් බවට පත් විය හැකියි.

මෙවැනි තත්ත්වයක් පසුගිය මාර්තු 27 සහ 28 දෙදින තුළ පැවතියේ වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු සේවා දිගුව ලැබෙන තුරු ගත වූ කාලය තුළයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙත කිසිදු නමක් ඉදිරිපත් කර නැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මේ වන විට මාස 03 ක පළමු සේවා දිගුව ගෙවා ඇති අතර තවත් සේවා දිගුවක් ඔහුට ලබා දීම සම්බන්ධව නිශ්චිත එකඟතාවක් ද ප්‍රකාශ වී නැහැ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *