‘ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි’ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

‘ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි’ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම


‘ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි’ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

(24.06.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කර සිටිනවා.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන බවත්, ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.

මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට ඊයේ (23) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

“ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම රජය, පෞද්ගලික අංශය, මහජනතාව ඇතුළු සියලු පාර්ශව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වෙනවා. මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තා වන රෝගීන්ගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි ” ෴


ආහාර විෂ වීමකින් සිසුන් 59 ක් රෝහලේ

(24.06.2023 – 16:54 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 59 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ඊයේ (23) රිකිල්ලගස්කඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

සිසු සිසුවියන් කෑම සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ පොළක් පවත්වා ඇති අතර එහි තිබූ අච්චාරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මෙලෙස සිසු සිසුවියන් ආසාදනයට ලක් වී ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

හඟුරන්කෙත පොලිසිය සඳහන් කළේ රෝහලට ඇතුළත් කළ පනස් නව (59) දෙනාගෙන් 58 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් සිසුවකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ෴


‘ප්‍රසිද්ධ කර ඇත්තේ අවසාන නාම ලේඛනය නොවේ’ – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

(24.06.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ ප්‍රතිලාභින්ගේ අවසාන නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10 ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බවයි.

එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේම ලෝක බැංකුවේ පවා අදහස වී ඇත්තේ සමාජ ප්‍රතිලාභ ඉහළ නැංවිය යුතු අතර ම ඒවා සුදුසුම කණ්ඩායම වෙත ලබා දිය යුතු ය යන්නයි.

සුබ සාධන ප්‍රතිලාභ 30% – 40% අතර නුසුදුසු පිරිසකට ලැබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙවර මෙම සමීක්ෂණය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විනිවිද භාවයෙන් යුතුය සිදු කළේ සුදුසුම කණ්ඩායමට ප්‍රතිලාභ ලබාදීම සඳහා ය.

දින 10 ක අභියාචනා සහ විරෝධතා කාලයක් ලබා දී ඇත්තේ නුසුදුස්සන් සොයා ගැනීමට සහ සුදුස්සන්ට අවස්ථාව ලබාදීමට බව අමාත්‍යවරයා අවධාරණය කළ බව සඳහන්.

දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට අදාළ කමිටු දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පත්කරනු ලැබ ඇති අතර දින 10 අවසන්ව ඉතා කෙටි කාලයකින් අවසන් ලේඛනය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව ඇතැයි ද හෙතෙම අවධාරණය ක‍ර සිටියා.

අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ වගකීම විය යුත්තේ අභියාචනා ඉදිරිපත් කිරීම සහ විරෝධතා ඉදිරිපත් කිරීම මිස වෘත්තීය සමිති හෝ දේශපාලන මතවාද සමග එක්ව කටයුතු නොකිරීම බවයි.

කෙසේ වෙතත් දැනට ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභී නාමලේඛනය අතුරෙන් විරෝධතා ඉදිරිපත් නොවන පවුල් ඒකක වෙත ජූලි මස අස්වැසුම පළමු වාරිකය ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

(24.06.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතරක (4,00,000) මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.

අදාල වෙළදසල තමන්ට පවරා දීමට සහ තම උරුමයෙන් පසු ව්‍යාපාරික හවුල්කාරියට පවරා දීමට හැකිවන පරිදි අදාල ලිපි ගොනු ඉක්මනින් සකස්කර දීම වෙනුවෙන් සැකකරුවන් විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයා ගෙන් රුපියල් ලක්ෂ පහක (5) මුදලක් ඉල්ලා ඇති බවත් පසුව කතාබහ කර අදාල අල්ලස් මුදල රුපියල් ලක්ෂ හතරක් (4) දක්වා අඩු කර ගෙන එය ලබා ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද එම කොමිසම සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මාස නවයකට (9) පසු මිනිස් ඝාතයකනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(24.06.2023 – 18:31 +0530 – hirunews.lk/sinhala)

මාස නවයකට (9) ආසන්න කාලයක් වසන්ව තිබු නාඋල ප්‍රදේශයේ ආන්දෝලනාත්මක මිනිස් ඝාතයකනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) ඊයේ (24) අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසනවා.

ඇසින් දුටු සාක්ෂි මත දීර්ඝ ලෙස සිදුකරන ලද විමර්ෂණයකින් පසුව මිනිස් ඝාතනයයට සම්බන්ධ පුද්ගලයින් 3 ක් හා අපරාධයට යොදාගන්නා ලද ආයුධ (පිහි) කිහිපයක් ද පොලිස් භාරයයට ගෙන තිබෙනවා.

සැකකරුවෝ නාඋල – බොබැල්ල හා දෙකේ කනුව ප්‍රදේශල පදිංචිකරුවන්බ වත් ඔවුන් වයස අවුරුදු 38 ක පුද්ගලයයින් දෙදෙනෙකු (2) බවත් සෙසු සැකකරු අවුරුදු 49 ක පුද්ගලයෙකු බවත් පොලිසිය පවසනවා.

2022-10-05 වන දින නාඋල – ලේනමීය ප්‍රදේශයේ දී රාත්‍රියේ පුද්ගලයෙකු තියුනු ආයුධ වලින් කපාකොටා අමානුෂීය ලෙස ඝාතනය කර තිබුනා.

මෙසේ ඝාතනයට ලක්වුයේ අංක 373 ලේනමීය නාඋල ලිපිනයේ පදිංචිව සිටි වෙලේගෙදර නිලන්ත මුණසිංහ බණ්ඩාර (37) නැමති අයෙකි.

පැති කිහිපයක් ඔස්සේ සිදුකරන ලද දිර්ඝ පරික්ෂණයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා ෴


දරුවන්ට පහරදී හිංසා කළ කටුගස්තොට පෙර පාසල ගැන වැඩිදුර විමර්ශන ඇරඹේ

(24.06.2023 – 19:19 +0530 – hirunews.lk/sinhala)

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසලක සිසුන්ට එහි පාලිකාව සහ ගුරුවරියක පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම දරුවන්ගේ දෙමාපියන් එල්ල කරන චෝදනා මතයි.

මේ සම්බන්ධයෙන් එක් දරුවකුගේ මවක විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර පොලිසිය එහි පාලිකාවට අවවාද කර මුදා හැර පැමිණිලි විභාගය අවසන් කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ පෙර පාසලේ දී හිංසනයට ලක්වූ තවත් දරුවන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබීමත් සමග ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පෙර පාසලේ පාලිකාව, එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ තම කීර්ති නාමයට අපහාස කිරීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ල කරන බවයි ෴


ගනිඳුගේ වෙඩි හුවමාරුව ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි

(24.06.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී ඝාතන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී මියයාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂ කාර්ය බලකායෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (24) අලුයම මෙහෙයුමක් සිදුකර තිබුණා.

එම අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි ප්‍රහාර තුනක් (3) එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර, එහිදී 22 හැවිරිදි මොහු මියගොස් තිබුණා.

‘ගනිඳු’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක්.

ඔහු සේවය අතහැර ගොස් සිටි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ‘නිහාල් හරිස්චන්ද්‍ර’ හෙවත් ‘බාප්පා’ සහ ‘විස්මින් මදූ’ හෙවත් ‘චප්පා’ නැමති දෙදෙනාට (2) වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන මෙම පුද්ගලයා සහ ඊට අදාළ සැකකරුවන් පැමිණි මෝටර් රථය මෙන්ම, ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද කිඹුලාපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම අදාළ වෙඩි තැබීම, දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ‘වරුණ, රසල්, ප්‍රියන්ත’ යන අය විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය පසුව තොරතුරු අනාවරණ කරගත්තා.

අද (24) විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මියගියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයායි.

මේ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ‘ධනුක සොයිසා’ට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ ද අද (24) මියගිය සැකකරු, සම්බන්ධවී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිනුවන්ගොඩ වෙඩි තැබීම සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබූ සැකකරු ද පැමිණ ඇති අතර, ඔහු එම අවස්ථාවේ මෝටර් රථය පදවා ඇති බවටද හෙළිවුණා.

අදාළ සැකකරු ද කුලියාපිටිය ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

‘සමන් කුමාර ජයතිලක’ හෙවත් ‘මාමා’ ලෙස හඳුන්වන ඔහු, මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා (2) ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස ද කටයුතු කර තිබුණා.

එමෙන්ම අද (24) මියගිය ‘ගනිඳු’ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘මානික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න’ හෙවත් ‘හීනටියන මහේෂ් මල්ලි’ යන අයගේ ප්‍රධාන ගෝලයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

මොහු පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා කටුනායක ඇවරිවත්ත මහජන බැංකුව ඉදිරිපිට දී ‘ධනුෂ්ක මධුෂාන් නවරත්න’ හෙවත් ‘කාඩ්බෝඩ් සුරංග’ යන අයට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුද වනවා ෴


අම්බලන්ගොඩ තවත් වෙඩි තැබීමක්

(24.06.2023 – 23:07 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරෙකු (51) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *