බිරිඳගේ ප්‍රේමවන්තයාට පහරදී බරපතළ තුවාල සිදු කළ සැමියකු සොයා වැලිපැන්න පොලිසිය විමර්ශන සිදුකරයි

බිරිඳගේ ප්‍රේමවන්තයාට පහරදී බරපතළ තුවාල සිදු කළ සැමියකු සොයා වැලිපැන්න පොලිසිය විමර්ශන සිදුකරයි


බිරිඳගේ ප්‍රේමවන්තයාට පහරදී බරපතළ තුවාල සිදු කළ සැමියකු සොයා වැලිපැන්න පොලිසිය විමර්ශන සිදුකරයි

(24.06.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

සැමියාගෙන් පහර කෑ බිරිඳගේ අනියම් පෙම්වතා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විදෙස් රැකියාවකට පිටත්ව ගොස් තිබුණේ ඔහුගේ බිරිඳ නිවසේ නතර කරමින් ය. මාස කීපයක් ගතවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බව දැනගත් ඔහු කිසිවකුට නොදන්වා ලංකාවට පැමිණියේ මීට දින කිහිපයකට උඩ දී ය.

එසේ පැමිණි ඔහු සිය දෙමව්පියන් සොයුරන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සිටි නිවෙස අසල රැක ගෙන සිට ඇත්තේ අනියම් පෙම්වතා නිවසට පැමිණෙන වේලාව බලමින් ය. බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කරන බිරිඳගේ පෙම්වතා පසුගිය දාහත් (17) වැනිදා බිරිඳගේ නිවසට පැමිණි අතරවාරයේදී මග රැක සිටි සැමියා අතටම අල්ලා ගෙන තිබේනවා. පසුව සැමියා ඇතුළු පිරිස සංචාරක මග පෙන්වපෙන්වන්නා ට පහර දී ඔහු සතුව තිබූ ජංගම දුරකථනය, පරිගණකය, රන්භාණ්ඩ, කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සංචාරක මගපෙන්වන්නා ගේ දෙපා වල අස්ථි බිඳී ඇති අතර ඔහු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. පහර දුන් පිරිස ප්‍රදේශයෙන් පළා ගොස් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය විමර්ශන සිදු කරනවා ෴


අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන්වූ ටැබ් පරිගණක ඵලදායී ලෙස යොදවා නොමැති බවට හෙළිදරව්වක්

(24.06.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේදී රුපියල් බිලියන 3.4 ක් වැය කොට අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ් පරිගණක සහ ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් යොදවා නොමැති බවට කෝපා කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019, 2020, 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

එහිදී අනාවරණ වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වනතුරුද බෙදාහැර නොමැති බවටයි.

එමෙන්ම දැනට බෙදාහැර ඇති ටැබ් පරිගණකවලින් වැඩි ප්‍රමාණයක් අක්‍රිය තත්වයේ පවතින බවද ඇතැම් ඒවා අස්ථානගත වී ඇති බවද මෙම කමිටුව හමුවේ අනාවරණ වුණා.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 26 වනදාට පෙර මේ පිළිබඳව පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය වෙනුවෙන් 2013 සහ 2014 වසරවල රුපියල් මිලියන 64 ක් වැය කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගතව නොමැති බවට කෝපා කමිටුව හමුවේ අනාවරණය වුණා ෴


හොර රහසේ වළදැමූ බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

(24.06.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

රහසිගතව වළදැමූ දින විසිඑකක් (21) වයසැති බිළිදියකගේ සිරුර නැවත ගොඩ ගැනීමට මුන්දලම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මුන්දලම අඟුණවිල ,අක්කර වෙල්ලිය ප්‍රදේශයේ පදිංචි තිස් පස් (35) හැවිරිදි කාන්තාවගේ දින විසි එකක් (21) වයසැති දියණිය ඊයේ (23) මියයාමෙන් අනතුරුව මෙලෙස වළදමා ඇති බව වාර්තා වෙනවා.

මුස්ලිම් පල්ලියේ සභාපති වෙත දැනුම් දීමෙන් පසුව අක්කරවෙල්ලිය මුස්ලිම් සුසාන භූමියේ දී මෙලෙස භූමිදාන කටයුතු කර ඇති බව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය විසින් මුන්දලම පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලීසිය පවසයි.

අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නැවතත් බිළිඳියගේ සිරුර ගොඩගෙන පරීක්ෂණයට ලක් කිරීමට මුන්දලම පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


මත්ද්‍රව්‍ය සංකූලතා නිසා සිදුවන මරණවල ඉහළ යෑමක්

(24.06.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සංකූලතා නිසා ඇතිවන මරණ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය, නැගෙනහිර කොළඹ මූලික රෝහල සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දැනට සිදුකරන මරණ පරීක්ෂණවලදී මේ බව තහවුරු වන බවයි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ ෴


රජයේ රෝහල් පද්ධතිය බරපතල අර්බුදයක

(24.06.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි වෛද්‍යවරුන් විශාල පිරිසක් එකවර විශ්‍රාම යෑමත් ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීම මත රජයේ රෝහල් පද්ධතිය බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි වර්තා වෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් 148 දෙනෙක්, සාමාන්‍ය වෛද්‍යවරුන් 200 ක් පමණත්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 350 ක පමණ පිරිසක් සහ දත්ත වෛද්‍යවරුන් 50 ක් පමණ මේ මස 30 වැනිදා විශ්‍රාම යාමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ.

එමෙන් ම ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක් පමණ පිරිසක් ලියාපදිංචිව සිටින අතර ඔවුන්ගෙන් 350 ක් පමණ මෙම මස 30 විශ්‍රාම යෑම නිසා එම රෝහල්ද පවත්වා ගෙන යෑම බරපතල ගැටලුවක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම වෛද්‍යවරුන් 300 ක් පමණ තම පත්වීම් ලබාගෙන නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


IMF වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට ආපස්සට යන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

(24.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

IMF වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් රට, පසුගිය වසරේ (2022) ජූලි මාසයේ තිබූ තත්වයට පත්වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිට පහර දුන් පිරිස සොයා මෙහෙයුම්

(24.06.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දුන් පුද්ගලයින් සොයා ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ස්ථානාධිපතිවරයාගේ කාර් රථයට ඉන්ධන ලබා ගැනීමට බෙලෙක්කඩේ හන්දිය ට ගිය අවස්ථාවේදී යතුරු පැදි දෙකකින් (2) පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) කාර් රථය හරස් කර මුහුණට යම්කිසි ද්‍රාවණයක් ඉසීමෙන් අනතුරුව හෙල්මට් වලින් පහර දී ඇති බව පොලීසිය පවසයි.

ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකුට යොමු කිරීමට ගල්කිස්ස පොලිසිය පියවර ගෙන ඇත. පහරදීමට පැමිණි එක් යතුරුපැදියක් හඳුනාගෙන ඇති අතර පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා ෴


මැණික් හොරු අල්ලන්න වරකාපොල පොලිසියෙන් පරීක්ෂණ

(24.06.2023 – 14:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ අසූ පහකට (85,00,000) අධික වටිනාකමින් යුතු මැණික් ගල් සොරාගත් පුද්ගලයින් සොයා වරකාපොළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ පිරිසක් මෙලෙස මැණික් ගල් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ දෙකකට (2) අධික වටිනාකමින් යුතු ජංගම දුරකථන තුනක් (3) ද එම සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව වැඩිදුරටත් පැමිණිලිකරු විසින් පොලිසියට දන්වා තිබෙනවා ෴


මැති ඇමතිලා කොරියා රස්සා ජාවාරමක.. තරුණයන් ගෙන ගොස් කොරියාවේ දමා එයි..

(24.06.2023 – 16:40 +0530 – lankacnews.com)

කොරියාව කේන්ද්‍ර කරගනිමින් රැකියා ජාවාරමක් සිදු වන බවට ‘ජාතික ජන බලවේගයේ කොරියානු සංවිධායක දර්ශන විජේසිංහ මහතා’ චෝදනා කරයි.

මෙරට වගකිවයුතු ඇතැම් අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොරියාවට තරුණයන් රැගෙන ගොස් රැකියා වීසා නොමැතිව ඔවුන් එහි දමා පැමිණෙන බවත් ඔහු පවසයි.

අදාල මැති ඇමැතිවරුන් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබා ගන්නා බවටත් දර්ශන විජේසිංහ මහතා කියා සිටී.

නිසි පුහුණුවකින් තොර ශ්‍රමිකයන් මෙරට විශාල ප්‍රමාණයක් මේ වන විට කොරියාවට යවා ඇති බවත් ඔවුන් රැකියා කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් එයින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවත් දර්ශන විජේසිංහ මහතා පෙන්වා දෙයි.

එම නොපුහුණු ශ්‍රමිකයන් ගෙන්ද ඇතමුන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තාවන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

+


ලක්ෂ 79 ක් ජනතාව ආහාර මිලදී ගැනීමට මේස පුටුත් විකුණයි

(24.06.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

රටේ නිවාස ලක්ෂ 19 ක පදිංචි ලක්ෂ 79 ක පිරිසක් ආහාර මිලදී ගැනීම සඳහා ගෘහ භාණ්ඩ විකුණන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම සමීක්ෂණය කර ඇත්තේ ආසියා පැසිෆික් කලාපය පුරා ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති චින්තන සාමුහිකය වන ‘ලර්න් ඒෂියා’ ආයතනය මඟිනි.

‘ලර්න් ඒෂියා’ පවසන ආකාරයට නිවාස ලක්ෂ 19 ක පදිංචි ජන ගහනය ලක්ෂ 79 ක් වන අතර එම නිවාස ලක්ෂ 19 ක පදිංචි පිරිස මුළු ජන ගහණයෙන් සියයට 34 ක් බව සඳහන්.

ආහාර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා රූපවාහිනී, ගුවන්විදුලි, ශීතකරණ ආදී ඉලෙක්ට්‍රොනික් උපකරණවලට අමතරව මේස, පුටු පවා විකුණන බව මෙම ‘ලර්න් ඒෂියා’ ආයතනය හෙළිකර සිටිනවා ෴


හෙරොයින් සමග ධීවරයෝ තුනක් (3) කොටු

(24.06.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් එකක් (1) සමසේ බෙදාගෙන විකිණූ ධීවරයන් තිදෙනකු (3) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිස්ස ධීවර වරායේ මාළු දැලක් යට සඟවා තිබූ හෙරොයින් කිලෝ එකේ (1) පැකට්ටුවක් මෙලෙස බෙදාගෙන විකුනූ බව අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙසීයක් (200) සහ ජාවාරම් මුදල් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ දෙකහමාරකට (2½) අධික මුදලක් ද සොයාගෙන ඇත ෴


දුම්රියෙන් වැටී විදේශිකයෙක් රෝහල් ගත කෙරේ

(24.06.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රියෙන් වැටුණු නෙදර්ලන්ත ජාතිකයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නෙදර්ලන්ත ජාතික සංචාරක කණ්ඩායමක සිටි අයෙකු මෙලෙස දුම්රියෙන් වැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන බවයි.

මහනුවර සිට බදුල්ල බලාගමන් කරමින් සිටිය දී නානුඔය දුම්රිය ස්ථානය හා අඹේවෙල දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේ දී මෙලෙස නෙදර්ලන්ත ජාතිකයා ඇද වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


facebook සාදයක් වටලා 12 ක් අල්ලයි

(24.06.2023 – 16:27 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා.

සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කුට ලද තොරතුරක් මත විසි පහකට (25) වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවත් එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය සංවිධානය කර තිබූ බවද එම කාර්යාලය පවසනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කල දුම්වැටි 11 ක් ද සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්, මත්පැන් බෝතල් 10 ක්, බියර් ටින් 22 ක් සහ බියර් බෝතල් 12 ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

එසේම එම අවස්ථාවේදී ලබා දෙන ආහාරපාන ඉහල මිල ගණන් යටතේ අලෙවි කිරීමටද හෝටලයේ හිමිකරු කටයුතු කර තිබූ බවත් එය සාමාන්‍ය මිල මෙන් තුන් (3) ගුණයක් පමණ මිල ගණන් බවද සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසුවා.

අත් අඩංගුවට ගත් තරුණයන් අතර කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් හත් (7) දෙනකු ද බලංගොඩ ඇහැලියගොඩ අවිස්සාවේල්ල ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 18 ත් 26 ත් අතර තරුණයින් ද සැකකරුවන් අතර වනවා.

සැකකරුවන් පිරිස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *